බිත්තර හෝදන්න එපා

ජුනි 23, 2025

බිත්තර ඉතාමත් පෝෂ්‍යදායි මෙන්ම ප්‍රණීත ආහාරයක්. ඒ විතරක්ම නෙමෙයි වෙනත් ආහාරයකට වඩා ඉක්මනින් පිළියෙල කර ගත හැකි නිසා කාර්යබහුල කවුරුත් බිත්තර වැඩි වශයෙන් මිලදී ගන්නවා.

 

නමුත් බිත්තර වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගත්ත ද ඒවා අසුරා තැබීමේ නිසි පිළිවෙළ ගැන බොහෝ අයට දැනුමක් ඇත්තේ නෑ. බිත්තර අසුරා තබන ස්ථානය පිළිබඳ අපි එතරම් අවධානය යොමු නොකළත් ඒවා නිසිතැන නිසි තත්ත්ව යටතේ ඇසුරුම් නොකළොත් ඇතැම්විට සෞඛ්‍යමය අතින් හානිදායක වීමේ හැකියාවක් ද පවතිනවා.

 

නමුත් ඇතැම් රටවල් සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ බිත්තර අසුරා තබා ගනු ලබනවා. මේ කියන විදිහට බිත්තර ආහාරයට එකතු කර ගැනීමේදි ප්‍රධාන තර්ජන ඇතිවන්නේ සැල්මොනෙල්ලා නමැති බැක්ටීරියාවෙන්. යම් ලෙසකින් සැල්මොනෙල්ලා බැක්ටිරියාව බිත්තර කටුව අවට තැන්පත් වී තිබුණොත් ශීතකරණය නොවූ පරිසරයකට වඩා ශීතකරණයට ලක් වූ පරිසරයක් තුළ හොඳින් වර්ධනය වන බව ඇතැම් වෛද්‍ය පර්යේෂකයන් විසින් මත පළ කර තිබේ.

කෙසේ වෙතත් ඔබ ආහාරයට ගන්නා බිත්තර මිලදි ගන්නා ස්ථාන අනුව ඒවා ගබඩා කර තබන ස්ථාන තීරණය කිරීමේ වගකීම ඔබ සතු කාර්යයක්. ඒ වගේම බොහෝදුරට වෙ‍ෙළඳපොළෙන් මිලදී ගන්නා බිත්තර ශීතකරණයේ අසුරා නැවත සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ තිබෙන්නට හැරීමෙන් ද බැක්ටීරියා ගනනය තවදුරටත් වැඩිවන බව ඔවුන්ගේ අදහසයි. කොහොම වුණත්, බිත්තර දවසක් අසුරා නැවුම් බිත්තර ආහාරයට ගන්නවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ.

 

ඒ වගේම බිත්තර ශීතකරණය තුල ඇසිරීමේදී භාජන තුළ දමා අසුරා තැබීම සුදුසුයි. බොහෝ දෙනා ශීතකරණයේ දොරෙහි බිත්තර ගබඩා කරනවා. එය සුදුසු ක්‍රමය නෙමෙයි. භාජනයකට දමා ශීතකරණය ඇතුළත දැමීමයි සුදුසු.

 

* බිත්තර සේදීම සෞඛ්‍යාරක්ෂිත ද?

 

කුකුළු ජරාව (අශුචි) තැවරුණු හෝ කැඩුණු බිඳුණු බිත්තර පරිභෝජනය කිරීම අවදානම් බව කවුරුත් දන්නවා. ඒත් කඩෙන් ගේන බිත්තර ගබඩා කර තැබීමට පළමුව සබන් දමා හෝ එසේ නොමැතිව සේදීම මඟින් මේ අවදානම මඟහැරෙනවද කියල බොහෝ දෙනෙක් දැනුම්වත් නෑ. කිකිලි බිත්තර මතුපිට කුකුළු අශූචි ගෑවිලා තිබෙන බව පෙනෙන්නට තිබුණත් නැතත්, බිත්තර කටුව මතුපිට ජීවානුහරණය කරල නැති නිසා යම් ප්‍රමාණයකට සැල්මොනෙල්ලා කියන කුකුළු අශූචිවල ජීවත් වෙන හානිකර බැක්ටීරියා එක තියෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කුකුළු අශූචිවල ජීවත්වන ඇතැම් රෝගකාරක සැල්මොනෙල්ලා විශේෂවලට වියළි බිත්තර කටුව මතුපිට දවස් 54ක් වගේ කාලයක් ජීවත්වෙන්න පුළුවන් කියල සොයා ගෙන තිබෙනවා. ("Salmonella Enteritidis" can survive on the surface of hens' eggs for up to 54 days.)

එහෙමනම් ජරාව පේන්න තිබුණත් නැතත් බිත්තරවල සැල්මොනෙල්ලා ඉන්නවානේ. ඒක හොඳ දෙයක් නෙවෙයි.

 

නෑ එහෙම නෑ. කිකිළිය බිත්තර එයාගේ ජම්බාලියෙන් එළියට දාන්නේ බිත්තර කටුව වටේට “bloom” කියලා කියන ආරක්ෂක පටලයකුත් තැම්පත් කරලා. මේ ආරක්ෂිත ආලේපනයෙන් බිත්තර කටුව මුද්‍රා වෙලා තියෙන්නේ. ඒක නිසා ව්‍යාධිජනක බැක්ටීරියා වර්ග බිත්තරය ඇතුළට යන එක වැළැක්වෙනවා.

 

⁣බිත්තර සේදුවාම මොකද වෙන්නේ?

 

සාමාන්‍යයෙන්, කඩෙන් ගේන බිත්තර සෝදා ගැනීම අවශ්‍ය හෝ නිර්දේශ නොකරයි. එහෙම සේදුවාම වෙන්නේ අර කීව ආරක්ෂක පටලය විනාශ වෙන එක. එහෙම වුණාම සේදුණ ජලය බිත්තර කට්ටේ තියෙන ඇසට නොපෙනෙන සිදුරු හරහා බිත්තරය තුළට ඇතුළු වෙනවා. ඒ නිසා එසේ සේදීමෙන් ඇත්ත වශයෙන්ම බිත්තර දූෂණය වීමේ අවදානම වැඩි වෙන්න පුළුවන්.

බිත්තර කටුව කැඩිලා හෝ පුපුරලා තියෙන බිත්තර කෑමට ගන්න එක හොඳ නැත්තෙත් ඒ වගේ බිත්තරවල අර කිවුව ආරක්ෂක පටලය කැඩිලා තියෙන නිසා මතුපිට තියෙන විසබීජ ඇතුළට ගිහින් තියෙන නිසා ය.

 

ඒ නිසා බිත්තර මිල දී ගන්නකොට,

 

*මතුපිට ජරාව ගෑවිලා නැති බිත්තර තෝරා ගැනීම.

* නොකැඩුණු, පලුදු නොවූ බිත්තර තෝරා ගැනීම ඉතා වැදගත්.

* පිරිසුදු බිත්තර එක ගොඩේ ගබඩා කරන්නේ නැතිව ඒ සඳහා විශේෂයෙන් සකස් කරල තියෙන ඇසුරුම්වල ගබඩා කිරීම සහ ශීතකරණයක නිසි ලෙස ගබඩා කර තැබීමත් වටිනවා.

* අනික් කාරණය තමයි බිත්තර අමුවෙන් හෝ භාගෙට පිස ආහාරයට නොගැනීම. ඒකත් විශේෂයෙන් ප්‍රතිශක්තිය අඩු, ගර්භිණී, ළමයින්, වයෝවෘද්ධ උදවියට විශේෂයෙන් වැදගත් වෙන්න පුළුවන් කාරණාවක්.

* මේ කරුණු කාරණා ටික පිළිපැද්දොත් සැල්⁣මොනෙල්ලා විෂවීම්වලින් ආරක්ෂාව සලසා ගන්න පුළුවන් වේවි.

 

එම්. බී. ලාල් කුමාර

මහජන සෞඛ පරීක්ෂක, කොළඹ මහ නගර සභාව