වර්ෂ 2025 ක්වූ February 10 වැනිදා Monday
ග්‍රහ අපල උපද්‍රව දුරු කරගන්නේ මෙහෙමයි

අපගේ ජීවිතයට නොසිතනා ලෙසින් පැමිණෙන බාධා බොහෝය. මේ සෑම කරදර, බාධාවකටම, රෝග පීඩාවකටම මුහුණදීමට ආත්මශක්තියක් තිබිය යුතුමය. එහෙත් අප කොතරම් ශක්තිමත්ව සිටියත් මානසිකව සෑම අභියෝගයකටම මුහුණදීමට අාධ්‍යාත්මික ආශීර්වාදය වැදගත් වෙයි. අප අාධ්‍යාත්මික සුවය පතා විවිධ ආගමික වත්පිළිවෙත්, පූජා, දානමය පුණ්‍යකර්ම සිදුකිරීම ආගමානුකූලව සිදු කරන අවස්ථා ද බොහෝය.
බෞද්ධ බැතිමතුන් තමුන්ට කිසියම් කරදර බාධකයන් පැමිණි කළ මුලින්ම සිදු කරන්නේ බෝධි පූජාවක් තැබීමය. ඇතැම් විට දරුවන්ගේ විභාග, උපන්දින උත්සව හා විශේෂිත දිනයන්හි දී ද බෝධි පූජා පැවැත්වීම තුළින් ජීවිතයට ආශීර්වාදයක් ලබා ගැනීම සිදු කරන අවස්ථා ද තිබේ. මෙලෙස අපගේ සෑම කටයුත්තකදීම සිදු කරන බෝධි පූජාවක නියම ආශීර්වාදය ලබා ගැනීමට නම් එය පිළිවෙළට නිවැරැදිව සිදුකළ යුතුව ඇත. මෙවර අප ඔබට තිළිණ කරන්නේ එලෙස ඔබේ ජීවිතයට ආශීර්වාදය ළඟා කරන බෝධි පූජාවක් නිවැරැදිව සිදු කරන ආකාරයයි. එය නිවැරැදි ලෙසින් සිදුකිරීමෙන් ලැබෙන ආශීර්වාද බලය සිතා ගැනීමවටත් බැරි තරම් ප්‍රබලය.
මෙතරම් ප්‍රබල වූ බෝධි පූජාවක් සිදු කිරීමට පෙර අප අනුගමනය කළ යුතු පිළිවෙත් කිහිපයක්ම වෙයි. එම පිළිවෙත් මෙහි සඳහන් ආකාරයෙන්ම සිදු කළහොත් එයින් ඔබට ලැබෙන අාධ්‍යාත්මික ආශීර්වාදය අන් සෑම පූජාවකටම වඩා ප්‍රබලය. බෝධි පූජාවක් පැවැත්වීමෙන් ලැබෙන සුවය හා ආශීර්වාදය බෞද්ධයන්ට පමණක් සීමා නොවෙයි. එහි අාශීර්වාදය අන්‍යාගමිකයන්ට ද හිමිකර ගැනීමට හැකියාව ඇත.
බෝධි පූජාවක් තැබීමට පෙර බෝධිය අවට පිරිසුදු කර ගැනීම පළමුවෙන්ම කළ යුතු පිළිවෙතකි. මේ සඳහා ඔබගේ විහාරස්ථානයේ බෝධිය අසල සිදු කරන්නේ නම් ඒ සඳහා බෝධිය වටා අතුගා වියළි බෝපත් ඉවත් කරන්න. පෙර පූජාවක් සඳහා තැබූ මල්, ඖෂධ, හෝ අෂ්ටපාන ඇත්නම් එ්වාද ඉවත් කර පූජාව තැබීම සඳහා සුදුසු පිරිසුදු පරිසරයක් මුලින්ම සකස් කර ගන්න.
දැන් බෝමළුව වටා කහ දියර ඉස සුදු හඳුන් කුඩු කර ඉසින්න. මේ කටයුත්තෙන් පසු බෝමළුවේ වැලි මළුවේ ලී කෝටුවකින් හෝ රටහුනු කැබැල්ලකින් අරය අඩි 2ක් තරම් රවුම් දෙකක් ඇඳගන්න. දැන් ඉතා පිරිසුදු පැන් කළ දෙකක් ගන්න. එම පැන් කළ දෙකට සුදුහඳුන්, සමන් පිච්ච මල් ආදිය දමන්න. ඊළඟට මෙම පැන් කළ දෙක වටා සුදු මල්මලා දෙකකින් සරසන්න. මේ කළ දෙක අසල රූප සටහන් දැක්වෙන ආකාරයට බුලත්කොළ තුනක් C සහ B ස්ථානයේ තබන්න. දැන් බෝමළුව වටා හතර කොනෙ පුන‍්කලස් හතරක් තැබීමට හැකි නම් මේ කටයුත්ත වඩාත් සාර්ථකයි. මෙලෙස තබන මෙම පුන්කලස් හතරේ අර්ථය වන්නේ සතර වරම් දෙවිවරුන්ගෙන් ආශීර්වාදය ලබා ගැනීමයි. එසේ තබන පුන්කලස් හතරට පොල් මල් හතරක් ද දැමීමට හැකි නම් වඩාත් සුබය. එසේ තබන මෙම පුන්කලස් හතර අසල මල්, බුලත් ද තබන්න.
දැන් අප සිදු කරන්නේ දෙවැනි රූපයේ ආකාරයට විෂ්ණු, කතරගම, ප්‍රමුඛ දේව මණ්ඩලය උදෙසා පහන් දැල්වීමයි. මෙහිදි 3 සිට 11 දක්වා සටහන්ව ඇත්තේ නවග්‍රහ නවදෙනා වහන්සේලාට ද පහන් දල්්වන ආකාරයයි. මෙසේ පහන් දල්වන විට අබතෙල් පහනට මිශ්‍ර කරන්න. ඒ සෑම ස්ථානයකම පිළිවෙළින් ඉඹුල්, දිවුල්, කොලොන්, කොහොඹ, බෝ කරද, නුග, වැටකේ, කෙසෙල් බුලත් පඬුරු 9ක් මල් හඳුන්කූරු, පුවක්මල් කිනිති ආදිය තබා සකස් කර ගන්න.
දැන් අප යොමු වන්නේ මෙහි 1 වැනි වෘත්තය වෙතයි. එහි කොටස් 9කට බෙදන්න. එහි බුලත්කොළ 3ක් ඒ මත තබන්න. සකසා ගත් සියල්ලට පිනිදිය ඉසින්න. මේ වෘත්ත දෙක අතර වූ අවකාශයේ එලෙස සඳහන් ස්ථානයේ සුදුමල් පීරිසියක් මැද පහනක් තබන්න. මෙසේ පහනක් තබන්නේ බෝධීන් වහන්සේලාට අධිගෘහිත වූ සිද්ධ කළුදේවතාවුන් වහන්සේලාගේ නාමයටයි. මේ වෘත්තයන් දෙක මැද ස්ථානයේ තැඹිලි ගෙඩියක් අැස්ස කපා බුලත් කොළයක් තබා බුදුන් වහන්සේට පහනක් ද දල්වන්න.මේ රූපයේ ලෙස සඳහන් කළ ස්ථාන 4 තුළ බුලත්, මල් හා පහන් 4ක් හතර වරම් දෙවිවරුන්ට පූජා කිරීමට තබන්න. මෙහි ගිලන්පස වර්ග කිහිපයක් ද කොටස් 3කට වෙන්කර සාදා බෝධියට පිළිම වහන්සේට පූජා කරන්න.
පූජාව තබන ආකාරය
මුලින්ම පන්සිල් සමාදන් වෙන්න. ඉන්පසුව ගිලන්පස පූජාව සිදු කරන්න. මල් පහන් දුම් පූජා කරන්න. මෙසේ පූජා කිරීමෙන් පසු බෝධීන්වහන්සේට ද මල් පහන් සුවඳ දුම් පූජා සිදු කරන්න.
දැන් ඔබ කළ යුත්තේ බෝධි පූජාව තැබීමට මුල් වූ තැනැන්තා හෝ තැනැත්තියට මේ සියලු පූජාවන් අතගසා පූජා කිරීමට සැලැසීමයි. අවසානයේ කරණීය මෙත්ත සූත්‍රය කියූ පසු ජයෝ මුනින්දස්ස සුබෝධිමූලේ ආදී ගාථා කියමින් බෝධිය නැහැවීමයි. මෙසේ නැහැවීමෙන් පසු නවග්‍රහයන් සඳහා මල් පූජා කරන්න. දැන් සුළු වේලාවක් මෛත්‍රී භාවනාවේ යෙදීමෙන් පසුව තමුන්ගේ සියලු ප්‍රාර්ථනා සිහිකර සියලු දෙවියන්ට පින් දී සියලු වන්දනා කටයුතු අවසන් කරන්න. ඔබ පූජා කළ මල්මලා දෙක බෝමළුවේ එල්ලන්න. කොළ වර්ග 9 නිවෙසට රැගෙන යන්න. තැඹිලි ගෙඩිය නිවෙසේ සියලු දෙනා පානය කරන්න. මෙලෙස මේ බෝධි පූජා පින්කම සිදු කිරීමෙන් ඔබට සෙත ශාන්තිය ආශීර්වාදය නියත ලෙසම උදාවෙයි. ඔබට බෝධි පූජාව තැබීමේදී අවශ්‍ය වන ගාථා නිවැරැදිව සජ්ඣායනා කිරීමට නොහැකි නම් බෝධි පූජා ගාථා ඇතුළත් පොතක් රැගෙන යෑම මේ කටයුත්තට වඩාත් පහසුවකි.
උපදෙස්
ප්‍රවීණ ජ්‍යොතිෂවේදීනි අංක විද්‍යා විශාරද
සුජීවා කරුණාරත්න
රූ රටා:- නිලක්ෂි ආරියරත්න