වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
මාව නවත්තන්න දැන් ඔයාට බෑ

"ඇයි ඔයා කොහෙ ද යන්නෙ"
"ඇයි දැන ගන්නම ඕෙන ද?" ඇගේ ස්වරයෙහි ඇත්තේ උපහාසයක් ද සරදමක් දැයි ඔහුට නොවැටහෙයි. ඒ වචනවල කිසියම් හිතුවක්කාරී බවක් ගැබ්ව ඇතැයි සිතෙයි. ඔවුන් අතර යළි පිරිද්දිය නොහැකි විවරයන් නිර්මාණය කර ඇත්තේ මෙබඳු වචනයි.
" මට මොකෝ මොන මඟුලෙ ගියත්" ඔහුගේ වචනයෙන් ඈ ඇවිස්සෙයි. එවැනි ඇවිස්සීමක් ඈ අපේක්ෂා කළාක් බඳුය.
" ඔව්, මඟුලෙ යනවා තමා... ඇයි? දැන් ඉතින් මාව නවත්තන්න ඔයාට බෑ.. මං යන ගමන් බිමන් දැන ගත්තා කියලා ඔයාට වැඩක් වෙන්නෙ නෑ දැන්.. ඒ ගැන වද නොවී ඔයාගේ වැඩක් බලා ගන්න"
කාංචනාගේ වචන ස්ථිරයි, දැඩියි, විශ්වාසවන්තයි. ඈ නිගූගේ කාමරය තුළටම පිවිස කිසිදු හදිස්සියක් නැති ලෙසින් තවත් යමක් කියන්නට පමා වෙයි. කියන්නට නියමිත ඒ වචනවලින් තමාගේ සිත කීතු කීතුවලට ඉරා දැමීමට නියමිත බව ඔහු දනියි. ඈ මඳක් සන්සුන්ව කතා කරයි.
"ඔයාම කියනවා නේද වෙලාවකට වෙන්න තියෙන දේ වළක්වන්න අපට බෑ කියලා.. ආං ඒක තමා වෙලා තියෙන්නෙ.. ඔයාට පුළුවන් ඇත්ත ආදරයක් තියෙනවා නම් කාලෙ දීලා බලා ඉන්න මගෙ හිත ආපහු එනකල්."
ඔහුට විශාල ආත්මානුකම්පාවක් ද දරා ගත නොහැකි තරම් අසරණකමක් ද ඇති කරමින් කාංචනා කිහිපවරක්ම මෙසේ කියා තිබෙයි. නිගූගේ අසරණකම ඇස්වලින් ද පරිගණක යතුරුපුවරුව මත වෙව්ලන ඇඟිලි තුඩුවලින් ද පෙනෙයි. ඔහුගේ කටහඬ ද වෙව්ලයි.
" ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ..?"
ඈ අසල ඔහු දියාරු වන තරමට ඈ දැඩි වන බව ඔහු දනියි.
" මෙහෙම කරන්නෙ ද .. ? මෙහෙම කරන්නෙ ඔයාට ඔයාගේ අම්මා ඇරෙන්න වෙන කිසි ගෑනියෙක් සතුටු කරන්න ඕන්නැති හින්දා"
දඩාස් ගා දොර වැසෙයි. පෝටිකෝවෙන් කාර් දොරවල් දෙවරක් වැසෙනු ඇසෙයි. රිය පණ ගැන්වෙයි. මගට පිවිසෙනු ඇසෙයි. සියල්ල නිහඬ වෙයි. නහය බුරුල් වෙයි. පිරිමි කොපුලතක කඳුළු බින්දුවක් රූරා වැටෙයි. පරිගණක තිරය මත තමා විසින්ම ලියන ලද අකුරු බොඳ වී යයි. ඉදිරිපස රාක්කයේ ඇති පොත් අතරින් එක් පොතක් වෙත නිගූගේ නෙත් යොමු වී බොඳ වූ දසුනෙහි, කළු පිටකවරයක "සිද්ධාර්ථ" යනුවෙන් ලියවී තිබෙයි. නිගූ තමාගේ සිතට මෙබඳු දරුණු භාවමය ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවලදී ඔෂෝ රාජිනීශ්ගේ හෝ ක්රිෂ්ණ මූර්තිගේ හෝ පොතක් ගෙන පෙරළුණු තැනකින් කියවන්නට පටන් ගනියි. නිගූ නැඟිට ගොස් රාක්කයේ පොත් අතර තවමත් බොඳ වී පෙනෙන හර්මන් හෙසගේ "සිද්ධාර්ථ" අතට ගනියි. අත ඔසවා ඇඳ සිටි කමිස අතින් දෑස් පිසදා ගනියි.
නිගූ සන්තක පොත් ගොන්න අතරට මේ පොත පැමිණෙන්නේ කාංචනා හමු වූ මුල් කාලයේදීම බව ඔහුට මතකයි. එහි පිට කවරය පෙරලූ සැණින් හමුවන මුල් පිටෙහි 'තිළිණයකි' යනුවෙන් හැඩ කලාත්මක අකුරින් ලියා තිබෙයි. ඊට පහළින් ලියා ඇති "රන් මතක ශේෂ කරන කාංචනාට සෙනෙහසින්" යන අකුරු පේළිය නිගූගේ හිතේ තදින් කෙටී තිබෙයි. රේඛා චිත්‍රයක් බඳු හැඩ අත්සන උදය මනමේන්ද්‍ර නම් ප්‍රකට චිත්‍ර ශිල්පියාගේ ය. ඔහු කාංචනාගේ තාත්තා සමීපව ඇසුරු කළ මිතුරෙකි. කාංචනාගේ තාත්තා මූර්ති කැටයම් චිත්‍ර ඇතුළු හැම කලා වැඩක්ම කළ සාම්ප්‍රදායික කලාකරුවෙකි.
උදය මනමේන්ද්‍රගේ සන්සුන් රූප කාය හිරිමල් යෞවනියක සමයේ කාංචනාගේ නෙත ගැටෙන්නේ තාත්තාගේ විස්මිත කලාගාරය තුළයි. තාත්තා විසින් තවමත් වැඩ අහවර නොකරන ලද ප්‍රතිමා මූර්ති සහ රාමු කරන ලද සිතුවම් අතර උදයගේ මුහුණද නිහඬ ප්‍රතිමාවක් සේ දුටු කාංචනාගේ ඇතුළතින් ආගන්තුක තිගැස්මක් මතු වෙයි. ඒ මිහිරි කම්පනය ඇගේ යොවුන් සිත උන්මාදයකින් පුරවයි. තමාට වඩා අවුරුදු විස්සකින් පමණ වැඩිමහල් චිත්‍ර ගුරුවරයෙකු වූ උදය මනමේන්ද්‍ර තම පළමු පෙම්වතා බවට පත් කර ගන්නට ඈ කිසිසේත් පසු බට නොවෙයි. සොළොස් විය සපුරා සිටි කාංචනාගේ පාසල් චිත්‍ර ගුරුවරයා වූයේ ද උදය මනමේන්ද්රයි. චිත්‍ර ඇඳීමෙහි ඈ තුළ පැවති නිසඟ බුහුටිතාව ඔප් නැංවෙන්නේ මේ සමයේදීය. සාමාන්‍ය පෙළ ලියා අවසන් වූ පසු චිත්‍ර ගුරුවරයාගේ අධීක්ෂණයෙන් පාසල් තාප්පය ළමයින්ගේ සිතුවම්වලින් හැඩ වූ අතර එහි සියලු කටයුතු හා වගකීම් භාර වූයේ කාංචනාටයි. තමා සමීපයේදී චිත්‍ර ගුරුවරයා මහත් කලබලයට පත් වන බව ඇයට දැනී තිබෙයි. උදය මනමේන්ද්‍ර නම් මේ සන්සුන් පෞරුෂය තුළ ජීවත් වන සෞන්දර්යාත්මක ප්‍රේමවන්තයා තමා නිසා සෙමින් අවදි වනු දකින කාංචනාගේ මුහුණෙහි ද අමුතු ඉසියුම් භාව රේඛා මතු වෙයි.
සෙමෙන් පරිස්සමෙන් එක් පෙති දෙපෙති ලියලා සුහුඹුල්ව වැඩුණු මේ නිසල රහසිගත පෙම්දම බිඳී විසිරී මීදුමාරයෙන් වැසී ගියේ කාංචනා උසස් පෙළ කිරීමට වෙනත් පාසලකට යාම නිසයි. එහෙත් ඒ අරුමැසි ප්‍රේමයේ සුන්බුන් තවමත් ඉතිරිව තිබේ. නිගූට කංචනා හමු වූ මුල් දිනවලම ඈ උදය මනමේන්ද්‍ර ගැන කියයි. උදයත් කාංචනාත් සමීපව සිටි සමයේ ඈ ලියූ කුඩා දින පොතක් නිගූට ද බලන්නට දෙයි. ඒ හුරුබුහුටි දින පොත බියෙන් හා කුතුහලයෙන් පෙරලා බැලූ නිගූ, එක් දිනක් වෙනුවෙන් ඈ ලියා තිබූ ගී පද පේළියක නතර වෙයි.
" මගේ ලොවට ඔබ වඩින තුරා
තරුවක් වාගේ හෙටත් පායන
මගේ යොවුන් හද ප්‍රාර්ථනා
අදත් එදා මෙන් බලා හිඳින්නෙමි
මගේ ලොවට ඔබ වඩින තුරා.."
තවත් කොටසකින් හමුවෙමු