ජීවිතයට සතුට ගේන බුදුන් පුදට අෂ්ටපාන අෂ්ට පාන පූජා කිරීමේ නිවැරැදි ක්‍රමය ගැන ඔබ දැනුම්වත්ද ?

ජූලි 22, 2024

 

බුදුදහමේ ඉගැන්වෙන පූජා විධි දෙකකි. ඒවා නම් ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජාවන්ය. ආමිස පූජා යනු අන්න පානයි. අන්න යනු කෑම වර්ගයි. පාන යනු බීම වර්ගයි. ප්‍රතිපත්ති පූජාවන් ලෙස සලකන්නේ සීලමය හා භාවනාමය පුණ්‍ය ක්‍රියාවන්ය. නිර්වාණ මාර්ගයේ පළමු පියවර දානයයි. දානය නම් අත්හැරීමයි.

 

සූත්‍ර පිටකයේ බොහෝ ස්ථානයන්හි දාන වස්තු දහයක් පිළිබඳව සඳහන් වේ. ඒවා නම්,

 

“අන්නං පානං වත්ථං යානං

මාලා ගන්ධ විලෙපනං

සෙය්යාවසථ පදීපෙය්යස

දාන වස්ථු ඉමෙ දස”

 

(1) ආහාර - ආහාරයට ගැනීමට සුදුසු සියලු ආහාර වර්ග, බත්, ව්‍යාංජන, කැවිලි පළතුරු ආදිය

(2) පාන - බීමට ගන්නා හිතකර පාන වර්ග. කිරි, කෝපි, අෂ්ට පාන ආදිය (3) වස්ත්‍රව - පෙරවීමට හා ප්‍රයෝජනයට සුදුසු වස්ත්‍ර ආදිය

(4) යානා - සුදුසු පාවහන් පූජා කිරීම හා ගමන් පහසුව සැලසීම ආදිය

(5) මාලා - දිය ගොඩ හටගන්නා වර්ණවත් සුවඳවත් මල් ආදිය (6) ගන්ධ - සුවඳ වර්ග සුවඳ කුඩු වර්ග ආදිය

(7) විලේපන - ඇග ගල්වන සබන් ආදිය

(8) සෙය්යා - ඇඳ, ඇතිරිලි, කොට්‌ට මෙට්‌ට,පුටු, ආදිය (9) ආවාස - ජීවත් වීම සඳහා සුදුසු වාසස්ථාන දීම, ඒවා ප්‍රතිසංස්කරණය කිරීම ආදිය

(10) පදීප - පහන් හා පහන් දැල්වීමට අවශ්‍ය තිර, තෙල් ආදිය පූජා කිරීම (වර්තමානයේ නම් විදුලි බල්බ් ආදිය) (සංගීති සූත්‍රය, මල්ලිකා සූත්‍රය, දාන මහප්ඵල සූත්‍රය...)

 

මෙම දස දාන වස්තු අතුරින් පාන දානයට අයත් ගිලන්පස පූජාව පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ. පිළින්දවච්ඡ තෙරුන් වහන්සේ විසින් තමන් පෙර අත්භවයකදී ගිලන්පස (භේසජ්ජ) පිදීමෙන් අනුසස් දහයක් ලැබූ බව අපදාන පාලියේ සඳහන් වේ. ඒවා නම්, දීර්ඝායුෂ, ශරීර ශක්තිය, නුවණ, ශරීරයේ පැහැපත් බව, පරිවාර සම්පත්, සැප, උපද්‍රව නැති බව, ගොවිතැන් පාළු වීම් ආදී ව්‍යසන නැති බව, ගරු බුහුමන් ලැබීම, ප්‍රියයන්ගෙන් වෙන් නොවීම යනාදයි.

 

රසවාහිනි ග්‍රන්ථයේ සඳහන් බුද්ධවර්ම නම් වෙළෙන්දාගේ කතා පුවත ද එවැන්නකි.

දඹදිව පාටලීපුත්‍රර‍ නගරයෙහි ගැල්වල බඩු පටවාගෙන වෙළඳාමෙහි ඇවිදින බුද්ධවර්ම නම් වෙළෙන්දෙක් විය. දිනක් වෙළඳාමේ යන අතරතුර සන්ධ්‍යා කාලයේදී ඔහුට බුදුන් වහන්සේ ඇතුළු මහසඟන මුණගැසිණි. බුදුන් වහන්සේ දැක ප්‍රීතියට පත් මොහු උන්වහන්සේට වැඳ ආහාර දානය පූජා කිරීමට සූදානම් විය. බුදුන් විකාලයෙහි නොවලඳන බව දැනුම් දුන් පසු උන්වහන්සේ ඇතුළු මහසඟනට මුද්දික පානයක් පිළියෙලකර පිළිගැන්වීය. බුදුන් වහන්සේගෙන් ධර්මය අසා නැවතත් අන් වෙළඳුන් සමඟ වෙලඳාමේ යන විට මහාවත්තනිය නම් කාන්තාරයට පැමිණියහ. එහි දී ඔවුන් ගෙන ගිය පැන් අවසන් විය. ගවයන්ට හා මිනිසුන්ට සා පිපාසාව සන්සිඳුවා ගැනීමට ක්‍රමයක් නැති විය. ගිලන්පස දානය දුන් බුද්ධවර්ම වෙළෙන්දා පිපාසය නිසා එකින් එක කරත්තවල පැන් විමසමින් ඇවිද්දේය. එක් කරත්තයක සිටි මිනිස්සු ඔහු දැක “මේ සැළියේ පැන් ස්වල්පයක් ඇත. එය පානය කරව” යි කීය. ඔහු එයින් පැන් ගෙන පානය කරන විට එහි රසය මුද්දික පානයේ රසය මෙන් දැනිණ. එදා මා බුදුන් වහන්සේට මුද්දික පානය පිළිගැන්වීමේ අනුසස අද විපාක දුන්නේ යැයි සිතා පුදුමයට පැමිණ සැළිය විවෘත කර බැලීය. සැළිය මුද්දික පානයෙන් පිරී තිබිණ. සෑම දෙනම පැමිණ රිසි සේ මිදි පැන් බී මහත් පුදුමයට පැමිණියෝ ය. වෙළඳ තෙමේ ඔවුනට බුදුරදුන්ගේ අනුසස් හා බුදුන් පිදීමේ අනුසස් ද වර්ණනා කළේය. ගවයන් සහිත සැමදෙන ඇති පමණ පානය කළේ ද මිදි පැන් සැළිය හිස් නොවිණ. බුදුන් වහන්සේ කෙරෙහි වඩාත් පැහැදුණු මොහු දානාදී පින්කම් කොට මරණින් මතු දෙව්ලොව දොළොස් යොදුන් රන්විමනක උපන්නේ ය. ඒ විමනෙහි තැනින් තැන මුද්දික පානයෙන් පිරුණු රත්නමය භාජන ද පහළ විය.

ගිලන්පස දානය පිළිබඳව සාකච්ඡා කිරීමේදී අෂ්ටපාන ගිලන්පසට (අෂ්ඨපාන පූජාවට) මූලික ස්ථානයක් ලැබේ. පාන වර්ග හෙවත් බීම වර්ග අටකින් මෙය සකස් කරන නිසා අෂ්ටපාන යන නම භාවිත කෙරේ. මහා සංඝරත්නයට විකාලයේ වැලඳීම පිණිස බුදුන් වහන්සේ විසින්ම මෙම අෂ්ටපාන ගිලන්පස අනුමත කරන ලදී. ඒ බව විනය පිටකයේ මහාවග්ග පාලියේ සඳහන් වේ.

 

අෂ්ටපාන ගිලන්පසට අයත්

පාන වර්ග මෙසේ ය,

1. අම්බපාන - අඹ පැන්

2. ජම්බුපාන - ජම්බු පැන්

3. චෝචපාන - ඇටිකෙසෙල් පැන්

4. මෝචපාන - මස් කෙසෙල් පැන්

5. මධුපාන - මිදියුෂ පැන්

6. මුද්දිකපාන - වියළි මිදි පැන්

7. සාලුකපාන - ඕලූ ගෙඩි පැන්

8. ඵාරුසකපාන - මස ගෙඩි පැන්

 

මීට අමතරව, ධාන්‍ය ඵල රසය හැර සියලු ඵල රසයන් ද, පිසූ පලා කොළ රසය හැර දිය හා මුසුකොට මිරිකාගත් සියලු කොළ රසයන් ද මී පුෂ්ප රස හැර සියලු මල් රසයන් ද උක් රසය (උක් ඉස්ම) ද අනුදැන වදාරා ඇත.

 

මෙම ගිලන්පස සකස්කර ගැනීමේ දී මෙම පලතුරු වර්ග ගෙන අතින් හෝ සුදුසු උපකරණයන්ගෙන් කුඩා කැබලි නොසිටින සේ මැඩ ඇල් දිය හෝ සීතල දියෙන් දිය කර හොඳින් පෙරා පිරිසුදුව, ගෞරවාන්විතව, වැලඳීමට සුදුසු පරිදි රසවත්ව සකස් කරගැනීමට ඔබ බුද්ධිමත් විය යුතු ය. අෂ්ටපාන උණු දියෙන් දිය නොකළ යුතු අතර ගින්නෙන් රත් කර පූජා කිරීම ද අකැපය. අව්වෙන් කකාරා පූජා කිරීම කැපය. මේවා තම්බා සෑදුවහොත් විකාලයෙහි කැප නොවේ. ගින්නෙන් රත්කර පූජා කිරීමට සුදුසු වන්නේ තේ, කෝපි ආදී ගිලන්පස පමණි. මීට අමතරව රසකාරක නොයෙදු ස්වාභාවික පලතුරුම මේ සඳහා ගත හැකි නම් එය ප්‍රතිග්‍රාහකයන්ගේ කායික සෞඛයේ නිරෝගීතාව පිණිස මහත් උපකාරයක් වේ.

 

මෙම අෂ්ටපාන ගිලන්පස විකාල භෝජනයෙන් වැළකී සිටින භික්ෂූන් වහන්සේලාට අනුදැන වදාළ හෙයින් ඉර අවරට ගිය පසු (දහවල් 12 – 12.30 න් පසු) පූජා කිරීම බුද්ධිගෝචර ය.

 

 

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජෝති හිමි.