පියවි සිහියෙන් බණ ඇහුවොත් සුගතිය අතළඟ

සැප්තැම්බර් 30, 2024

ගසක් සරුසාර වෙන්න නම් ඒ ගසට පොහොර සහ වතුර සුදුසු පරිදි ලැබිය යුතු යි. එවිට එම ගසේ ලස්සනට මල් පිපෙනවා. ලස්සනට ගෙඩි හැදෙනවා. ඒ වගේ අපේ මනුෂ්‍ය ජීවිතය සරුසාර වෙන්නත් ධර්මය අවශ්‍ය වෙනවා. මිනිසා ධර්මයට ළං වෙන්න ළං වෙන්න අධර්මය අපේ ජීවිතෙන් පලා ගොස් ජීවිතය තුළ උදාර ගුණදහම් වර්ධනය වෙනවා. ධර්මයෙන් ඈත්වන පුද්ගලයා මෙලොව පරිහානියට පත්වන බව බුදුන් වහන්සේ පරාභව සූත්‍රයේ දී දේශනා කරනවා.

පන්සාලිස් වර්ෂයක් මුළුල්ලේ බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ මිනිසා හදන්න. ධර්මයෙන් තමයි මිනිසුන්ගේ ජීවිත ලස්සන වෙන්නේ. මිනිසා ධර්මයෙන් ඈත් වෙන්න ඈත් වෙන්න මිනිසා තිරිසන් තත්ත්වයට පත් වෙනවා. ධර්මයට ළං වෙන්න ළං වෙන්න මිනිසා දේවත්වය කරා ගමන් කරනවා. එපමණක් නොව, “ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී” ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනවා.

වර්තමානයේ අපිට ගොඩාක් ධර්මය ඇහෙනවා. අපි ගොඩාක් බණ අහනවා. හාමුදුරුවරු ගොඩාක් බණ කියනවා. නමුත් අපි ඒවා ප්‍රායෝගිකව අපේ ජීවිතයට අදාළ කරගන්නවා අඩුයි. ඒක නිසා අපිට ධර්මයෙන් ලැබෙන ප්‍රතිඵලයත් අඩුයි. එම නිසා ධර්මය ඇහෙන්න නොදී සිත එක්තැන් කරගෙන ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මය ඇසිය යුතුයි. ඒ ධර්මය මතක තබා ගත යුතු යි. එපමණක් නොව දෛනික ජීවිතයට මේ දහම් කාරණා ප්‍රායෝගිකව යොදා ගත යුතු යි.

කිඹුල්වත්නුවර ගෝපිකා නම් රාජ කන්‍යාවියක් සිටියා. ඇය තුනුරුවන් කෙරෙහි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කළා. නිති පන්සිල් සමාදන්ව පොහොය අටසිල් සමාදන් වුණා. ස්ත්‍රී ආත්මභාවයක් ලබපු කෙනෙකුට බුදු, පසේබුදු, සක්විති, ශක්‍ර හා මාර සම්පත් ලබා ගත නොහැකි බව ථේරවාදීන්ගේ මතයයි. ඒ අනුව ගෝපිකා නම් රාජ කන්‍යාවියත් ස්ත්‍රී ආත්මභාවය පිළිබඳ කලකිරී පිරිමි ආත්මභාවයක් ප්‍රාර්ථනා කරමින් භික්ෂුන් වහන්සේලා තුන්නමකට විහාරස්ථානයක් සකස් කොට පූජා කරලා උන්වහන්සේලා තුන් නමට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයෙන් ඇපඋපස්ථාන කළා.

දිනපතා ඇය පුරුඳ්දක් ලෙස ධර්ම ශ්‍රවනය කළා. ඇය ධර්මය ශ්‍රවණය කරන වේලාවේ දී තුනුරුවන් කෙරෙහි පැහැදීමෙන් බොහොම ශ්‍රද්ධාවෙන් දොහොත් මුදුන් දී වැඳගෙන බුලත් විටක්වත් නොකා නොනිදා එකඟ වූ සිතින් යුතුව ධර්මය ශ්‍රවණය කළා. මේ කාරණාව සද්ධර්මලංකාරයේ විස්තර කරන්නේ, දොහොත් මුදුනෙහි තබාගෙන දසත නොබලා කිසිකෙනෙකුන් හා කතා නොකොට බුලත් පමණකුත් නොකා නොනිඳා එකඟ වූ සිතින් බණ ඇසීය. මේ තුළින් අපිට පැහැදිලි වෙනවා ධර්මය ශ්‍රවණය කරන විට අපි හැසිරිය යුතු ආකාරය.

කාලයාගේ ඇවෑමෙන් ඇය මියපරලොව ගොස් ස්ත්‍රී ආත්මභාවයෙන් මිදී තව්තිසා දෙව්ලොව දෙදෙව්ලොවට අධිපති ශක්‍රයාගේ පුත්‍රයකුලෙස ගෝපික නමින් උපත ලැබී ය. ඇය උපස්ථාන කළ භික්ෂූන් වහන්සේලා තුන්නමත් සීලය ආරක්ෂා කොට මියපරලොව ගොස් ගාන්ධර්ව දිව්‍ය ලෝකයේ දිව්‍ය පුත්‍රයන් ලෙස උපත ලැබූහ.

ගාන්ධර්ව දිව්‍ය ලෝකය උසස් දිව්‍ය ලෝකයක් නොවේ. ගාන්ධර්ව දිව්‍ය ලෝකයේ උපන් දෙවියන්ට පැවරෙන රාජකාරිය වන්නේ ගායනයෙන්, වාදනයෙන්, සංගීතයෙන් හා නැටුමෙන් ශක්‍රයා ඇතුළු උසස් දිව්‍ය තලයන්හි උපත ලද සත්ත්වයන් පිනවීමයි.

මොවුන් පැවිදිව සිටිය දී උපස්ථාන කළ කාන්තාව ශක්‍රයාගේ පුත්ව ඉපදීමටත් භික්ෂුන් වහන්සේලා තුන්නම පහත් දිව්‍ය ලෝකයක ඉපදීමටත් හේතුව වන්නේ, දසත බලමින් වික්ෂිප්ත වූ සිතින් කිසිදු ගරුසරුවක් නොමැතිව නිදා ගනිමින් ධර්මය ශ්‍රවණය කිරීම යි. මොවුන් පැවිදිව සිටිය දී හොඳින් සිල් ආරක්ෂා කළ හෙයින් ප්‍රභාසම්පන්නව රූමත්ව පැහැපත්ව උපත ලැබූහ.

දිනක් මෙම දිව්‍ය පුත්‍රයන් තිදෙනා බෙර, දවුල්, තම්මැට්ටන් ගෙන ශක්‍රයා‌ව සතුටු කරන්න දිව්‍ය ලෝකයට පැමිණි වේලාවක ශක්‍රයාගේ පුත් ගෝපික, මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්න කාලයේ දී මොවුන් තිදෙනාට උපස්ථාන කළ කාන්තාව, මොවුන්ගේ මිහිරි හඬ අසා සතුටුව මොවුන් කුමන පින්කමක් කොට මෙලෙස උපත ලබා ඇත්දැයි පරික්ෂා කළා. එවිට ඔහුට දැන ගන්නට ලැබුණේ තමන් මනුෂ්‍ය ලෝකයේ කාන්තාවක්ව ඉපිද සිටිය දී තමන් උපස්ථාන කළ භික්ෂූන් වහන්සේලා තුන්නම බවයි. තමන්ට අවවාද අනුශාසනා කළ භික්ෂූන් වහන්සේලා තුන්නම පහත් දිව්‍ය තලයකත්, අවවාද ලද තමන් ශක්‍රයාගේ පුත්ව ඉපදී ඇති බවත් දැන ගත් මැය ඒ බව මොවුන් තිදෙනාටත් දන්වා, “නුඹලා පැවිදි වී බණ අසන වේලාවෙහි ශ්‍රද්ධාවකින් තොරව බණ අසා දැන් නුඹලාට උපස්ථාන කළ මට, බෙර, දවුල් ගසමින් සේවය කරන්නට ලැජ්ජා නැද්යැයි” ඇසුවා. මින් ලැජ්ජාවට පත් වූ මොවුන් බෙර, දවුල් එහිම තබා භාවනා කොට බ්‍රහ්මලෝකයේ උපත ලැබුවා.

සද්ධර්මාලංකාරයෙහි සඳහන් මෙම කතා පුවතින් ධර්මය ශ්‍රවණය කළ යුතු ආකාරය පිළිබඳ අපට පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

වර්තමානයේ බොහෝ පිරිස් ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය නොකරතියි. සෑම නිවෙසකම පාහේ ගුවන්විදුලියේ හා රූපවාහිනියේ උස් හඩින් ධර්ම දේශනා දමා තිබුණ ද ඒවා ශ්‍රවණය කරන්නේ නි‍ෙවසේ සුළු පිරිසකි. ඇතැම් නිවෙස්වල කිසිවෙක් ශ්‍රවණය නොකරති. එසේත් නොමැති නම් ‌නිවෙසේ වෙනත් කාර්යයන්හි නිරත වී සිටින විට එම ධර්ම දේශනා ශ්‍රවණය කරති. එසේ ශ්‍රද්ධාවකින් තොරව, වික්ෂිප්ත වූ සිතින් ධර්මය ශ්‍රවණය කරන්නේ නම් ඉන් ලැබෙන ප්‍රතිඵල අල්ප ය. ඉහත කතා පුවතේ සඳහන් භික්ෂූන් වහන්සේලා තුන්නම මෙන් සුගතිගාමීව උපත ලදත් ඒ සුගතිගාමී ආත්මයන්හි පහත් ආත්මභාවවල උපත ලබති. එබැවින් ධර්ම දේශනා කරන කාලය තුළ දී ශ්‍රද්ධාවෙන් යුතුව බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය ශ්‍රාවක ගෞරව ඇති කරගෙන ධර්මය ශ්‍රවණය කරන්න. එවිට ඉන් මහත්ඵල ප්‍රතිඵල ලැබිය හැකි ය.

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ

 

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජෝති හිමි.