අයං වස්සාන කාලෝ මේ වස්සාන කාලයයි

අගෝස්තු 12, 2024

 

ඇසළ පුන් පෝ දිනයෙන් උදා වෙන්නේ වස්සාන කාලයයි. වස්සාන කාලය යනු වැසි සහිත කාලයට නමකි. නමුත් භික්ෂුන් වහන්සේලා සම්බන්ධ ගත්කල එය විනයට අදාළ වස් විසීම නම් විනය කටයුත්තකි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී භික්ෂූන් වහන්සේලා ගත කළේ සංචාරක ජීවිතයකි. වසරේ සෑම කාලයකම උන්වහන්සේලා ගමින් ගම සංචාරය කරමින් පිඬුසිඟා හැසිරෙමින් කාලය ගත කළහ.

 

වැසි කාලයේදී ද වැස්සෙන් තෙමෙමින් සිවුරු පිරිකරද තෙතබරිත වෙද්දීත් භික්ෂූන් වහන්සේලා සංචාරයේ යෙදුනහ.

 

ඊට හේතුව වූයේ,

 

"චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය... "

 

" මහණෙනි, බොහෝ ජනයාට හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න ..." යන ලොව්තුරා බුද්ධ වචනයයි.

 

අනෙකුත් බොහෝ ආගමික පැවිද්දන් වැසි කාලයේ එක් තැනකට වී වාසය කළහ. බෞද්ධ භික්ෂූන් එක තැනකට වී නොසිට වැස්සේ තෙමෙමින් සංචාරය කරන විට මහජනතාව බෞද්ධ භික්ෂූන් වහන්සේලාට චෝදනා කරන්නට විය.

"මේ භික්ෂූන් වහන්සේලා වැස්සෙන් තෙමෙමින්, සිවුරු ද තෙමා ගනිමින් වැසි කාලය තුළ ද එහෙ මෙහෙ හැසිරෙති. තිරිසන් සතුන් පවා වැසි කාලයේ දී කූඩුවලට වී සිටිති. බෞද්ධ භික්ෂුන්ට මෙය කොතරම් නුසුදුසුදැ"යි, චෝදනා කරන්නට විය.

 

එසේම නිගණ්ඨ ආගම තුළ ගස්වැල් පැළෑටි හැඳින්වූයේ ඒක සඤ්ඤික ජීවීන් ලෙසය. එනම් ගස්වැල් යනු සත්ත්ව කොටසක් ලෙස ඔවුන් සැළකීය. වැසි සමයේ ඉහලට නැගෙන කුඩා පැළෑටි ද පණුවන් ද පාගමින් සතුන් මරමින් භික්ෂූන් චාරිකාවේ වැඩම කරනවා යැයි ද බෞද්ධ භික්ෂූන් වහන්සේලාට චෝදනා ඇති විය.

මේ නිමිති කරගෙන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට වැසි කාලයේ දී එක තැනකට වී අධ්‍යාත්මික කටයුතු වල යෙදෙමින් වාසය කළයුතු යැයි ශික්ෂා පද පනවා වදාළ සේක.ඒ අනුව ඇසළ මාසයේ සිට වප්මාසය දක්වා කාලය වස්සාන ඍතුව ලෙස ගෙන ඒ මාස කිහිපය තුළ එක තැනකට වී බණ භාවනා කටයුතු කරමින් වාසය කළ යුතු විය.

වස් සමාදන් වීම සඳහා ස්ථිර ආවාසයක් ලබාගත යුතු වෙයි.ඒ සඳහා ගිහි උපාසක උපාසිකාවන්ගේ දායකත්වය සහ ආරාධනය භික්ෂූන් වහන්සේලාට ලැබිය යුතු වෙයි.

 

එබැවින් වර්තමානයේ දී භික්ෂූන් වහන්සේලාට ඇසළ පෝය දින හෝ ඊට පෙර දිනක ගිහි උපාසක උපාසිකාවන් විසින් වස් ආරාධනා කිරීම සිදුකරනු ලැබේ.

භික්ෂූන් වහන්සේට හෝ භික්ෂූන් වහන්සේලාට ඉතාමත් ගෞරවයෙන් පසඟ පිහිටුවා වන්දනා කොට, උත්කුටිකයෙන් වැඳ සිටිමින්,

 

"ස්වාමීනී අප කෙරෙහි අනුකම්පාවෙන් මේ වස් තුන් මාසය මෙම විහාරස්ථානයේ වැඩ වැඩවාසය කරන සේක්වා ! අපි ඔබ වහන්සේට නිවන් මග වැඩීම පිණිස සිව්පසයෙන් හැකි පමණින් උපස්ථාන කරන්නෙමු. ඔබ වහන්සේ වඩන නිවන් මග ගිහියන් ලෙස අපද ඔබවහන්සේ ඇසුරු කරගෙන වඩන්නෙමු. අපට අනුකම්පා කොට මෙම විහාරස්ථානයේ මේ වස් තුන් මාසය වස් වාසය කරන සේක්වා !"

යනුවෙන් ආරාධනා කිරීම සිදුකරයි.

 

මෙම චාරිත්‍ර ප්‍රදේශයෙන් ප්‍රදේශයට විවිධත්වයක් ගනී. බෞද්ධ සංස්කෘතිය අනුව සමහර උපාසික උපාසිකාවන් වස් ආරාධනාව මොහොතේ පහත සඳහන් දෑ පූජා කිරීම සිදු කරනු ලබයි.

 

* භික්ෂූන් වහන්සේලා ගණනට

මල් ගොටු

* දැහැත් වට්ටිය භික්ෂූන්

වහන්සේලා ගණනට වස් සළු.

* අට පිරිකර, දොළොස් පිරිකර හෝ

සොළොස් පිරිකර.

* විහාරස්ථානයට අවශ්‍ය යම් යම්

සුළු පිරිකර.

 

එම ආරාධනාව පිළිගන්නා භික්ෂූන් වහන්සේලා, ඇසළ පෝය දින හෝ ඊට පසු දින සම්බුද්ධ වන්දනා කිරීමෙන් හා පිරිත් දේශනා කිරීමෙන් අනතුරුව වස් වාසය කිරීමට අධිෂ්ඨාන කිරීම සිදුකරනු ලැබති.

 

"ඉමස්මිං විහාරෙ ඉමං තෙ මාසං වස්සං උපේමි. ඉධ වස්සං උපේමි"

 

" මෙම විහාරස්ථානයෙහි මේ තුන් මස වස් එළඹෙන්නෙමි. මෙහි වස් වාසය කරන්නෙමි "

 

යනුවෙන් තුන්වතාවක්

අධිෂ්ඨාන කිරීමෙන් වස් සමාදන් වීම සිදුකරනු ලැබේ.

 

වස් සමාදන් වූ තැන් පටන් වස් ආරාධනාව කළ පින්වතා හෝ පින්වතුන් විසින් වෙනදා මෙන් නොව භික්ෂුන් වහන්සේලාට කැපකරුවන් මෙන් වී සිව්පසයෙන් උපස්ථාන කිරීම සිදුකළ යුතු වෙයි.

 

එසේම වස් කාලය තුළ භික්ෂුන් වහන්සේලා විහාරස්ථානය තුළ විවිධාකාරයේ පින්කම් සංවිධානය කරනු ලබති. බෝධි පූජා පින්කම්, ධර්ම දේශනාවන්, ධර්ම සාකච්ඡාවන්, සීල භාවනා වැඩසටහන් ඒ අතර වෙයි.

 

ඒ කාලය තුළ ගිහි උපාසක උපාසිකාවන්ට වෙනදාට වැඩියෙන් ධර්ම කරුණු දැනගන්නටත්, සීල සමාධි ප්‍රඥා ප්‍රතිපදාවන් දියුණුවට පත් කරගන්නටත් ඉඩකඩ ලැබේ.

අතීතයේදී සමහර උපාසක උපාසිකාවන් වස්සාන කාලය තුළ භික්ෂූන් වහන්සේලාගේ උපදෙස් මත පිහිටා මාර්ගඵල ලැබූ අවස්ථාද බෙහෙවින් දක්නට ලැබේ.

 

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙ දී භික්ෂූන් වහන්සේලා තිදෙනෙක් වස් විසීම සඳහා ස්ථානයක් සොයමින් චාරිකාවේ හැසිරෙන විට එක් උපාසිකාවක් එම භික්ෂූන් වහන්සේලාට වස් ආරාධනා කොට සෙනසුනක් තනා දුන්නාය. එයින් නොනැවතුණු උපාසිකාව නිරන්තරයෙන්ම විහාරයට ගොසින් භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය දානමානාදී ප්‍රත්‍ය පහසුකම්ද නිරන්තරයෙන් ලබා දුන්නාය.

 

එසේ විහාරස්ථානයට යන එන අතරතුර ඇය විසින් භික්ෂූන් වහන්සේලා දියුණු කරන භාවනා ක්‍රමය කුමක්දැයි අසා සිටියාය. භික්‍ෂූන් වහන්සේලා තමන් වඩන දෙතිස් ආකාර කමටහන හෙවත් දෙතිස් කුණප භාවනාව පිළිබඳව ඇයට පැහැදිලි කළ සේක. එම භාවනා ක්‍රමය භික්ෂූන්ට පමණක් වැඩිය හැකි භාවනා ක්‍රමයක්ද , ගිහියන් වූ අපට එම භාවනා ක්‍රමය වැඩිය නොහැකිදැයි ඈ භික්ෂූන් වහන්සේලාගෙන් නැවත විමසුවාය.

 

ගිහි පැවිදි කාටත් එම භාවනා ක්‍රමය නිවන අරමුණු කොට වැඩිය හැකි යැයි භික්ෂූන් වහන්සේලා ඇයට පැහැදිලි කර දුන් සේක.

 

භික්‍ෂූන් වහන්සේලාට ප්‍රත්‍ය පහසුකම් සපයන අතරතුරම නිවසට වී එම භාවනාව දියුණු කළ උපාසිකාව ටික දිනකින්ම අනාගාමී මාර්ග ඵලයට පත් වූවාය.

 

එසේ මාර්ග ඵල ලැබූ එතුමිය දිනක් භික්ෂූන් වහන්සේලා මගඵල ලබා ඇතිදැයි දිවැසින් බැලුවාය.

 

භික්ෂූන් වහන්සේලා මගඵල ලබා නොමැති බවත් එයට හේතුව උන්වහන්සේලාට සප්පාය ආහාරපාන නොලැබෙන නිසා බවත් ඇයට පැහැදිලි විය.

 

එතැන් පටන් භික්ෂූන් වහන්සේලා යම් ආහාරයක් බලාපොරොත්තු වේද එම ප්‍රණීත ආහාරම දානය පිණිස ඈ ලබා දුන්නාය.

 

එවිට භික්ෂූන් වහන්සේලාට සැකයක් ඇතිවුණි.

තමන් වහන්සේලා සිතන සිතන ආහාරය මෙම උපාසිකාව පසුදා පිළියෙළ කරගෙන එන්නේ කෙසේද ?.

 

අවසානයේදී උපාසිකාවට දිවැස ඇති බව උන් වහන්සේලාට පැහැදිලි විය.

 

එතැන් පටන් භික්ෂූන් වහන්සේලා එම විහාරයේ වාසය කිරීමට බිය වූහ.

තමන් වහන්සේලාට යම් කෙලෙස් සිතිවිල්ලක් ඇති වුවහොත් මෙම උපාසිකාව එය දිවැසින් දකිනවා නේද ? එය කොතරම් ලැජ්ජාවක් දැයි උන්වහන්සේලා සිතිණි. වස් කාලය අවසාන වීමට පෙර එයින් පිට වී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මුණ ගැසෙන්නට ජේතවනාරාමයට පිටත් වූහ.

 

සියලු විස්තර දත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නැවතත් එම භික්ෂූන් වහන්සේලාව එම සේනාසනය කරාම හරවා එවූ සේක.

 

භික්ෂූන් වහන්සේලා උපාසිකාවට පෙනෙතැයි යන බියෙන් වඩාත් සංවරව සිහිනුවණින් යුක්තව කෙලෙසුන් පාලනය කරගෙන භාවනාවේ යෙදෙන්නට වූහ. උපාසිකාවද ඉතාම ගෞරවයෙන් සප්පාය ප්‍රත්‍ය ආහාරපාන බෙහෙත් හේත් ලබාදෙමින් ඉතාම හොඳින් උපස්ථාන කළාය.

 

ඒ කාලය ඇතුළත වස් කාලය නිම වීමට පෙර උපාසිකාවගේ උපස්ථාන හා උපකාර ඇතිව ඒ භික්ෂූන් වහන්සේලා තිදෙනාම සියලු කෙලෙසුන් නසා අරහත්වයට පත් පත්විය.

 

මෙසේ වස්සාන කාලය තුළ බොහෝ භික්ෂූන් වහන්සේලා සේම බොහෝ උපාසක උපාසිකාවන්ද ධර්ම මාර්ගය දියුණු කොට සංසාර දුකින් එතෙර වූ අවස්ථා බුද්ධකාලයේ දී අපට දැක ගත හැකි වේ.

 

වස් සමාදන් වීම් දෙකක් තිබේ. ඇසළ පෝයට වස් සමාදන් වීම පෙර වස් සමාදන් වීම ලෙසත්, නිකිණි පෝයට වස් සමාදන් වීම පසුවස් සමාදන් වීම ලෙසත් හඳුන්වනු ලැබේ.පසුවස් සමාදන්වීම සිදු කරන්නේ පෙරවස් සමාදන් වීමට නොහැකිව යම් ගැටලුවක් ඇති වූ විට පමණය.

 

පෙර වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වස්සාන කාලය නිමාවට පත්කොට පවාරණය සිදු කරන්නේ වප් පෝය දිනයේයි. පසුවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා ඉල් පෝය දිනයේ පවාරණය සිදු කරනු ලබති.

 

අනතුරුව වප් පෝය සිට ඉල් පෝය දක්වා උදාවන්නේ චීවර මාසයයි. වස් වාසය කිරීමට ආරාධනා කළ උපාසක උපාසිකාවන් එම මාසය තුළදී කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය සිදුකිරීමට කටයුතු සූදානම් කරති.

 

එය වර්තමානයේ බෞද්ධයන් අතර ඉතා උත්සවාකාරයෙන් සිදුවන බෞද්ධ සංස්කෘතික අංගයකි. හුදෙක් එය චීවර පූජාවක්ම නොවේ. කඨින චීවර පූජා පුණ්‍යමහෝත්සවයට සංඝගත මහා දක්ෂිණාවන්, පිරිත් පින්කම්, ධර්ම දේශනා පින්කම් ආදිය එකතුව මහා පුණ්‍ය සම්භාරයක් බවට පත්ව තිබේ.

එම කාලය තුළ බොහෝ දෙනෙක් සුගතිගාමී වීමටත් නිර්වාණාවබෝධයට ළඟා වීමටත් බොහෝ කුසල් දහම් රැස් කරගනිති.

 

වස්සාන කාලය තුළ භික්‍ෂූන් වහන්සේලා සීල සමාධි ප්‍රඥා ආදී ගුණධර්ම දියුණු කරන නිසා ඒ කාලය තුළ ගිහියන් විසින් ලබා දෙන දානයට අතිරේක ආනිසංස ලැබෙන බවත් ධර්මයේ සඳහන් වී තිබේ. එබැවින් අන් දිනවලටත් වඩා ඇසළ මාසයේ සිට වප් මාසය දක්වා අතරතුර පවතින වස්සාන කාලයේදී ගිහි සැදැහැති උපාසක උපාසිකාවන් භික්‍ෂූන් වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කරමින් නිවන් මඟ පූර්ණය කිරීමට කටයුතු කරති.

 

ඔබ සැමටද එසේම භාග්‍ය වාසනාව උදාවේවා !

තෙරුවන් සරණයි !

 

 

අනුශාසනාව

(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .

සිරි උපාලි ධර්මාශ්‍රමය ,

කුඩා කිවුල, කොට්ටුකච්චිය)

 

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ