වර්ෂ 2025 ක්වූ May 05 වැනිදා Monday
සෙනෙහෙ නැත නිම්මා ඇගේ නම අම්මා

අම්මා තම දරුවන්ට අමා රසය අමා මිහිරියාව ගෙන දෙන මෙලොව සිටින උත්තරීතරම තැනැත්තිය යි. අම්මා යන වචනය ජාති ආගම් කුල මල භේදයකින් තොරව ලෝකයේ සියලු දෙනාටම ප්‍රිය උපදවන ආදරණීය වචනයක්. ඒ අම්මාගේ ආදරය, කරුණාව, දයාව හා සෙනෙහස උතුරා යාමේ ප්‍රතිඵලයක් ලෙස අපි සියලු දෙනාටම මෙලොව එළිය දකින්නට වාසනාව උදාවුණා. ඇය, මෙත්තා, කරුණා, මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණයන්ගෙන් යුක්ත නිසා ගෙදර බුදුන් ලෙස හඳුන්වනවා.
අපේ අම්මා, අපි සිතූ පැතූ සම්පත් ලබාදුන් නිසා කප්රුකක් බඳුයි. විපතකදී වුණත් ඇයගේ ජීවිතය පරදුවට තබා මගේ පුතා මගේ දුව ආදී වශයෙන් කියමින් ආරක්ෂිකාවක් ලෙස අපව ආරක්ෂා කළා. අඩුම තරමේ මැසි මදුරුවෙකුටවත් අපේ ඇඟට වහන්න දුන්නේ නෑ.
අපි මෙලොව එළිය දකින්න පෙරාතුව සිටම ඇය දස මාසයක් කුස තුළ හොවාගෙන, අප්‍රමාණ දුක් විඳිමින් මෙලොවට බිහි කොට ඇයගේ ශරීරයේ තිබෙන පෝෂ්‍යදායී සාරවත්ම කොටස් දිය කරමින් රක්ත වර්ණ රැධිරය සුදෝ සුදු කිරි බවට පත් කරමින් අපේ කුසගිනි නිවන්නට නිරතුරුව කටයුතු කළා. එපමණක් නොවෙයි, අම්මාගේ උරහිස, අම්මාගේ උකුළ මත තබාගෙන ගී සින්දු කියමින් අපව සතුටු කළා. කතා කිරීමට නොහැකිව උඩුකුරුව සිටිය දී අපේ ඇස්වලින්, අපේ හැඬීමෙන් අපේ ඉරියව් දැනගෙන අප සිතන පතන සෑම දෙයක්ම අපට ලබා දුන්නා. එපමණකුත් නොවෙයි, අත් පා වාරු නැතුව හිස එසවීමට නොහැකිව, ඇවිදීමට නොහැකිව සිටි අවදියේ අපේ කැත කුණු අතගාමින් අපව පිරිසිදුව ලස්සනට තියන්නට අම්මා කළ සේවය අප්‍රමාණයි. අපි වෙනුවෙන් ඇය නිදි වැරූ රාත්‍රී ගණන මෙතැකැයි ගණන් කළ නොහැකි ය. අපේ තාත්තා ද මීට නොදැවෙනි කාර්යයක් අපි වෙනුවෙන් නිහඬවම සිදු කළේ ය.
මෙලෙස ආරක්ෂිකාවක් ලෙස, වෛද්‍යවරියක් ලෙස, සේවිකාවක් ලෙස, මුල්ම ගුරුවරිය ලෙස, සූපවේදනිය ලෙස, ගායිකාවක් ලෙස කටයුතු කළ අපේ අම්මා දැන් වයස්ගත ය. එදා උකුළ මත තබාගෙන, උරහිසේ තබාගෙන මිහිරිව ගී ගායනා කළ අම්මාගේ ලස්සන, මිහිරි කටහඬ, ශක්තිමත් බව අද දකින්නට නැත. ඒ සියල්ලම කිරි සමඟ අපට පෙවා අප සතුටු කොට ඇය දුබලව ඇත. පියාණන් ද එසේ ම ය.
මෙවන් අමිල මෙහෙවරක් සිදු කළ අම්මා වයස්ගත වූ විට අප සිදු කරන්නේ කුමක් ද? හොඳින් උපස්ථාන කරමින් රැක බලා ගන්නවාද? එසේත් නැත්නම් මුදල් ගෙවා වැඩිහිටි නිවාසයක නතර කරනවා ද?
බුදුන් වහන්සේ දේශනා කරනවා, “ද්වින්නාහං භික්ඛවේ න සුප්පතිකාරං වදාමි. කතමේ ද්වේ මාතූ ච පිතූ ච”. මහණෙනි, මේ ලෝකයෙහි පිහිට වී, පිළිසරණ වී, ආධාර වී, කෙළෙහිගුණ දක්වා, උපස්ථාන කර, උපකාර කර සෑහීමකට පත්වීමට නොහැකි පුද්ගලයන් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි, මවුපිය දෙදෙනා. වර්ෂ සියයක් මව හා පියා දෙවුර මත තබාගෙන බිම නොතබා සියලු උපස්ථාන සිදු කළත් සෑහීමකට පත් විය නොහැකි අතර, යම් පුද්ගලයෙකුට එකී ණය ගෙවීමට අවශ්‍ය නම් ඔවුන්ට දහම් මඟ පෙන්වා දිය යුතු බව බුදුන් වහන්සේ දේශනා කරනවා. පැවිදිව සිටියත් තම මවුපියන්ට පිණ්ඩපාතයේ වැඩම කර හෝ ආහාරපාන ආදිය සපයා දිය යුතු බව බුදුන් වහන්සේ දේශනා කරනවා. මවුපිය උපස්ථානය ගිහි පැවිදි කිසිවෙකුට මඟහැරිය නොහැකි බව මෙකී දේශනාවන්ගෙන් පැහැදිලි වෙනවා.
මවුපිය උපස්ථානය මංගල කාරණාවක් ලෙස මහා මංගල සූත්‍රයේ සඳහන් වන අතර, තමාගේ දෙලොව අභිවෘද්ධිය පිණිසත් මෙලොව වශයෙන් සමාජ උපවාදයන්ගෙන් වැළකී සිටීමටත් එය උපකාර වෙනවා. යමෙක් මවුපිය උපස්ථානය සිදු නොකරන්නේ නම්, වසලයෙක් වන බවත් පිරිහීමට පත් වන බවත් වසල සූත්‍රයේ සහ පරාභව සූත්‍රයේ සඳහන් වෙනවා.
ඇතැම් දරුවන් තම මවුපියන්ට උපස්ථාන කරනුයේ දේපළ ලියාගන්නා තුරු පමණි. ඇතැම් දරුවන් මවුපිය උපස්ථානය සිදු කළත් එය සිදු කරන්නේ ඔවුන්ට දෝෂාරෝපණය කරමිනි. එවිට සිත තුළ ද්වේෂය හා තරහව ඇති බැවින් පිනක් සිදු වන්නේ නැත.
බුදුන් වහන්සේ පවා තම මවට හා පියාට කෘතගුණ දක්වා ඇත. තමා ඉපදී දින හතකින් මහාමායා දේවිය මිය ගිය ද එතුමියට කෘතගුණ දැක්වීමට තුන් මාසයක් පුරා දෙව්ලොවට වැඩම කොට ඇයට ධර්මය දේශනා කළහ. පියාණන් වූ සුද්ධෝන මහරජතුමා රෝගී වූ අවස්ථාවලදී රජ මාලිගාවට වැඩම කොට ආශීර්වාද කළ අයුරු” තම සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී වහන්සේ පරිනිර්වාණයට පත් වූ පසු ඇයගේ දේහය පසුපසින් වැඩම කොට තම දන් වළදන පාත්‍රයට ඇයගේ ශරීරය දවන පද අළු රැගෙන වැඩම කළ බව ධර්ම සාහිත්‍යයේ සඳහන් වේ. ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථායි, ධම්ම සේනාපති සැරියුත් මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයට පෙර තම
ගිහි කල නිවසට වැඩම කොට මිසදිටු අදහස් දැරූ තම මැණියන්ට දහම් දෙසා සම්‍යක් මාර්ගයෙහි පිහිටවූහ. අග්බෝ රජතුමා තම මෑණියන්ට උපස්ථාන කළ ආකාරය පුංචි සන්ධියේදීම අපි උගත්තෙමු. ඇතැම් රජවරුන් තම මෑණියන්ගේ නමින් වෙහෙර විහාර ඉදි කරවා ඔවුන්ට කෘතගුණ දැක්වූහ.
මුගලන් මහරහතන් වහන්සේ පෙර අත්භවයක දී තම බිරිඳගේ කේලාම් අසා මවුපියන්ට හිංසා කිරීමේ විපාක රහත් වන ආත්මභාවය දක්වාම කරත්ත රෝදය මෙන් පෙරළමින් විත් විපාක දුන්නේ ය. අජාසත් රජු පියාට කළ හිංසනයන්හි විපාක මෙලොව වශයෙන් විපාක දුන්නාසේ ම පරලොව වශයෙන් ද අපායගාමී විය. මෙකී කතා ප්‍රවෘත්තීන්ගෙන් මවුපිය උපස්ථානයේ වටිනාකම හා එය සිදු නොකිරීමේ විපාක පිළිබඳව මනාව වැටහෙනු ඇත. වර්තමානයේ බොහෝ දෙනා තම මවුපියන් ජීවත්ව සිටිය දී උපස්ථාන නොකොට මියගිය පසු අවසන් කටයුතු සැණකෙළියක් මෙන් ඉතා ඉහළින් පවත්වති. ඒවා තම හෘද සාක්ෂියට එකඟ නොවන සමාජ උදහසට පත්වීම වළක්වා ගැනීමට සිදු කරනු ලබන කාර්යයන් ය.
මේ ආත්මයේ දී අපට හමුවන්නේ එක් අම්මා කෙනෙකු හා එක් තාත්තා කෙනෙක් පමණි. එම නිසා ඔවුන් ජීවත් වන කෙටි කාලය තුළ දී ඔවුන්ට අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ඇප උපස්ථාන කරමින් ඔවුන් රැක බලා ගනිමු. එය ඔබේ මානසික තෘප්තිය පිණිස හේතු වන්නා සේම ඔබේ දරුවන්ට ද මහත් ආදර්ශයක් වනු ඇත.
අනුශාසනාව
තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී
යක්කලමුල්ල ආදිච්චවංස පිරිවනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශන ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජොති හිමි.