හොඳට නරකට දෙකට කටමය

ඔක්තෝබර් 7, 2024

“වාචාය සංවරෝ සාධූ” වචනය සංවර කරගැනීම යහපත් ය. වචනය සංවර කරගැනීමට නම් වචනයෙන් සිදුවන අකුසල්වලින් මිදිය යුතු යි. වචනයෙන් සිදුවන අකුසල් 04කි.

ඒවානම්, බොරුකීම, කේලාම් කීම, නරක වචන කීම, හිස් වචන කීම. මුසාවාදය යනු බොරුවයි. බොරුව නිසා සිදුවන විනාශය අනන්තයි. අනුන් මුළා කරවන අදහසින් නොදුටු දේ දුටු ලෙස කීම, දුටු දේ නොදුටු ලෙස කීම, නොඇසූ දේ ඇසූ ලෙස කීම, ඇසූ දේ නොඇසූ ලෙස කීම, ඇති දෙය නැතැයි කීම, නැති දෙය ඇතැයි කීම, සිදු වූ දෙය සිදු නොවූ ලෙස කීම, සිදු නොවූ දෙය සිදු වූ ලෙස කීම ආදී වශයෙන් වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මුසාවාදය හෙවත් බොරුව ලෙස විග්‍රහ කළ හැකියි.

යම් පුද්ගලයෙක් බොරු කියයි නම් බොරු කියන්නාට ඕනෑම පාපයක් කළ හැකි බව ධම්මපද පාලියේ සඳහන් වේ.

“ඒකං ධම්මං අතීතස්ස - මුසාවාදිස්ස ජන්තුනෝ

විතිණ්ණ පරලෝකස්ස - නත්ථි පාපං අකරියං”

ඒ ඇයි? ඔහු වරදට බය නොවන නිසා ඕනෑම වරදක් කොට එය තමන් නොකළ බව ඔහුට කිව හැකියි. ඒ නිසා බොරුව අපරාධයේ, අකුසලයේ පියාය යනුවෙන් සඳහන් වෙයි. බොරුව නිසා වර්තමානයේ අප රටේ කොතරම් අපරාධ, අසාධාරණකම් සිදු වෙනව ද?

සමාජයේ කුඩාම ඒකකය වන්නේ පවුල් සංස්ථාවයි. ඒ කුඩාම ඒකකය තුළත් වර්තමානයේ බොරුව රජ වී ඇත. අම්මා, තාත්තාට බොරු කියනවා. තාත්තා, අම්මාට බොරු කියනවා. දරුවෝ, අම්මට තාත්තාට බොරු කරනවා. අම්මා තාත්තා, දරුවන්ට බොරු කරනවා.

වෙළෙදාම් කිරීමේ දී, බදු ගෙවීමේ දී , දරුවා පාසලට ඇතුළත් කිරීමේ දී, රැකියාවට යාමේ දී, කාර්යාලවල වැඩ කිරීමේ දී බොහෝ පිරිස් බොරු ලිපි ලේඛන සකස් කරනවා. අල්ලස් දෙනවා. අල්ලස් ගන්නවා.

පාලකයෝ මහජනතාවට බොරු කරනවා. මහ ජනතාව පාලකයන්ට බොරු කරනවා. මෙලෙස සිතා බැලීමේ දී එකී මෙකී නොකී මේ සියල්ලම මුසාවාදයේ අංකුර ලෙස හඳුන්වා දිය හැකියි. මේ තුළින් මුළු සමාජයම අද බොරුවෙන් වැසී ඇති බව පැහැදිලි වෙනවා.

බුදුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩ ඉන්න දවසක උන්වහන්සේගේ ගිහි කල පුතා වන රාහුල පොඩි හාමුදුරුවෝ වැඩ හිටියේ අම්බලට්ඨිකාවේ. බුදු හාමුදුරුවෝ එදා වේළුවනාරාමයේ සිට අම්බලට්ඨිකාවට වැඩම කළා. රාහුල පොඩි හාමුදුරුවෝ, ඈතින් සංවර ගමනින් වඩින බුදුන් වහන්සේ දැක, උන්වහන්සේට වැඩ ඉන්න ආසනයක් පැනවූවා. පා දෝවනය කරගැනීමට දිය බඳුනක් තැබුවා. බුදුන් වහන්සේත් ආසනයේ වාඩි වී තමන්ගේ පා දෝවනය කර ගත්තා. රාහුල පොඩි හාමුදුරුවොත් බුදුන් වහන්සේට වැඳ එකත්පසක වාඩි වුණා.

ඒ වෙලාවේ දී බුදුන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ගෙන් අහනවා. රාහුල, දිය බදුනේ ඉතුරු වෙලා තියෙන වතුර ටික පේනව ද? එසේය ස්වාමිනී. රාහුල, කවුරු හරි කෙනෙක් දැන දැන බොරු කියනවා නම් බොරු කියන්න ලැජ්ජා නැත්නම් ඔහුගේ පැවිද්ද මේ වතුර ටික වගේ ස්වල්පයයි.

පසුව ඒ වතුර ටික අහකට හලන්න කිව්වා. දැන් කළය හිස්. ඒ බව පෙන්නලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. රාහුල, දැන දැන බොරු කියන කෙනාගේ ජීවිතයත් මේ හිස් කළය වගේ. ඒ අනුව යමෙක් දැන දැන බොරු කියනවා නම් ඒ පුද්ගලයා හිස් පුද්ගලයෙක්.

“ දීනෝ විගන්ධ වදනෝ ච ජළො අපඤ්ඤෝ - මුගෝ සදා භවති අප්පිය දස්සනේව

පප්පොති දුක්ඛ මතුලඤ් ච මනුස්ස භූතො - වාචං මුසා හණති යොහි අපඤ්ඤ සන්තො”

 

යම් අඥානයෙක් බොරු කියයි ද ඔහු සෑම කාලයකම දිළින්දෙක් වෙනවා. දුර්ගන්ධ මුඛයක් ඇති වෙනවා. අඥාන මෝඩයෙක් වෙනවා. ‌ගොළුවෙක් වෙනවා. අප්‍රිය දර්ශන ඇත්තෙක් වෙනවා. දුකින් දුකටම පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි නොකරපු දේවල්වලට චෝදනා ලබනවා.

ඒ නිසා අපි කතා කරන වචන සියල්ලම පාහේ මධුභාෂ - මී පැණි වගේ රසවත් විය යුතු යි. සුභාෂිතවාචී - යහපත් වචනයක්ම විය යුතුයි. ඒ ඇයි? නිර්වාණාවබෝධය සඳහා යන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් මාර්ගයක් තමා සම්මා වාචා. එබැවින් නිවන් මගට මාර්ගයක් වන තරමටම යහපත් වචනය අපට වැදගත් වන නිසා. සැවැත් නුවර අචිරවතී ගංගාව බොහෝ මත්ස්‍යයන්ගෙන් පිරුණු ගංගාවක්. මාළු මරණ අය ඇවිල්ලා මේ ගඟට දැල් දාලා ‌ගඟේ ඉන්න මාළු අල්ලා මරා විකුණා ජීවත් වුණා. දවසක් මේ මිනිස්සුන්ගේ දැලට විශේෂ මාළුවෙක් හසු වුනා. දැල ගොඩට ගෙන පරික්ෂා කිරීමේ දී පුදුම ලස්සන මාළුවෙක්. අවුරුදු ගණනාවක් තිස්සේ අචිරවතී ගංගාවේ මාළු ඇල්ලූ මේ මිනිස්සුන්ට කවදාවත්ම මේ වගේ මාළුවෙක් හසු වී තිබුණේ නෑ. දැකලා තිබුණෙත් නෑ.

 

මිනිස්සු, දැලට හසු වූ මේ මාළුවා පරිස්සමෙන් ගොඩට ගත්තා. එතැන සිටි මිනිස්සු සියලු දෙනාම වට වෙලා හරි පුදුමයෙන් මේ මාලුවා දිහා බලනවා. ශරීරය හරිම ලස්සනයි. රත්තරන් පාටයි. රත්තරනින් හැදුවා වගේ මුළු ශරීරයම දිලිසෙනවා. මේ මාළුවා දකින දකින මනුස්සයා මේ මාළුවගේ ලස්සන දැකලා පුදුම වෙනවා. ටික වේලාවකින් මේ මාළුවා එපාරටම කට ඇරියා. මුළු පළාතම ගඳයි. හරියට වැසිකිළි වළක් ගොඩ දානවා වගේ. අහල පහළ කිට්ටුවක නාහේ තියෙන මනුස්සයෙකුට ඉන්න බැහැ. පුදුම ගඳක්. මහා දුගඳක් මාළුවාගේ කටින් හමනවා. මාලුවාගේ ශරීරය ලස්සන වුනාට මාළුවා කට විවෘත කළාම කටේ තියෙන ගඳ උහුලන්න බැරි තරම්. මිනිස්සුන්ට මේක මහා පුදුමයක්. හිතාගන්න බෑ. එක එක්කෙනා එක එක කතා කියන්න පටන් ගත්තා. අවසානයේ දී මේ මිනිස්සු මේ මාළුවාව අරගෙන ගියා රජ්ජුරුවෝ ළඟට. කොසොල් රජ්ජුරුවන්ට මේ මාළුවා පෙන්නලා විස්තරේ කිව්වා. මේක අහලා, දැකලා පුදුම වුණු කොසොල් රජතුමා මේ මාළුවත් ගෙන බුදු හාමුදුරුවෝ මුණගැහෙන්න ගොස් බුදු හාමුදුරුවන්ට මේ විස්තරය කිව්වා.

“බුදු හාමුදුරුවනේ, මහ පුදුමයක්. මේ මාළුවා පුදුම ලස්සනයි. නමුත් මෙච්චර ලස්සන මේ මාළුවා කට ඇරියහම පළාතකවත් ඉන්න බෑ. මහා දුගඳක් හමනවා.”

පසුව බුදු හාමුදුරුවෝ දේශනා කරනවා. “මහරජතුමනි, පුදුම වෙන්න දෙයක් නෑ, අගක් මුලක් නොපෙනෙන අනවරාග්‍ර වූ සංසාර ගමනේ දී යම්කිසි කර්මයක් කළොත් ඒ කරන කර්මයේ විපාක අපි විඳිය යුතුයි

මහරජතුමනි, මෙයත් කාශ්‍යප බුදුන් දවස කළ කර්මයක්. කාශ්‍යප බුදු හාමුදුරුවෝ මේ ලෝකේ පහළව සිටි කාලයේ මේ මාළුවා, උන්වහන්සේ ශාසනයේ තරුණ හාමුදුරු නමක් ලෙස පැවිදිව අවුරුදු 2000ක් මහණදම් සම්පූර්ණ කළ ත්‍රිපිටකධාරි ධර්ම කථිකයන් වහන්සේ නමක්. උන්වහන්සේ හරිම දක්ෂයි බණ කියන්න. මේ හාමුදුරුවෝ බණ කියනවා කියලා ආරංචි වුණාම යොදුන් ගණන් ඈත ඉඳලා නිදි මරාගෙන, දුරු කතර ගෙවාගෙන, දහස් ගණන් මිනිස්සු උන්වහන්සේගේ බණ අහන්න එනවා. මිනිස්සු උන්වහන්සේගෙන් බණ අහන්න හරිම ආසයි. ඒ නිසා ඉතාමත්ම කෙටි කාලයක් තුළදී මේ හාමුදුරුවෝ මුළු රට පුරාම ප්‍රසිද්ධ වුණා. මිනිස්සු මේ හාමුදුරුවෝ ගැන පුදුම පැහැදීමකින් කටයුතු කළේ.

ටික කාලයකට පසු මේ හාමුදුරුවන්ගේ අම්මා, සහෝදරිය සහ සහෝදරයත් පැවිදි වුණා. උන්වහන්සේගේ ජනප්‍රියත්වය නිසා මිනිස්සු නොයෙක් පුද පූජාවල් ගෙනත් පූජා කළා. පුද පූජා පිරිකරත් ගොඩ ගැසුණා. මට වඩා ලස්සනට බණ කියන හාමුදුරුවෝ නමක් පැමිණි ගමන්ම මේ සියල්ල අඩු වන බව උන්වහන්සේ සිතුවා. ඉන්පසු ලාභ සත්කාර ගැන පමණක් සිතා බණ කියන්න ආරම්භ කළා. ධර්ම දේශනා කරන විට සිල්වත්, ගුණවත් හාමුදුරුවරුන්ට බොරු පවසමින් දොස් කියන්න පටන් ගත්තා. උන්වහන්සේලාට ලැබෙන සිව්පසය නැති කළා. අම්මා සහ සහෝදරියත් මේ ක්‍රියාවට සහයෝගය දැක්වූවා.

බොරු කියමින්, දුරාචාරයේ යෙදෙමින් සිල්වත් ගුණවත් හාමුදුරුවරුන්ට ලැබෙන සිව්පසය නැති කොට කාශ්‍යප බුදු සසුනේ පර්යාප්ති ධර්මය පසු බැස්සූ නිසා මොවුන් තිදෙනාම මිය ගොස් අවීචී මහා නිරයේ ඉපදුණා. බුද්ධාන්තරයක් අවීචියේ පැසී වචනයෙන් සිදු කළ අකුසල් නිසා පසුව තිරිසන් ආත්මභාවයක අචිරවතී ගංගාවේ මාළුවෙක් වෙලා ඉපදුණා.

පැවිදිව සිටි මුල් කාලයේ දී සිල්වත්ව හිඳිමින් ධර්මය දේශනා කළ පිනෙන් රන්වන් පැහැති ලස්සන ශරීරයක් ලැබුවා. නමුත් භික්ෂුන්ට අක්‍රෝශ පරිභව කරමින් බොරු කී පවින් දුගඳ හමන කටක් ඇතිව උත්පත්තිය ලැබුවා.

මෙම කතාවෙන් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.

බොරු කීමේ විපාක ලෙස පරලොව දුගතියේ උත්පත්තිය ලබනවා. යම් දවසක බොරු කියන පුද්ගලයා මනුස්ස ලෝකේ ඉපදුණහොත් කට ගඳ ගහන කෙනෙක් වෙනවා. කෙලතොල්ලෙක් වෙනවා. අපේ සමාජයේ ඇතැම් මිනිස්සු අප සමඟ කතා කරන විට කටින් කෙල විසි වෙනවා. නැත්නම් කට දෙකොනින් කෙල බේරෙනවා. ළඟපාතක ඉන්න බෑ. ඔහුගේ කටින් හමන දුර්ගන්ධය නිසා කිසිවෙක් ඔහු සමඟ මිත්‍රකම් පවත්වන්නේ නෑ. කෙලතොල්ල, බොරුකාරයා කියලා අපහාස කරනවා.

යම් පුද්ගලයෙක් වචනයෙන් සිදුවන බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම ආදිය සිද්ධ කරනවා නම් අනුන්ට ගිනි ගෙඩි දීලා, පවුල් කඩා ඉහිරවලා, එකිනෙකා භේද කරලා ඒ අය අතර අසමගිය ඇති කරනවා නම් එවැනි අය උපදින උපදින සෑම ආත්ම භාවයකදීම දුගඳ හමන කටක් ඇතිව උත්පත්තිය ලබනවා.

මූණ ලස්සන වුණාට අපිට කට ලස්සන කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. වර්තමානයේ තියෙන තාක්ෂණය සහ රූපලාවණ්‍ය කටයුතු ආදිය භාවිත කරලා අවලස්සන ශරීරය ලස්සන කරගන්න පුළුවන්. නමුත් ඒවායෙන් කට ලස්සන කරන්න බෑ. ඒකට අපි වචනය සංවර කරගන්න ඔ්න.

“මහනෙල් සුවඳමය - කුඩු මසු පිළී ගඳමය

දෙකට එක දියමය - හොඳට නරකට දෙකට කටමය”

මානෙල් මල පිපෙන්නේ කොහේද? වතුරේ. මාළුවා උපදින්නේ කොහෙද? වතුරේ. මානෙල් මල සුවඳයි. නමුත් මාළුවා පිලී ගඳයි. ඒ වගේ තමයි, හොඳටත් නරකටත් දෙකටම බලපාන්නේ අපේ කට. රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බෑ කියලා මිනිස්සු කියන්නෙත් ඒකයි. අපි යම්කිසි වචනයක් කියනවා නම් ඒක හොඳින් සිතාමතා කාටවත් කරදරයක් නොවන ආකාරයට කීමට උත්සාහ කරමු.

 

අනුශාසනාව

තෙල්ලඹුර ශ්‍රී පුෂ්පාරාම විහාරවාසී

යක්කලමුල්ල ආදිච්චවංස පිරිවෙනේ ආචාර්ය මනෝවිද්‍යා උපදේශක ඩිප්ලෝමාධාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොට්ටවගම ධම්මජෝති හිමි.

 

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ