වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
වැල යන පැත්තටලු මැස්ස ගහන්න ඕනේ

දාහත් වැනි දින සටහන
2016 ජූනි 09 බදාදා
විසි කරන්ඩ ලෝබකමට ෆ්‍රිජ් එකේ දවස් ගණන් තියාගෙන හිටපු ඉතුරු බිතුරු වෑංජන ටිකටයි, ජනහිත හෝටලේ ඉඳිආප්ප මුලටයි පින් සිද්ධ වෙන්ඩ ඔන්න දැන් මගෙ කේන්දරෙත් ධනයට අධිපති ග්‍රහයො ටික උච්ච වේගෙනයි එන්නෙ.
" සාමා, හෙට ඔයාට අවුට්ස්ටේෂන් ෆීල්ඩ් විසිට් එකක් තියෙනවා. හවසට එන්ඩ රෑ වුණොත් ඔෆිස් වෙහිකල් එකේම ගෙදරට බස්ස ගන්ඩ. යන එන ගමන්වලදී අපිවත් මතක ගියාගනීද දන්නෑ ඉතින්…"
උදේ පොත අත්සන් කරද්දි ලොක්ක එහෙම කිවුවෙ ඇහැකුත් යාන්තමට ගහලයි. ඉබ්බ දියට දැම්මම ඇන්නෑවේ කියන්නැහෙ මම නම් කට ඉස්සර කළේ නෑ.
" එන්ඩ රෑ වුණාම පොඩි දෙන්නගෙන් තමා සර් ප්‍රශ්නෙ. තිස්සත් එන්ඩ රෑ වෙනවනෙ කොහොමත්. ඒත් ඉතින් සර්ගෙ වචනෙට පිටුපාන්ඩත් බෑ. "
ළඟ හිටිය සෙකට්‍රි බඩ්ඩට ඇහෙන්ඩමයි මං කිව්වෙ. නැත්තම් ඉතින් පතුරවයි ලොක්කට බෝලෙ අල්ලල බටාවලට පෙරේතකමට අවුට්ස්ටේෂන් දාගෙන කියලා. ඔය බඩ්ඩට සිරිලත් පරාදයි. පැපරාසි නැකතෙන්නෙ ඉපදිලා තියෙන්නෙ.
" ඔයයි තිස්සයි කොච්චර රෑ වෙලා ගෙදර ගියත් ප්‍රශ්නයක් නෑනෙ ඉතින්, තිස්සගෙ අක්ක ඉන්නවනෙ ළමයි බලා ගන්ඩ. එහෙම බැලුවම සාමාට මොන ප්‍රශ්නද ? "
අපි කවුරුත් ගැන කිසි දෙයක් දන්නෑ වාගෙ හිටියට මොකද බලන් ගියාම ලොක්කත් නොදන්න දෙයක් නෑනෙ. එයත් පැපරාසි නැකතෙන්ද කියලයි ගෙදර එන ගමනුත් මං කල්පනා කළේ.
2016 ජූනි 10 බ්‍රහස්පතින්දා
තඹුත්තේගම සයිට් එකට යද්දි දවල් කෑම වෙලාවටත් කිට්ටුයි.
" මේ හරියෙ ලන්ච් ගන්ඩ පුළුවන් හොඳ හෝටලයක් නැද්ද මල්ලි ? ටිකක් හොඳ තැනක් බලන්ඩ ගාණ ප්‍රශ්නයක් නෑ. "
ඇස් රිදෙනකල් වටපිට හෝටල්වල බෝඩ්වලට එබිකම් කරලා බැරිම තැන මම ඩ්‍රයිවර්ටම ප්‍රශ්නෙ දැම්මා.
" මිස් ගෙදරින් කෑම ගෙනාවෙ නැද්ද? මේ හරියෙ එච්චර හොඳ හෝටල් නම් නෑ. ටිකක් ලොකු හෝටලයක් තියෙනවා එව්වයෙ ගාණ තමා සැර. "
" කෑම නම් ගෙදරින් ගෙනාව මල්ලි. ඒත් ඉතින් කෑම බිල ඔෆිස් එකෙන් ගෙවනෙකේ ආයි මං විතරක් ඕකට බිලක් නොදා අමුතු සතෙක් වෙන්ඩ ඕනෙයෑ. ඒකයි මං මේ බැලුවෙ "
" අනේද කියන්නෙ මිස්. ඉන්ඩකො මං මිස්ට නියමෙට බිල් ටික සෙට් කරල දෙන්නම්. වෙනදට අනික් මිස්ල සර්ල හෙම ආවමත් මං තමයි ලස්සනට බිල් ටික සෙට් කරලා දෙන්නෙ."
ඩ්‍රයිවරයත් නරකම නෑ. කට්ටිය ජැන්ඩියට ඇඳල කරලා ඉන්න රහස් ටික ඔහොම ටික ටික එළියට එන්නෙ නැතෑ. තිස්ස කියන්නැහෙ වැල යන පැත්තට මිසක වෙන කොහාටවත් මැස්ස ගහල වැඩක් ඇතෑ. වවුලෑ මඟුල් ගෙදර ගියා නම් එල්ලිලා හිටු කියන්නෙ කට කහනවට යෑ.