වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඔබේ ගුණ ගඟ නැත නිම්මා මතු බුදුවේ මගේ අම්මා
පින්වත් ඔබට මතක ඇති පසුගිය දා ලෝක මවුවරුන්ගේ දිනය යෙදී තිබුණ බව. සෑම වසරකම මැයි මස දෙවැනි සතියේ ඉරු දින එලෙස මවුවරුන්ගේ දිනය ලෙස වෙන්කර තිබේ.
එහෙත් තමන් මෙලොවට බිහි කළ මවට ගරු සැලකිලි දැක්වීමට එක් දිනයක් ප්‍රමාණවත්ද? සැබැවින්ම මෙය ඔබ ඔබේ හදවතින් අසා බලන්න.
මේ ලෝකයේ සප්ත මහා සාගරය බඳු සෙනෙහහසක් වේ නම් ඒ අම්මාගෙනි. එතරම්ම සුවිශේෂී වූත්, අව්‍යාජවූත් ආදරයක් ලැබෙන්නේ ඇයගෙන් පමණි. අම්මාගේ ගුණ කිසිවකුට කෙදිනකදීවත් කියා නිම කළ නොහැකිය. එය පරම සත්‍යයකි. අප සම්මා සම්බුදු පියාණන් වහන්සේ වදාළේ සියක් වසරක් කර මත හිඳුවාගෙන රැක බලා ගත්තත්, මවුපියන්ගෙන් ගත් ලේ කිරි සහ දාඩියවල ණය ගෙවිය නොහැකි බවය.
‘බ්‍රහ්මාති මාතා පිතරෝ...’
බුදුරජාණන් වහන්සේ අම්මා සහ තාත්තා මහා බ්‍රහ්මයා වගේ යැයි දේශනා කර තිබේ. එනම් සතර බ්‍රහ්ම විහරණ ඔවුන් දෙදෙනා තුළ තිබෙන බැවිනි. අම්මා ළඟ දරුවන් වෙනුවෙන් මෛත්‍රී ධර්මය කොයිතරම් තිබේදැයි කියන කාරණාව මවකගේ උණුසුම ලද ඕනෑම දරුවෙක් දන්නා කාරණයක්. තමන්ගෙ ජීවිතයට වඩා තම දරුවන්ගේ ජීවිතය කෙරෙහි දැඩි අවධානයක්, ආදරයක් අම්මා සතුයි. ඇගේ සිරුරේ රතු ලෙය කිරි බවට පරිවර්තනය වන්නේ අම්මාට සොබා දහමින් දුන් තිළිණයක් වශයෙනි. තමන් ප්‍රියකරන දේ අතහැර දරුවා ඉල්ලන දේ ලබා දීමට තරම් මවුවත්කම කාරුණිකය.
කරුණා ගුණය
‘පරදුක්ඛේ හදේ කම්පනන්ති කරුණා...’ තමන්ගේ දරුවන්ට හිරහැරයක්, කරදරයක් බව ආරංචි වුවොත් මවක් කෙතරම් කලබලයට පත්වේද? මුළු මහත් සමාජයක්ම දරුවාට අකාරුණික වන තැන අම්මා දරුවාට කාරුණික වේ. අංගුලිමාල කතා පුවතින් ඒ බව තහවුරු කෙරේ. ගුරු පඬුරු ලබාදීමට අහිංසක අංගුලිමාල වී ඇඟිලි කපනා කැලයට මව දිව ගියා. ඔබ ඔහුගේ පෙරමඟට යන්නට එපා යැයි මිනිසුන් මාර්ගය අවහිර කරද්දී මව කියා සිටියේ දිවිය පුදා හෝ මගේ පුතා රැකගන්නවා යි ලෙසිනි. ඇඟිලි මාලය සම්පූර්ණ කර ගැනීමෙන් මගේ පුතාට සැපතක් වේ නම් මට සිදුවෙන කරදර උපේකෂාවෙන් දරාගන්නට සූදානම් බව ඇය තරයේ කියා සිටියා.
මුදිතා ගුණය
මවගේ කුසට දරුවකු පිළිසිඳගත් බව දැනගත් දා සිටම මගේ කුසට දැන් මාස දෙකයි, මාස තුනයි යැයි ඇඟිලි ගනිමින් ඇය සතුටට පත් වේ. මුදිතා ගුණය එයයි. මවක් තම දරුවකුගේ වර්ධනය වීමේ, දියුණුවීමේ තතු දැන ගනිමින් සතුටු වීමයි
සිංහල ගීතයක පදවැළක එන ‘පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ’ ගීතය තුළත් අම්මාගේ අසීමිත ආදරයේ ස්වභාවය අපූරුවට අරුත් ගැන්ව තිබේ. ගේ පුරා බඩ ගා, දන ගා, දුව ඇවිදපු පුංචි පුතා පාසල් යන පළමු දින අම්මා කෙනෙක්ට කොයි තරම් නම් සතුටක් දැනෙන දවසක් ද? ඇයට මහත් ආඩම්බරයක් දැනෙන දිනයකි. එයයි මවකගේ මුදිතා ගුණය.
මේ ලෙසින් දරුවා කායික වර්ධනයෙන් පමණක් නොව සමාජයීය වශයෙන් ද වර්ධනය වීම දැක අන් කිසිවකුටත් වඩා මවක සතුටට පත් වේ. දරුවා සමාජයේ පිළිගැනීමකට ලක්වෙන විට ප්‍රසිද්ධිය, කීර්තිය ලැබෙන විට මවක තරම් සතුටු වන කෙනෙක් මේ ලොව තවත් නම් නොවේ. මේ මුදිතා ගුණය මවක සතු විශිෂ්ටතම ගුණයකි.
මෙතරම් බල සම්පන්න මවට අද සමාජය තුළ නිසි ගරුත්වයක් ලැබේද යන්නත් තරමක ගැටලුවකි. ආදරණීය අම්මා දඬුවම් කළේ නම් ඒ සැබෑම කරුණාවෙනි. එහෙත් මානව හිමිකම් පනත ක්‍රියාත්මක කරන්නට තරම් වර්තමානයේ ඇතැම් දරුවන් අශිෂ්ට වී තිබේ.
මෑතකදි රජයේ උසස් නිලධාරිවරයකුගේ උපන් දින සාදයක් පැවැතුණි. විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ වගේම පිළිගත් ක්ෂේත්රවල නියැළි සිටි පිරිසක් මේ සාදයේ අමුත්තන් විය. සාදය අතරමඟ දී කෙඳිරිලි හඬක් ඔස්සේ අමුත්තන් ගොස් බලන විට ඔවුන්ට දැකගන්නට ලැබුණේ ඉතා අවාසනාවන්ත දසුනකි. ඒ උපන් දින සාදයේ හිමිකරුගේ මව දර මඬුවට දමා ගැට ගසා ඇති බවයි.
අනතුරුව ශෝකයට පත් අමුත්තන් සංග්‍රහය පිළිනොගන ආපසු ගොස් තිබුණි. බලන්න පින්වත් දරුවනි, පුතාගේ දියුණුව ප්‍රාර්ථනා කරමින් නොවිඳිනා දුක් ගැහැට දරාගනිමින් කටයුතු කළ මවට ඔහු සලකපු ආකාරය. උසස් නිලතල දරන, උගතුන් - ධනවතුන් ඇසුරු කරන මේ පුත්‍රයාට වයෝවෘද්ධ මව ලැජ්ජාවක් වුණා. එක්තරා පැත්තකින් බැලුවොත් අද සමාජයේ මවුපියවරුන් මේකට වගකිව යුතුයි. වර්තමාන මවුපියො දරුවො දියුණු කරන්න උත්සාහ ගන්නේ එක් පැත්තකින් පමණි. එක්තරා අතකින් ශිල්ප ඥානය, විභාග ජයග්‍රහණය පසුපස හඹායන මවුපියන්ට මෙවැනි දරුවෝ ලැබීම අරුමයක් නොවෙයි. ධනවත් දරුවො හදන මවුපියවරු ගුණවත් දරුවො හදන්න උත්සහ ගන්නේ නැහැ. එවන් සමාජය මාපියන්ට උරුම තැන වැඩිහිටි නිවාසය වීම සාමාන්‍යයකි.
“මහ මඟ සිඟති මවුපියො කොළපත් ගත්තු
වැජඹෙත් ඉහළ තැන්වල ඇගෙ ලොකු පුත්තු”
පින්වතුනි අද මහලු නිවාස, වැඩිහිටි නිවාස බිහිවන්නේ ඔබේම අතේ වරදින්. පුතා, දුව ලොකු පොහොසතකු, උගතකු කරන්නට ගන්නා උත්සාහයම ගුණවතකු කරන්නට දරන්නේ නම් සැමට යහපතක් උදාවේ.
ලෝකයේ වෙනත් රටවලට මවුවරුන්ට වෙන්වූ දිනයක් අවශ්‍ය මුත් ශ්‍රී ලාංකේය අපට එය දිනකට සීමා කළ නොහැකියි.
උපේක්ඛා ගුණය
සතර බඹ විහරණ අතර සිවුවැන්න උපේක්ඛාවයි.
මවගේ ගුණ ගැන කතා කිරීමේදී උපේක්ඛා ගුණය අති ප්‍රබලයි. එනම් දරුවකුගෙන් වචනයකින් හෝ හිත් රිදුමක් පීඩාවක් ආවත් මව එය උපේක්ෂා සිතින් විඳ දරා ගැනීමයි. එක්තරා කතා පුවතක සඳහන් පරිදි පුතකු මවකට පා පහරක් ගැසීමේදී තෝ කොටියාම කාපිය යැයි මව පුතුට බැණ වදී. පුතා කැලේ යනවිට කොටියකු මුණ ගැසීමේ දී මව කී වචනය පුතාට සිහිපත් වේ. එහිදී පුතු සිතුවේ ‘අම්මා කිවුව දේ නොවී හිතපු දේ සිදුවේවා කියලා’. ඒ තරම්ම අම්මා කෙනෙකු දරුවන්ට අනුකම්පා සහගතයි.
පින්වතුනි, මව සහ පියා යන දෙදෙනාම දූ දරුවන්ට නිසි කල අධ්‍යාපනය ලබා දී නැණස පාදා, ගුණදමින් පෝෂණය කරන්නට සමත් වේ ද ඔවුන් ඔබේ ලෝකයේ හිරු සඳු වන්නේය
එසේ නම් ඔබේ උපන් දිනය දා අන් අයට සංග්‍රහ කරනවාට වඩා මවට තිළිණයක් ලබාදීම සුදුසුයි. බුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ ද ආහුන්‍යෙ... ගුණය මාපියන් සතු බවයි. එනම් දුර සිට ඇවිත් යමක් ගෙනෙත් දීමට සුදුසු බවය. එහෙත් අම්මා තාත්තා ළඟට නොආ ඔබ රන් ආභරණ ගුවනින් එවුවත් ඵලක් නම් නොවේ.
වානිජකරණ වූ ලෝකයේ ඔබ ඔබේ අම්මාගේ තාත්තාගේ වටිනාකම මහ ඉහළින් දකින්න. ඇත්තෙන්ම ඔබට ජීවය දුන් ඒ අම්මාගේ තාත්තාගේ උපන් දිනය ඔබට මතකද? මේ පැනයට ඔබ නිරුත්තරනම් ඔබ කෙතරම් ඉහළ සමාජතලයක සිටිය ද පලක් නොවේ
මුළු මහත් ලෝකයටම ඔබ එකම එක අයකු පමණි. එහෙත් මවකගේ පියකුගේ මුළු ලෝකයම ඔබ පමණි. එවන් මවකට, පියෙකුට සැලකීමේ උත්තම ගුණය ඔබ තුළ ඇතිකර ගන්නේ නම් දෙලොවම සැනසීම උදාවනු ඇත.
අනුශාසනාව රාජ්‍ය මාධ්‍ය බෞද්ධ උපදේශක, ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති, ශාස්ත්‍රපති, පූජ්‍ය
කැටවල හේමාලෝක
ස්වාමීන් වහන්සේ