වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
මනාපය ලබන්න මේ ගුණාංග ඇති කර ගන්න
පින්වතුනි, පුරාතන ජනතාවගේ මූලික ජීවන වෘත්තිය වුයේ කෘෂිකර්මාන්තයයි. එහිදී ජන කණ්ඩායම්වල සුහදත්වය හා සාමූහිකත්වය පදනම් කොට ගෙන සබඳතා සුරක්ෂිත කරගනිමින් ජනයා ප්‍රමුදිතව ජීවත් වූහ.
අතීතය පුරාත් බුදුදහම ලෝකයෙහි ප්‍රචලිත වීමෙන් පසුව ජන ජීවිතයේ සාමූහික පදනම වඩාත් ශක්තිමත් වූයේ ඔවුනොවුන් අතර පැවැති මානව සබඳතා මුල් කරගනිමිනි.
සමාජ ගැටලු රැසකට මුහුණ දී ඇති වර්තමානයෙහි, පුරාතන ජනතාව සාමූහිකත්වය මත අන්‍යෝන්‍ය සහයෝගයෙන් ජීවත් වූ රටාව නැවත සිහිගැන්විය යුතු කාලය එළැඹී තිබේ.
අප ලොව්තුරා අමාමෑණී බුදු පියාණන් වහන්සේ බොහොම උසස් කොට සැලකුවේ ධර්මානුකූල ප්‍රතිපත්තියයි. උන්වහන්සේ ධර්මය තමන්ගේ ගුරුවරයා බවට පත්කර ගත්තේ එනිසාමයි. බුද්ධ ශාසනයේ වැඩ සිටි සමහර ශ්‍රාවකයන් වහන්සේලාට තමන්ගේ ප්‍රතිපත්ති ගරුක බව නිසාම බොහෝ දෙනාගේ ප්‍රසාදය දිනා ගන්නට පුළුවන් වූ බව පෙනෙනවා.
“සීල දස්සන සම්පන්නං
ධම්මට්ඨං සච්ච වාදිනං
අත්තනො කම්ම කුම්බානං
තං ජනො කුරුතෙ පියං”
යම් කෙනෙක් අනෙක් අයගේ ප්‍රසාදය දිනා ගැනීමට කැමැති නම් ඒ තැනැත්තා ළඟ ගුණ ධර්ම පහක් තිබෙන්නට ඕනේ. එනම් සීලය, දර්ශනයක් ඇති බව, ධර්මානුකූල බව, සත්‍යගරුක වීම හා තමන්වෙත පැවරෙන වැඩ කොටස නොපිරිහෙලා ඉටු කිරීම කියන ගුණාංග පහයි.
පින්වතුනි, බුදු රජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ සිටි අවස්ථාවක අසූ මහා ශ්‍රාවකයන් වහන්සේ සමඟ පිණ්ඩපාතයේ වැඩියා. එදි දඹදිව සැණකෙළි දවසක්. හැමතැනකම විනෝද වෙන ජනතාව. උන්වහන්සේලා පිඬු සිඟා වඩින වෙලාවේදී කැවුම් පුරවා ගත් මලු අරගෙන ළමයි පිරිසක් උත්සවයට යනවා. බුදු හාමුදුරුවන් ඇතුළු රහතන් වහන්සේලා දුටුවත් මේ ළමයින්ට අමුත්තක් නැහැ. ටික දුරක් වැඩිය බුදුහිමියන් අර හික්ෂූන් වහන්සේලාගෙන් අහනවා “මහණෙනි, කැවුම් කන්න ආසයි ද?” කියලා. භික්ෂූන් වහන්සේලා කැවුම් වලඳන්න ආස වුණත් එකවරම කැවුම් ලැබුණේ නැහැ. එහෙත් අන්තිමට වඩින මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දැකලා ළමයින් උන්වහන්සේට වැඳලා කැවුම් පූජා කළා. උන්වහන්සේ අර ළමයි එක්කම බුදුහිමි ළඟට ඇවිත් මහ රහතන් වහන්සේලාට කැවුම් පූජා කරන්න යැයි ළමයින්ට කිව්වා. තවත් කෙනකුගේ හෝ පිරිසකගේ මනාපය ලබාගන්නට ලෙහෙසි පහසු නැති බව පෙනෙනවා නේද ?
සමහරු දාමරිකකම් කරලා, බලහත්කාරකම් කරලා මනාපය ලබාගන්න උත්සාහ කරනවා. තවත් අය මුදලට, තනතුරුවලට මනාපය ගන්න බලනවා. පින්වතුනි, මේවා බොහොම තාවකාලිකයි. විනාශකාරීයි.
සිල්වත්කම
පින්වතුනි, කතාකරන වචනවලින් හා හැසිරෙන ආකාරයෙන් කෙනකුගේ සිල්වන්ත බව කිව හැකියි. අනෙක් අයගේ හිත රිදවන, වෛරය, ක්‍රෝධය අවුස්සන වචන කියන තැනැත්තා අසංවරයි. ඒ අය නිසා අනෙකා අතර භේදභින්නවීමක්, හිත් රිදවීමක් ඇති වෙනවා. වචනයෙන් අසංවර කෙනකුගෙන් කිසිවකුට ප්‍රයෝජනයක් නැහැ.
මනා දර්ශනයක් ඇතිබව
අප හැම කෙනකුටම කිසියම් ඉලක්කයක්, අරමුණක් තියෙනවා. නැතිනම්, ඇතිකරගන්නට ඕනේ. ඒ ඉලක්කය කරා යන්නට තමයි සැලැසුම් ඇතිකර ගත යුත්තේ.
දර්ශනයක් නැති කෙනකුගේ අනාගතය අඳුරුයි. විශ්වාසයක් ඇති නොවේ. විවාහයට ද එසේමයි. කිසිම පදනමක් නැතිව කැමැත්ත දීලා තමන්ගේ මුළු ජීවිත කාලයම අඳුරුකර ගන්නවා. පසුතැවෙනවා. ඉදිරි වැඩ පිළිවෙළක් නැති කෙනකුට බහදීලා පලක් නොවන බව තේරුම් යද්දී කාලය ආපස්සට ගත නොහැකි තැනට ගොස් අවසන්.
විනය ගරුක බව
‘විනයෝ නාම සාසනස්ස ආයු ‘ යනුවෙන් භික්ෂූන් අරඹයා බුදු රජාණන් වහන්සේ දේශනා කරන ලදී. සෑම කෙනකුටම තම ජීවිතයේ විනයක් තිබිය යුතුයි. බුද්ධිය මෙහෙයවා වැඩ කරන්නටත් විනය අවශ්‍යමයි.
නිසි ප්‍රතිපත්තියක්, ස්ථිරසාර බවක්, විනයක් නැති තැනැත්තාට කිසිවකුගේ කැමැත්තක් ඇතිවන්නේ නැහැ. ඔවුන් හා ඇසුරට එන්නේ ද ඒ වගේම කලින් කල වෙනස්වන, වාසියට විතරක් කටයුතු කරන දෙය පමණයි.
සත්‍යවාදී බව
හැම කෙනකුටම සත්‍යය දැන ගැනීමේ අයිතියක් තියෙනවා. ඇත්ත කතාකිරීම තුළින් අනෙකාගේ විශ්වාසය තහවුරු වෙනවා.
යමෙක් ජනතාව කුපිත කරවන, ජනතාව නොමඟට යවන විදියේ බොරු අසත්‍ය ප්‍රකාශ කරයි නම් ඔහු සත්‍යය දැනගැනීමට ජනතාවට තියෙන අයිතිය උදුරා ගැනීමක් සිදුකරනවා. ඒ වගේම තමන් කෙරෙහි තිබෙන විශ්වාසය ද නැතිකර ගන්නවා. එවැනි අය කෙරෙහි තාවකාලික රැවටීමක් ඇති වුණත් සත්‍ය වටහාගත් දවසට තමන් මුලාවට පත්වූ බව දැන ඔවුන් ප්‍රතික්ෂේප කරනු ලබනවා. ලොව්තුරා බුදු පියාණන් වහන්සේ කෙරෙහි ලොව බොහොමයක් දෙනකු තුළ අදටත් විශ්වාසය රැඳිලා තියෙන්නේ උන්වහන්සේ සත්‍යවාදී වීම නිසයි.
පුංචි පවුලක පටන් රාජ්‍ය ආයතන දක්වාම මේ විශ්වාසය රැඳී තිබිය යුතුයි. එතැන බොහොම පි‍්‍රයයි. සුන්දරයි. රඳා පැවැත්ම තහවුරුයි.
වැඩ කටයුතු කලට වේලාවට ඉටු කිරීම
තමන්ට අයිති වැඩ කොටස ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. අද ඇතැමුන් හුරු පුරුදු වී සිටින්නේ ප්‍රමාද වී කටයුතු කිරීමටයි. එසේම පැවැරී ඇති කොටස ඉටු නොකර දරන්නට බැරි, මහා වැඩ බදාගෙන කටයුතු කිරීමටයි. එහිදී හැම වැඩක්ම අවුල් වියවුල් වී යයි.
කන්තෝරුවකට වැඩක් කරගන්නට ගිය අය පෙරළා කියන්නේ ‘හරියට රස්තියාදු වුණා’ කියලයි. ඇයි මේ ? තම තමන්ට අයිති වැඩ කොටස් ගැන තියෙන අනවබෝධය හා නොසලකා හැරීමයි. එහෙම උදවියට ජනතාව දොස් පවරනවා හැරෙන්නට කිසි දවසක කැමැත්තක් ඇතුව ප්‍රශංසාවක් පළ කරන්නේ නැහැ.
පින්වතුනි, ජීවත්වන ටික කාලය තුළ අපි අනෙකා සමඟ වඩාත් හොඳින් ජීවත් විය යුතුයි. ඔවුන්ගේ කැමැත්ත, ප්‍රසාදය දිනාගත යුතුයි. ඒ සඳහා යම් තරමක හෝ යහපත් ගුණාංග පුරුදු පුහුණු කරගත යුතුයි.
අනුශාසනාව
ශාස්ත්‍රපති, පූජ්‍ය
කැටවල හේමාලෝක
ස්වාමීන් වහන්සේ