දුවේ, ඔයා රත්තරන්

මැයි 12, 2025

ප්‍රමාද වී මුත් ස්වාභාවික යුක්තිය ක්‍රියාත්මක වෙයි. හෘද සාක්ෂිය පිළිබඳ විශ්වාසය තහවුරු වෙයි. එය වූ කලී නිර්දෝෂී මිනිසුන්ට ලැබෙන වරමක් දැයි පැවැසීම ද වරදක් නොවේ. මේ කෙටි පූර්විකාව ලියන්නට පෙලඹුණේ ඇයි?


ඈත අමානුෂික සහ බියකරු චෝදනාලත් පියෙකු ඉන් නිදහස් වීමත් එකීභයංකාර චෝදනාව නියත සමාජයෙන් මහන්සි වී අප්‍රමාණ චිත්ත පීඩාවන්ට ලක්වෙමින් සිට තම උදාර අරමුණු සාක්ෂාත් කරගත් දියණියකගේ ජයග්‍රහණයක් පිළිබඳව මේ කතාවක ගොඩනැගෙයි.

වර්ෂ 2019 දක්වා අතීතයට දිවයන කතාවක සැකෙවින් මෙලෙසය. කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද අංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරියකු වන ජෝගු ෂිෂාව්දීනි මොහොමඩ් ෂාෆි.

සිංහල බෞද්ධ මවුවරුන් සිසේරියන් සැත්කම්වලට බඳුන් කරද්දී රහසිගතව ඔවුන් වන්ධ්‍යාකරණයට ලක්කර ඇති බව මාධ්‍ය ඔස්සේ පළවිය.

මේ සිද්ධියත් සමඟම ෂාෆි වෛද්‍යවරයා පොලිස් අත්අඩංගුවට ගන්නා ලදුව වසර ගණනාවක් පුරා චන්‍රට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ බී වාර්තාවක් මඟින් කරුණු දැක් වූ මුත් අවසානයේ ඔහුට එරෙහිව නඩු පැවරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් නීතිපතිවරයා නඩුව ඉවත් කර ගැනීමත් සමඟ ෂාෆි වෛද්‍යවරයා නිදහස් විය.

ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව අභූත චෝදනා නගා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරිමත් සමඟ දැවැන්තම අකරතැබ්බයන්ට බඳුන් වන්නට සිදුවූයේ ඔහුගේ බිරිය ඇතුළු දුවා දරුවන්ටය.

සිංහල බෞද්ධ මවුවරුන් වඳ සැත්කම්වලට බඳුන් කළේය යන චෝදනාවත් සමඟ වියරු වූ පිරිස් මේ සියලු දෙනාට වෛර කළහ. අපහාස කළහ. ඔවුන් ඒවා දරාගත්තේ කෙසේද? යන්න කිසිවෙකුටත් සිතාගන්නටවත් නොහැකි තරම්ය.

මේ වනවිට වෛද්‍ය ෂාෆිගේ වැඩිමහල් දියණිය අධ්‍යාපනය ලැබුවේ කුරුණෑගල ජනප්‍රිය බෞද්ධ පාසලකය. මහ මලියදේව බාලිකා විදුහලේය. එවකට නවවැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලද ඇය සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්තාය. ඇයගේ විෂයයන් අතර බුද්ධාගම ද වූයේය.

මහා සමාජයෙන් මෙන්ම පාසල් සමාජය තුළින් ද ෂාෆි දියණිය වන සෙයිනාබ්ට ඇති වූ අප්‍රසන්න මානසික තෙරපුම නිසා පාසල් යා නොහැකි තත්ත්වයක් උදාවිණි.

ඒ පාසල් ගුරුවරයකු කුරුණෑගල දී අප ඉදිරිපිට දී කළ ප්‍රකාශයක් එක් අප්‍රසන්න නින්දනීය තෙරපුම කොතරම් ද යන්න සිතා ගත හැකිය.

ඔය සිද්ධිය වන විට මමත් ඔය විදුහලේ ගුරුවරයෙක්. මම වෛද්‍ය ෂාෆිගේ දියණියට ඉගැන්නුවේ නැහැ. දවසක් මම යනකොට දැක්කා සෙයිනාබ් එයාගේ පංතියේ එයාගේ ලියන මේසයට ඔළුව ගහගෙන ඉන්නවා. මම ගිහින් එයාට කතා කළා. හැබැයි මම එයාට කීව පුතේ මම ඇත්ත දන්නවා. ඔයාවත් ඔයාගේ තාත්තවත් වරදක් කරල නැහැ. ඒත් මේ වෙලාවේ මට මොනවාවත් කරන්න විදියක් නැති එක ගැන කනගාටුයි.

එතකොට එයා ඔළුව උස්සල ඇස්වල කඳුළු පුරෝගෙන මා දිහා බලල නැවත මේසයට ඔළුව තියා ගත්තා.

ඒ වෙලාවෙ මගේ ඇස්වලටත් කඳුළු ඉනුවත් මට කරගන්න දෙයක් නෑ. මම අාපහු ගියා. මේක බලගෙන හිටපු අය පස්සේ මම දිහා බැලුවෙත් සැකෙන්. මාත් වරදකාරයෙක් විදිහට සලකලද කොහෙද මාවත් නිකන් කොන් කරල තමා තිබ්බෙ.

එදා මට සෙයිනාබ් දුව වෙනුවෙන් මොනවාවත් කරන්න බැරිවුණත් එයාගෙ තාත්තත් නිදහස් වෙලා දුවත් ඕලෙවල් A නවයක් අරන් පාස් වුණා කියල දැනගත්තහම මට හරි සතුටක් දැනුණා.

වෛද්‍ය ෂාෆි කියන්නේ දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාසලට වගකීම භාරගන්න බැරි බව දැනුම් දුන්න නිසා දරුවා පාසලෙන් ඉවත් කරගෙන කොළඹ බදුර්දීන් බාලිකා විදුහලට 2019 දී අැතුළත් කළා බවයි. අනෙක් දියණියත් එම පාසලේම පහ වසරට ඇතුළත් කළා. පුතා කොළඹ සහිරා විදුහලට ඇතුළත් කළා.

කොළඹ වුණත් ඔවුනට එතරම් ආරක්ෂාවක් තිබෙන්න ඇතැයි නොසිතෙන්නේ එම වසරේදීම ෂාෆි පවුලම කල්මුණේ ප්‍රදේශයේ පදිංචියට යෑම නිසාය.

මෙතෙක් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ සෙයිනාබ් දියණියට තවත් අතුරු කරදරයකට මුහුණ දෙන්නට සිදු වන්නේ කල්මුණේ පාසලකට ඇතුළත් වූ පසුවය. එම පාසල්වල සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීමක් සිදුනොවන හෙයින් අපට දෙමළ මාධ්‍යයෙන් ඉගෙනීමට සිදු විය. එය මහත් අභියෝගයක් වූ බවට කිසිදු සැකයක් නැත.

පසුව සෙයිනාබ් මහනුවර පාසලකට ඇතුළත්ව සිංහල මාධ්‍යයෙන් ඉගෙනගෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සියලු විෂයයන්ට ඒ සාමාර්ථයන් ලබා ගත්තාය.

ඇගේ සුදුසුකම් අනුව උසස් පෙළ ඉගෙනීමට පාසල් කිහිපයකට අයදුම් කළ ද කිසිදු පාසලකින් ලිපියක්වත් ලැබී නැත.

සෙයිනබ් දියණිය අනුරාධපුර නි‍ෙවසේ සිට පෞද්ගලික අධ්‍යාපනය ලබමින් උසස් පෙළ විභාගයට ජීව විද්‍යා අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබාගෙන වෛද්‍ය පීඨයට ඇතුළුවීමට සුදුසුකම් ලබාගත්තාය.
ඇයට මුහුණ දෙන්නට සිදුවූ දහසකුත් එකක් දුක්ඛ දෝමනස්සයන් අතර මෙවැනි ජයග්‍රහණයක් කරා පියනගන්නට ඈ සිත් තුළ අධිෂ්ඨානය කෙබඳු විය හැකිද?

එක් අතෙකින් ඔවුනට එරෙහිව සමාජ මාධ්‍යයන් හි පළවෙන වෛරී ප්‍රකාශයන්ය. තවත් පසෙක තමන් උපන් හුරුපුරුදු ගම් ප්‍රදේශයේ ජනතාවගෙන් ලැබෙන නොසැලකිල්ල හා කොන් කිරීම්ය. සියල්ලටත් වඩා සිය පියාට එරෙහිව නැඟු සහ නඟන චෝදනාවන්ය. ඒ අතරේ ජීවිතය පිළිබඳව තිබෙන අනාරක්ෂිත භාවයන්ය.

“මම වෛද්‍යවරියක් වෙලා මගේ තාත්තට එරෙහි වුවන්ටත් ප්‍රතිකාර කරනවා.”

උසස්පෙළ සමත්ව වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වීමට සුදුසුකම් ලැබී අැති බව දැනගත් සෙයිනාබ් ප්‍රසිද්ධියේම කීවාය.

මේ කියමන අපට කියවාගත හැක්කේ කෙසේද?

ඇය තුළ ඔවුන්ට එරෙහිව චෝදනා එල්ලකළවුන් කෙරෙහි තුන් හිතකවත් වෛරයක් නැති බවයි. ඔවුන් කෙරෙහි අනුකම්පාව මෛත්‍රිය පතුරුවන බවය.

ඒ නිසා බෞද්ධයන් විසින් ඇගේ පියාට මෙන්ම ඔවුනටත් අවි අමෝරාගෙන ආවද ඇය ඒවා නිහඬව ඉවසුවාය. අැතැම් අවස්ථාවලදී මේ කුරිරු චෝදනා කෑගසා අඬන්නට තරම් දරුණු ඒවා වුවත් ඒවා ඇය විඳ දරා ගත්තේ කෙසේද? යන්න ඊනියා බෞද්ධයන්ට බෞද්ධකම කුමක්දැයි වටහා දුන්නාය.

එහි රහස නම් ඇය සැබෑලෙසම බුදු දහම අවබෝධ කරගෙන තිබීමය. අටලෝ දහම ගැන දැනගෙන තිබීමය. නින්දා ප්‍රශංසා දෙකෙහිදිම නොසැලී සිටීමට පුරුදු පුහුණුව තිබීමය. ඇගේ ගුරුවරුන්ට පවා මෙය අවබෝධ වී තිබුණේ ද?


වෛද්‍ය ෂාෆි සිද්ධියේදී අමතක නොකළ යුතු චරිතයක් ද තිබේ. ඇය කරළියට නොපැමිණිය ද තිරයේ පිටුපස සිට කළයුතු සියල්ල මැනවින් ඉටු කළාය. ඒ වෙන කිසිවකුත් නොව වෛද්‍ය ෂාෆි ආදරණීය බිරිය වන එන්.එම්. එෆ්. ඉමාරා ෂාෆි ය.

ඕතොමෝ බන්ධනාගාරයට යමින් ද ඉන් පසුවද වෛද්‍ය ෂාෆි අසල නොසැලී සෙවනැල්ලක් සේ සිටියාය. දරුවන් සිත් සදමින් යායුතු මඟ එළිපෙහෙළි කර දුන්නාය. ඒ අභීත උන්තුංග චරිතය සෙයිනාබ්ගේ ජයග්‍රහණයෙහි ලා අමතක කළ නොහැකිම වේ.