සත්‍ය කතා කිරීමේ ආනිසංස රාශියක් තියෙනවා

සත්‍ය වචනය සියලු දෙනාගේම යහපත පිණිස හේතු වේ
නොවැම්බර් 4, 2024

 

“අම්මා මගේ රත්තරං
තාත්තා මගේ රත්තරං
ඇත්ත කියන බොරු නොකියන
පුංචි මමත් රත්තරං”

 

මේ කවිය අපි කුඩා කාලයේ දී දහම් පාසලේ දී ඉගෙන ගත් ප්‍රසිද්ධ කවියක්. කුඩා කල මෙවැනි කවි තුළින් බොරු කීමේ ආදීනව සහ සත්‍යය කතා කිරීමේ අගය පහදා දෙනවා. මෙම ලිපියෙන් බලා‍පොාරාත්තු වන්නේ සත්‍ය කතා කිරීමේ අගය පිළිබඳව සාකච්ඡා කිරීමට යි.

බුදුන් දවස සංකිච්ච නමින් හාමුදුරුවන් වහන්සේ නමක් වැඩ සිටියා.

උන්වහන්සේගේ ගෝලයා තමයි අධිමුත්ත සාමණේරයන් වහන්සේ. දිනක් සංකිච්ච තෙරුන් වහන්සේ, අධිමුත්ත සාමණේරයන් වහන්සේට කියනවා, “පොඩිනම, මට හිතෙනවා දැන් උපසම්පදා වීමට ඔබ වහන්සේ සුදුසු වයසට පැමිණ තිබෙන බව” ඒ නිසා නිවසට ගොස් නිවැරදිවම වයස දැන ගෙන එන්න කියලා. උන්වහන්සේ තමන්ගේ ලොකු හාමුදුරුවන්ට වැඳලා පා සිවුරු ගෙන නිවසට වැඩම කරන්න පිටත් වුණා. උන්වහන්සේගේ නිවසට යන්න මහා වනාන්තරයක් පසු කළ යුතුයි. මේ මහා වනාන්තරයේ හොරු සහ මංකොල්ලකරුවන් ඉන්නවා. අධිමුත්ත සාමණේරයන් වහන්සේ වනයට ඇතුළු වුණාට පසු හොරු කණ්ඩායම උන්වහන්සේ අල්ලා ගත්තා. පැවිද්දෙක් නිසා ගන්නට කිසිදු වස්තුවක් නැති නිසා මේ සාමණේරයන් වහන්සේ අත්හරින්න ඇතැම් හොරු කතා කළා. ඇතැම් හොරු මොහු මරා දමමු කිව්වා. සොරුන්ගේ සිරිත තමයි වස්තුව අරගෙන ඒ මිනිසුන් මරා දැමීම. ඇයි එහෙම මරා දමන්නේ? අනෙක් මිනිස්සුන්ට ආරංචි වන නිසා.

මේ කතාව අසාගෙන සිටි අධිමුත්ත සාමණේරයන් වහන්සේ කල්පනා කරනවා, “මම තවමත් ශ්‍රමණ කෘත්‍යය (සතර මඟ හා සතර ඵල) මුදුන් පත් කරගෙන නෑ.” ඒ නිසා සොරුන්ගෙන් මිදෙන්න ඕන කියලා හිතලා හොරුන්ට මෙහෙම කියනවා,

එක කැලෑවක වැද්දෙක් උගුල් අටවලා හාවෙක් මැරුවා. ඉන්පසු ඒ කැලේ ඉඳපු අනිත් සත්තු හාවා මැරිලා ඉන්නවා දැකලා තීරණය කරනවා ඒ කැලෑව අත්හැරලා යන්න. ඉන්පසු මේ වැද්දාට ඒ කැලෑවේ දඩයම් නැති වුණා. ඒ වගේ ඔබලා මා මරුවහොත් පැවිද්දෙකුටවත් මේ වනයෙන් යන්න බෑ හොරු මංකොල්ල කනවා කියලා අනිත් මිනිස්සුත් මේ කැලෑව මැදින් යන්නේ නැති වෙනවා. එ් නිසා වැද්දාට වගේ නුඹලාටත් පාඩුවක්, ධන හානියක් වෙන්න පුළුවන්.

අධිමුත්ත සාමණේරයන් වහන්සේගේ මේ කතාව අහගෙන හිටපු සොරු, මෙම සිදුවීම පෙරමගට හමුවන කිසිවෙකුටත් නොකියන ලෙස පොරොන්දු කරවා ගෙන නිදහස් කළා.

සොරුන්ගෙන් නිදහස ලබාගෙන ඉදිරියට වැඩම කරන මේ හාමුදුරුවන්ට, ඒ වනය පසු කර යන්නට එන තමාගේ මව්පියන්, සහෝදරිය හා සහෝදරයා හමු වුණා. මේ හාමුදුරුවෝ තමාගේ මව්පියන්ටවත් මේ කැලේ සොරු ඉන්න බව පැවසුවේ නෑ. පොරොන්දුව කඩ කරේ නෑ. සත්‍යයෙහි පිහිටා ඉදිරියට ගමන් කළා.

කැලේ ඇතුළේ දී සොරු විසින් මේ හාමුදුරුවන්ගේ පවුලේ අය අල්ලා ගත්තා. ඒ වෙලාවේ දී අම්මා කෑ ගහලා අඬන්න පටන් ගත්තා. “අපේ හාමුදුරුවෝ, සොරු ඉන්න බව දැනගෙනත් අපිට ඒ බව කිව්වේ නෑ” කියලා. ඒ ඇසූ ‌සොරු කණ්ඩායම මේ හාමුදුරුවන් වහන්සේ සත්‍යයෙහිම පිහිටා පොරොන්දු කඩ නොකළ නිසා ඔහු සත්‍යවාදීව ජීවත් වන ශ්‍රමණයෙක් කියලා තීරණය කොට පවුලේ අයත් නිදහස් කළා. ඊට පස්සේ මව්පියන් තමන්ගේ හාමුදුරුවෝ ළගට ගිහින් කියනවා ඔබවහන්සේ සත්‍යවාදීව ජීවත් වන නිසා අපි දිවි ගලවා ගත්තා කියලා. මේ සොරු කණ්ඩායමත් අධිමුත්ත සාමණේරයන් වහන්සේගේ ගුණයෙහි පැහැදිලා සොරකම් කිරීම අත්හැරලා පැවිදි උපසම්පදාව ලබනවා. අවසානයේ දී සොරු කණ්ඩායමේ අය මහරහත් භාවයට පත් වෙනවා.

ජාතක පොත් වහන්සේගේ සඳහන් වන මහා සුතසෝම ජාතක කතාවත් සත්‍යවාදී වීමේ අගය දැක්වෙන ජාතක කතාවක්.

බෝසතාණන් වහන්සේ එක් කලෙක කුරු රට ඉඳිපත් නුවර සුතසෝම නමින් කුමාරයෙකුව ඉපිද රාජ්‍යත්වයට පත් වුණා. ඔහු බොහොම දැහැමින් රට පාලනය කළා. ඒ කාලයේ මිනිසුන්ගේ මස් ආහාරයට ගන්නට පුරුදු වූ බ්‍රහ්මදත්ත නම් රජ සත්‍ය වචනය සියලු දෙනාගේම යහපත පිණිස හේතු වන කෙනෙක් සිටියා. ඔහුගේ නම පෝරිසාද. නගරයේ ජීවත්වීමට නොහැකි වූ නිසා ඔහු කැලෑ වැදුණා.

මිනිසුන් මරා කමින් ජීවත් වූ කාලයේ දී මොහුගේ පාදයේ විශාල තුවාලයක් මතුවුණා. මේ තුවාලය සුව කර දෙන්නේ නම් දඹදිව රජවරු මරා බිලි පූජා කරන්නෙමි යි ඔහු රුක් දෙවියෙකුට බාර වුණා. කාලයක් යද්දී තුවාලය සුව වුණා. ඔහු සිතුවේ රුක් දෙවියා විසින් තුවාලය සුව කරනු ලැබූ බවයි.

පෝරිසාදයා බාරය ඔප්පු කිරීමට රජවරු පැහැරගෙන ගොස් බැඳ තබනවා. දිනක් සුතසෝම රජු ද අල්ලා ගැනීමට පිටත් වුණා.

එදා සුතසෝම රජු උයනට යන වෙලාවේ එතුමාට අවවාද අනුශාසනා ලබා ගන්නා බමුණෙක් හමු වුණා. තමා ඉක්මණින් දිය නාගෙන අවවාද අසන්නට එන බව පවසා පොකුණට ගොස් දිය නෑවා. පොකුණ ළඟ සැඟ වී සිටි පෝරිසාද රජතුමා දිය නා ගොඩට එනවිටම අල්ලා ඔසවාගෙන දුවන්නට වුණා. රජතුමාගේ කෙස් වැටියේ තිබුණ වතුර බිංදු පෝරිසාද රජතුමාගේ පිටට වැටුණා. පෝරිසාද සිතුවේ රජු අඬනවා කියලා.

”සුතසෝම ඔබ මර බියෙන් අඬනවාද” පෝරිසාද ඇසුවා. “පෝරිසාද, මම අඬන්නේ නැහැ. නමුත් ගාථා සතර පදයක් ගැන අසා ගැනීමට එන බවට මම බමුණෙකුට පොරොන්දු වුණා. ඒ පොරොන්දුව කඩවීම ගැන මම දුක් වෙනවා. ඔබ මට සුළු වෙලාවක් දෙනවානම් ඒ බණ පදය අසාගෙන නැවත නුඹ ළඟටම මම එමි” යි රජතුමා කීවා.

 

රජතුමා එන බවට පොරොන්දු වූ නිසා, පෝරිසාද රජු ඔහුට යෑමට අවසර දුන්නා. බමුණා ළඟට ගිය රජතුමා බණ අසා තුටුපඬුරක් දී නැවත පෝරිසාද වෙත ඇවිත් ඒ පොරොන්දුව ද ඉටු කළා.

ඒ වනවිට පෝරිසාද බිලි පූජාවට ගිනි දල්වමිනුයි සිටියේ. “ඔබ ඉගෙනගත් ගාථා සතර පද මොනවාදැයි” ඔහු රජතුමාගෙන් ඇසුවා. රජතුමා ඒ බණ පද කියා දුන්නා.

එය අසා පැහැදුණු පෝරිසාද රජතුමා බැඳ සිටි සියලු රජවරුන් මුදා හැරියා. සුතසෝම රජුගේ සත්‍යාවාදී වීමේ බලයෙන් හැමෝටම නිදහස ලැබුණා.

 

සත්‍ය වචනය සියලු දෙනාගේම යහපත පිණිස හේතු වන බව මේ කතා පුවතින් අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා කොච්චර අසාධාරණකමක් පාඩුවක් වුණත් ජීවත් වන මේ කෙටි කාලය තුළදී කිසිවෙක් රවටන්නේ නැතුව බොරු කියන්නේ නැතුව ජීවත් වෙන්න අපි උත්සාහ කළ යුතු යි.

සත්‍ය කතා කිරීමේ ආනිසංස රාශියක් තියෙනවා.

ප්‍රසන්න වූ ඇස්, කන් නාසාදී ඉන්ද්‍රියන් ලැබීම. (විප්පසන්න ඉන්ද්‍රියතා)

මිහිරි වචන ඇත්තෙක් වීම හා කටහඬ මිහිරි වෙනවා. (විස්සට්ඨ මධුර භාණිතා)

සම වූ සුදු වූ පිරිසිදු දත් ඇත්තෙක් වීම (සමසිත සුද්ධන්තතා)

මේවා අපිට සල්ලි තිබුණට සල්ලි දීලා කඩෙන් ගන්න බෑ. ෆාමසියෙන් ගන්න බෑ. මේවා ලබාගන්න නම් සත්‍යවාදී වෙන්න ඕන. සත්‍යවාදී වීම ඔබේ මුළු සසර ගමනම සුඛිත මුදිත කරන්නට හේතු වෙනවා. නිවන් දකින්නත් හේතු වෙනවා.

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජෝති හිමි.