බලාගන්න පලා ගුණේ

මැයි 12, 2025

නීරෝගි දිවි පැවැත්ම රඳා පැවතීමට පලා වර්ග මඟින් ලැබෙන පෝෂණය අතිවිශාලය. පලා වර්ග කෑමෙන් රුව ලස්සන වීම කොණ්ඩ දික් වීම, අතීතයේ සිට පැවත එන මතයක් බව ඔබත් මමත් දන්නා කරුණකි. එම නිසාම පලා වර්ග කෑම ඇතැම් පුද්ගලයන් ආයාසයෙන් තොරව සිදු කරයි. අතීතයේ සිට පෝෂණීය ආහාර වේලක් සඳහා පලා වර්ගයක් එක් කිරීම ගෘහිණියන් විසින් සිදු කරනු ලබන අනිවාර්යය දෙයකි.

එනමුත් අද වන විට ජීවිතවල තිබෙන කාර්යබහුලත්වය නිසා පලා වර්ග සෑදීමට මැළිකමක් දක්වයි. කෘත්‍රිම ආහාර භාවිතයට යොමු වී තිබීම නිසා පලා වර්ග දෛනික ආහාර වේලෙන් කෙමෙන් කෙමෙන් වියැකී යන අයුරු දක්නට ලැබේ. ගම් ආශ්‍රිතව පලා වර්ග සෑම ආහාර වේලකටම එකතු කිරීමට පුරුදු වී සිටියද නාගරික පවුල් ජීවිත තුළ දිනකට එක් වේලකටවත් පලා වර්ග ආහාරයට ගැනීම පුරුද්දක් වී තිබේ නම් ඉතා අගනා කරුණකි.

නූතනයේ මෙලෙස පවතින සංකීර්ණ සමාජ රටාව මත කාන්තාවන් ඉක්මනින් තේරීම් ඔස්සේ යමින් පලා වර්ග තම කෑම මේසෙට එක් කිරීම පවා අමතක කර තිබේ. අපේ රට තුළ මේ වන විට ආහාරයට ගත යුතු ආහාර වර්ග මොනවාද යන්න මේ වනතෙක් හඳුනාගෙන නැත. නමුත් ජපානය තුළ මේ වන විට ආහාරයට සුදුසු කුමන අන්දමේ ඒවාද යන්න පරිභෝජනයට ගත යුත්තේ මොනවාද යන්න හඳුනාගෙන තිබේ. අප රට තුළ වැවෙන පලා වර්ගවලින් බාගෙට බාගයක්වත් සමාජයේ ආහාර අවශ්‍යතා සඳහා යොදා නොගනී. ඉතා පෝෂණීය පලා වර්ග පරිසරය තුළ තිබෙන බවද නොදනී. අපගේ එදිනෙදා දෛනික ආහාර වේලට ලබා ගත හැකි කවුරුත් නොදන්නා පෝෂණීය පලා වර්ග කිහිපයක් පිළිබඳ පහත පරිදි දැක්විය හැකිය.

මැල්ලුමකට තෝර ගන්නෙත් මේ වාසි ඔබට හිමිවේවි
 

තෝර වර්ග අයත් වෙන්නේ “ලෙගුමිනෝසේ” (Leguminosae) කුලයටයි. සිංහල භාෂාවෙන් අපි තෝර කියල හැදින්වෙන මේ ශාකය දෙමල භාෂාවෙන් “සෙනාවු” නමිනුත්,

සංස්කෘත භාෂාවෙන් “ආයුධම්” යන නමිනුත් හැඳින්වෙනවා. නිවර්තන කලාපීය රටවල හැදෙන වැඩෙන තෝර ඉන්දියාව, ශ්‍රී ලංකාව, පිලිපීනය වැනි රටවල සුලබයි. කිසිම සාත්තු සප්පායමක් නැතුව හැදෙන තෝර පැළයේ හට ගන්නා මල් කහ පැහැයෙන් යුක්තයි.

තෝරවල ගුණ

මේවා වැඩියෙන්ම කීර්තියක් ලබා තිබෙන්නේ පණු රෝගවලට ගුණදායක විදිහටයි. ආයුර්වේදයේ දැක්වෙන විදිහට නම් සෙම, වාත, පිත කියන තුන්දොස සමනය කරනවා. පණු රෝගවලට මැල්ලුම් විදිහට පිළියෙල කරන්නේ සාමාන්‍යයෙන් අපි මැල්ලුම් පිළියෙල කරන විදිහටම පොල්, අමුමිරිස්, රතුලූනු ආදිය සිහින්ව ලියලා මලවා ගන්න පුළුවන්.

මල බද්ධයටත් ඉතාම ගුණයි. ඒ නිසාම පණු රෝගවලින් ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම බැක්ටීරියා, දිලීර සහ වයිරස ආසාදනයන්ගෙන් ඉතාම පහසුවෙන් ආරක්ෂාව ලැබෙනවා. මල බුරුල් කරන නිසා බඩවැල්වල විෂ ගතිය ඉවත් වෙනවා. ඒ නිසාම පිළිකා තත්ත්වයන්ගෙනුත් ආරක්ෂාව ලබා ගැනීමට පුළුවනි. අර්ශස් වැනි රෝගවලට ප්‍රධානම හේතුව මලබද්ධය නිසා ඒ අපහසුතාවයෙනුත් නිදහස් වෙන්නත් පුළුවනි.

සමේ තුවාල ඇති වුණාම තෝර ඇට කබලේ බැද ගෙන සමේ තුවාලවල ආලේප කරන්න පුළුවන්. ඒ වගේම ඇත්තෝර කොළ සහ අමුකහ තම්බලා ඒ වතුරෙන් සමේ කුෂ්ඨ සෝදන්න පුළුවනි.

අළුහම් ඇති සමටත් ඇත්තෝර ගුණදායකයි. ඇත්තෝර කොළ දෙහි ඇඹුලෙන් ගල ගා මේ අලුහම් මත ආලේප කිරීම නිසා ඒවා නැති වෙන්න ඉතා වැදගත් වේ.