අතීත කර්ම හේතුවෙන් නිර්මාණය වන ඔබේ චරිතය

අගෝස්තු 19, 2024

 

ජාති, ආගම් භේදයකින් තොරව සියලු මිනිසුන් චරිත වශයෙන් සයාකාර වේ.

 

1. රාග චරිත

2. ද්වේෂ චරිත

3. මෝහ චරිත

4. සද්ධා චරිත

5. බුද්ධි චරිත

6. විතර්ක චරිත

 

මෙම සයාකාර චරිත පිළිබඳ විවරණයක් විසුද්ධි මාර්ගයේ “කර්මස්ථාන ග්‍රහණ නිද්දේසයේ” සඳහන් වේ. එහි දී එක් එක් පුද්ගලයින් සතුව මෙම චරිත ලක්ෂණ ඇති වීමට බලපා ඇති අතීත කර්ම හේතු පිළිබඳවත්, පුද්ගලයන් තුළ පවතින මෙකී චරිත ලක්ෂණ හඳුනාගන්නා ආකාරය පිළිබඳවත් ඒ ඒ චරිතයට සුදුසු දේ පිළිබඳවත් චරිතානුකූල වශයෙන් සුදුසු භාවනා පිළිබඳවත් විධිමත් විවරණයක් ඉදිරිපත්කර ඇත.

 

මෙම ප්‍රධාන චරිත හයට, මිශ්‍ර චරිත අටක් ද එක්කර මනෝ විද්‍යාත්මකව දාහතර වැදෑරුම් ආකාරයකින් විශ්ලේෂණයක් කර ඇත. එය මෙසේ ය.

 

1. රාග චරිත

2. ද්වේෂ චරිත

3. මෝහ චරිත

4. සද්ධා චරිත

5. බුද්ධි චරිත

6. විතර්ක චරිත

7. රාග - ද්වේෂ චරිත

8. රාග - මෝහ චරිත

9. ද්වේෂ - මෝහ චරිත

10. රාග - ද්වේෂ - මෝහ චරිත

11. සද්ධා - බුද්ධි චරිත

12. සද්ධා - විතර්ක චරිත

13. බුද්ධි - විතර්ක චරිත

14. සද්ධා - බුද්ධි - විතර්ක චරිත

 

මෙලෙස පුද්ගල චරිත මනෝ විද්‍යාත්මකව හඳුනාගන්නා විට මෙවැනි චරිත ලක්ෂණ බොහෝ ගණනක් වුව ද දක්වාලිය හැකිය. පුද්ගලයාගේ චරිත වශයෙන් හඳුන්වා ඇත්තේ, යමෙකුගේ සිතෙහි වැඩි වශයෙන් බල පවත්වන ස්වභාවය යි.

 

සය වැදෑරුම් චරිත අතරින් රාග චරිතයාට කුසල් සිත් උපදින කළ ශ්‍රද්ධාව බලපවත්වන බව කියයි. එමෙන්ම එම ශ්‍රද්ධාව සිනිඳු බවත් රළු නොමැති බවත් කියයි.

 

රාග චරිතය -

මොහුගේ ගමන් විලාසය ප්‍රකෘති ගමන් ලීලාවයි. පා සෙමින් තබයි. ඇවතුම් පැවතුම් සියල්ල ප්‍රසාද ජනකයි. සියලු කාර්යයන් පිළිවෙළකට සිදු කරයි. නින්දට යාමට පෙර එ් භූමිය පිරිසුදු කර පිළිවෙළකට නිදයි. රසවත් මිහිරි ආහාර ප්‍රිය කරන අතර ආහාර ගැනීමේ දී පිළිවෙලකට ඒවායේ රස විඳිමින් අනුභව කරයි. කුඩා ප්‍රිය අරමුණක් පවා දැඩිව ග්‍රහණය කරගනී. මොහු මායා (පව්කම් කර සඟවන ස්වභාවය), සාඨෙය්‍ය(ලාභ සත්කාර අශාවෙන් තමා තුල නැති ගුණ ඇති ලෙස හැඟවීම), මාන ( මානය), පාපිච්ඡතා (ලාමක ලෝභය), මහිච්ඡතා (කොතෙක් ලැබුනත් සෑහීමකට පත් නොවීම) ආදී මානසික ව්‍යාධීන්ගෙන් පීඩාවට පත් වේ. මොහුට දස අසුබය හා කායගතාසතිය නිර්දේශිත ය.

 

ද්වේෂ චරිතය -

මොහුගේ ගමන වේගවත්ය. සෑම කාර්යයක්ම අපිළිවෙළට සිදුකරයි. නින්දට පෙර සූදානමකින් තොරව යම්තමින් සකසා ගත් ඇඳේ ශරීරය හකුළුවාගෙන නිදයි. කඩිනමින් වැඩ අවසන් කරයි. කිසිදු කාර්යයක් පිළිවෙළට සිදු නොකරන අතර රළු ඇඳුම් පැලඳුම් අඳියි. රළු හා ඇඹුල් ආහාර පාන අනුභව කරයි. අප්‍රිය කුඩා අරමුණක් වුවත් ගැටුණ විට ක්ලාන්ත වූවකු මෙන් බලා සිටියි. ක්‍රෝධය ( අනුන්ට බණින, තර්ජනය කරන අත්පා ආදියෙන් පහර දෙන ස්වභාවය) උපනාහ (බද්ධ වෛරය) මක්ක (ගුණමකු බව) පළාස (එකට එක කිරීම) හා මච්ඡරිය (මසුරුකම) ආදී මානසික ව්‍යාධීන්ගෙන් පීඩාවට පත්වේ. අප්පමඤ්ඤ සතර, නීල, පීත,ලෝහිත හා ඕධාත යන වර්ණයන් මොවුන්ට කර්මස්ථාන වශයෙන් යෝග්‍ය වේ.

 

මෝහ චරිතය -

මොහු ගමන් කිරීමේ දී තැතිගත්තෙකු සේ අපිළිවෙළට ගමන් කරයි. කිසිදු ක්‍රියාවක් පිළිවෙලට සිදු නොකරයි. නිදා ගැනීමේදී පවා අවිධිමත්ව අතපය විසුරුවාගෙන නිදයි. වස්ත්‍රාභරණ ආදිය ලිහිල්ව කඩා හැලෙන පරිදි අඳින පළඳින අතර ආහාර ගැනීමේදී පවා ගන්නා වූ ආහාරය පිළිබඳ තෘප්තිමත් නොවී වෙනත් ආහාරපාන පිළිබඳව කල්පනා කරයි. මොහු ගන්නා අරමුණ විවේචනය නොකරන අතර අන්‍යයන් විවේචනය කරන්නේ නම් එය අනුමත කරයි. එයට සහාය දක්වා ඔහු ද එය හෙලා දකියි. ප්‍රශංසා කරයි නම් ඔහුද ප්‍රශංසා කරයි. ථීනමිද්ධය (සිතේ හා කයේ කම්මැලිකම) උද්දච්ච කුක්කුච්ච (සිතේ පවතින නොසන්සුන් බව) විචිකිච්ඡා (සැකය) වැනි තත්ත්වයන් බහුල කොට පවතී. මොහුට සක්මන් භාවනාව හා ආනාපානසතිය නිර්දේශිත ය.

 

සද්ධා චරිතය -

බුද්ධාදී ආර්යයන් වහන්සේලා පිළිබඳ දැඩි භක්තියකින් කටයුතු කරන මොහු ශ්‍රද්ධාව ජනනයවන ආකාරයෙන් කටයුතු කරයි. ශාරීරික ස්වස්තථාව පිළිබඳ සැලකිල්ලක් දක්වන මොහු දුටුවන් ප්‍රසාදයට පත්වන ආකරයේ ඇවතුම් පැවතුම්වලින් යුක්ත වේ. පිරිසිදුකම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන මොහු ප්‍රණීත ආහාර පාන ආදිය අප්‍රිය කරයි. බුද්ධානුස්සති භාවනාව ඇතුළු අනුස්සති හය මොහුට නිර්දේශ කර ඇත.

 

බුද්ධි චරිතය -

සියලු කරුණු විචාරශීලීව දකින්නට පුරුදු වූ මොහු කීකරු බව, කල්‍යාණ මිත්‍ර සේවනය, භෝජනයේ ප්‍රමාණය දැනීම, සිහිනුවණ ඇති බව, අප්‍රමාදී බව ආදී සුවිශේෂී ලක්ෂණ සමුදායකින් පිරිපුන් ය. මොහු සෑම කාර්යයකදීම නුවණ මෙහෙයවා කටයුතු කරයි. මරණානුස්සතිය, ආහාරයේ පටික්කූල සංඥාව, චතුධාතු වවත්තාන ආදිය මොහුට නිර්දේශිත ය.

 

විතක්ක චරිතය -

දොඩමළු බව, පිරිසෙහි ඇලීම, පිරිස සමග වාසයට ඇති කැමැත්ත ආදී ලක්ෂණ ඇති මොහු ස්ථිර වශයෙන් එල්බ ගත් අදහස් ඇත්තෙකි. මොහු රාත්‍රී කාලයේදී විවිධ වූ අදහස් කල්පනා කරන අතර දවල් කාලයේදී එම අදහස් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරයි. මොහු එක් ක්‍රියාවක් අවසන් කිරීමට පෙර තවත් ක්‍රියාවක් ආරම්භ කරන හෙයින් කිසිදු කාර්යයක් සාර්ථකව අවසන් නොකරයි. ගැඹුරු විතර්කයන්ට යොමුවන මෙම චරිත ලක්ෂ ලක්ෂණ ඇති පුද්ගලයින්‌ට ආනාපානසතිය නිර්දේශිත ය.

 

මෙලෙස උපතින්ම කැපී පෙනෙන චරිත ලක්ෂණ පදනම් කරගෙන ඒ ඒ චරිත වර්ග නම් කොට ඇත.

 

බුද්ධඝෝෂ හිමියෝ මෙම චරිත විග්‍රහයට අනතුරුව මෙසේ බිහිවීමට බලපාන හේතු සාධක පැහැදිලි කරයි. දෝෂ හා මෝහ චරිත එසේ වීමට පෙර පුරුදු කරන ලද චර්යා රටාවන් හා ධාතු හා දෝෂ හේතු වේ. පෙර සුබ වශයෙන් ආශා වශයෙන් සැලකෙන කටයුතුවල බහුල ලෙස යෙදීම හෝ දෙව්ලොවින් චුතව මෙහි ඉපදීම රාග චරිතයකු වීමට බලපාන සාධකයෝ ය. පෙර කැපීම්, කෙටීම් ආදි වෛරී සහගත ක්‍රියාවල බහුලව යෙදීම හෝ නිරය, නාග ආදී ආත්මභාවවලින් චුතවීම ද්වේෂ චරිතයකු වීමට බලපා ඇත.

 

පෙර මත්පැන් පානයෙහි යෙදීම, අධ්‍යාපන කටයුතුවලින් තොරවීම, තිරිසන් ජාතියෙන් චුතව මනුස්ස ලෝකයේ ඉපදීම මෝහ චරිතයකු වීමට බලපායි.

 

සතර මහා භූතයන්ගෙන් පඨවි හා ආපෝ යන ස්වභාවයන් උත්සන්න වීම නිසා මෝහ චරිතය ද තේජෝ හා වායෝ ධාතු උත්සන්න වීම නිසා දෝෂ චරිතය ද පඨවි, ආපෝ, තේජෝ හා වායෝ යන ධාතු සතරම සමව පැවතීමෙන් රාග චරිතය ද නිර්මාණය වේ.

 

මෙම කරුණු තුළින් ඔබට ඔබේ චරිත ලක්ෂණ හඳුනාගෙන නිවැරදිව ඔ‌බේ ජීවිතය සකස් කර ගත හැකි වනු ඇත.

 

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජෝති හිමි.

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ