වර්ෂ 2024 ක්වූ November 04 වැනිදා Monday
හැම ප්‍රශ්නයකටම සරලම විසඳුමක්
පරණ දේ දුන් තැනැත්තාට ලැබෙන්නෙ පරණ දේමය. ඉවත දමන දේ දන් දුන් තැනැත්තාට ලැබෙන්නේ ඉවත දමන දේමය. තමාට අනවශ්‍ය දේ පමණක් දන් දුන් තැනැත්තාට අනවශ්‍ය දෙයක්ම ලැබෙන්නේය. කම්මසරික්කතාවය හෙවත් කළ කර්මයට අනුරූප විපාකය යනු මෙයයි.
පුද්ගලයෙකු සත්‍යාවබෝධයට පැමිණ ශාන්ත සුවයට පත්වීමට නම් ජීවිතය තුළ වූ කරුණු තුනක් මැනවින් අවබෝධ කරගත යුතුය.
ඒවා නම් ලෝකයේ ආස්වාද ආදීනවය නිස්සරණය යන කාරණා තුනයි.
ලෝකයේ ආස්වාදය ඇත්තේ ටිකකි. පංචකාම සම්පත්වලින් පිරුණු සිනහව සුන්දරත්වය තාරුණ්‍යය ඒ ආස්වාදයට අන්තර්ගතය. සැපය සුන්දරත්වයය කියා යමක් ඇත්නම් එය ජීවිතයේ ආස්වාදය ලෙස වටහාගත යුතුය. එය ස්වල්පයකි.
පංචකාම සම්පත් ලැබීම වෙනුවෙන් වෙහෙස මහන්සි වෙමින් ධනෝපායන මාර්ගයන්හි යෙදීම ආදිය ද, අපේක්ෂා භංගත්වය ද, ජාති ජරා ව්‍යාධි මරණ ප්‍රියවිප්‍රයෝගාදී අනන්ත ආදීනවයන් ද ඒ ආස්වාදය තුළ සැඟව පවතී. එය ජීවිතයේ ආදීනවයයි. ආස්වාදය ද ආදීනවය ද මැනවින් අවබෝධ කරගත් විට නිස්සරණයට පත්වීම පහසුය.
නිස්සරණය යනු ඒ කාමයන් අතහැර නිවනට පත් වීමයි.
අප සැමගේම ජීවිතය එකම ආකාරයකින් පවතින සුන්දර ජීවිතයක් නම් නොවේ. අටලෝ දහම නමැති චක්‍රය, අප සැමගේ ජීවිත තුළ ප්‍රවර්තනය වේ.
ලැබීම්, නොලැබීම්, නින්දා, පැසසුම් , අයස, යසස, දුක, සැප යන කරුණු අට ඒ ධර්මතාවන්ට අයත් වේ. මේවාට මුහුණ නොදුන් කෙනෙකු ලෝකයේ බිහි වී නොමැත.
ලෝකය පිහිටා ඇත්තේ දුකමත බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට තිබේ. එය අප නිරතුරුවම අමතක කරන්නට වෙරදරනා පරම සත්‍යයකි. ත්‍රිලක්ෂණ ධර්මය තුළත් චතුරාර්ය සත්‍යය ධර්මය තුළත් ජීවත යථාර්ථය මැනවින් විදහා දක්වා තිබේ.
ජීවිතයේ ස්වභාවය විස්තර කළ චතුරාර්ය සත්‍යය මෙසේය.
1. දුක නමැති ආර්ය සත්‍යය
2. දුකෙහි හේතුව නැමැති ආර්ය සත්‍යය
3. දුක නැති කිරීම නම් ආර්ය සත්‍යය.
4. දුක නැතිකිරීමේ ප්‍රතිපදාව නම්
ආර්ය සත්‍යය යනුවෙනි.
මෙම චතුරාර්ය සත්‍ය දේශනය සියුම්ම විමසා බැලූ විට එහි ජීවන ගැටලු විසඳා ගැනීම සඳහා අවශ්‍ය කරන න්‍යායක් ඇතුළත් බව දැක ගත හැකිය.
එය මෙසේය,
1. ගැටලුව
2. ගැටලුව ඇතිවීමට හේතුව
3. විසඳුම
4. විසඳුම ලබා ගැනීමට අවශ්‍ය
ක්‍රියාමාර්ගය යනුවෙනි.
මෙය ඕනෑම ජීවන ගැටලුවක් විසඳා ගැනීමට අපට ප්‍රායෝගික කර ගත හැකි න්‍යායකි.
ජීවිතයේ සැමදාම දුක්කරදර වලටම වැඩිපුර මුහුණ දෙන මිනිස්සු සිටිති. එය ස්වාභාවය යැයි සිතා දුකෙහිම ගිලී අක්‍රීයව අවිඥානිකව සිටීම බුදුදහම කිසිසේත්ම අගය නොකරයි.
ප්‍රථමයෙන්ම සිදුකළ යුත්තෙ අවදියෙන් ජීවිතය දෙස බැලීමයි. ඒ සඳහා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය අපට උපයෝගී කරගත හැකිය. ඔබ දුකෙහි සහ කනගාටුවෙහි වෙලී දුක් වෙමින් සිටීමට කැමති වනතාක්කල් ඔබට ඒ දුකින් ගැළවීමක් නම් නොමැත. එබැවින් දුකින් මිදෙන්නට ඔබ තුළම සබුද්ධික බවක් ප්‍රථමයෙන්ම ඇතිකර ගත යුතුය.
පවත්නා ගැටලුව කුමක්දැයි අවබෝධ කරගැනීමට බුදු දහම ඇසුරින් නුවණ උපදවා ගත යුතුය. එම ගැටලුවට හේතු සෙවිය යුතුය. හේතු සොයා එම ගැටලුවෙන් නිදහස් වීමට අවශ්‍ය පසුබිමත් එම පසුබිම සකස් කර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ගත් වටහාගෙන ඒවා ක්‍රියාත්මක කරමින් ගැටලුව විසඳා ගැනීමට කටයුතු කළ යුතුය.
මෙසේ බොහෝ ගැටලුවලට චතුරාර්ය සත්‍ය න්‍යාය තුළින් අපට පිළිතුරු සොයා ගත හැකිවෙයි. එය බොහෝම සජීවී ධර්මපරියායකි. ප්‍රායෝගික ධර්මපරියායකි. බොහෝ මිනිසුන් ජීවිතය තුළ කනස්සල්ලයට දුකට පත්වීමට ප්‍රධානම හේතුවක් වන්නේ අනවශ්‍යය බලාපොරොත්තු වලින් ජීවිතය පුරවා ගැනීමයි. එසේ බොහෝ බලාපොරොත්තු වලින් ජීවිතය පුරවා ගත් විට ජීවිතයක තිබිය යුතු සැහැල්ලුව සරලබව ඔබට අහිමි වී යයි.
අල්පේච්ඡතාවය හෙවත් බලාපොරොත්තු අඩු බව, සන්තුෂ්ටි හෙවත් ලද දෙයින් සතුටට පත් වීමත් ජීවිතයට ගලපා ගතහොත් සැනසීම ඔබව අතහැර නොයනු ඇත. ලෝකයෙහි ස්වභාවය අවබෝධ කරගන්නේ නැතිව යම් යම් දේවල් ගැන දැඩි බලාපොරොත්තු තබා, අපේක්ෂා භංගත්වයට පත් වූ විට සමහරෙක්ට ජීවිතය අපායක් බවට පත්වෙයි. ත්‍රිලක්ෂණ ධර්මතාවය වැදගත් වන්නේ මෙවැනි තැන්වලට.
ත්‍රිලක්ෂණ ධර්මතාවය මෙසේය.
1. අනිත්‍ය බව හෙවත් හටගන්නා සියල්ල වෙනස්වෙන හා නැසෙන සුළු බව.
2. දුක්ඛ බව හෙවත් එම අනිත්‍යභාවය නිසා ඇතිවන පීඩාකාරී බව.
3. අනාත්ම බව හෙවත් මෙලොව කිසිවක් මමය මාගේ යැයි මට අවශ්‍ය විදිහට පාලනය කළ නොහැකි බව.
දෙයක් ජීවිතය තුළ බලාපොරොත්තු වන ආකාරයටම සිදු නොවන විට අප වටහා ගත යුතු වන්නේ
දේවල් සිදුවන්නේ අපට අවශ්‍ය විදිහටම නොවන බවයි. ඒවා සිදුවන්නේ හේතුඵල දහමට අනුව හේතුඵල සකස් වූ ආකාරයටය. ආත්ම හැඟීමෙන් මට ඕනා විදිහටම වෙන්නට ඕනෑය, මම සිතූ ලෙසම ඉටුවිය යුතුයැයි සිතීමම මිත්‍යාවකි.
මීළඟට ජීවිතය සැහැල්ලුභාවයට පත් කර ගැනීමට කර්මය පිළිබඳව සංකල්පය බොහොම වටිනා න්‍යායකි.
"ලැබෙන්නේ පෙරදුන් ආකාරයටයි" යන්න සාමාන්‍ය ජනයා තුළ බහුල වූ ආකල්පයකි. එය අංගුත්තර නිකාය තුළ ඇති සත්පුරුෂ දාන සූත්‍රයේදී ද විස්තර කොට තිබේ.
එහි සත්පුරුෂ දාන පහකි.
1. සද‍්ධාය දානං දෙති - සැදැහෙන් දන් දෙයි.
2. සක‍්කච‍්චං දානං දෙති - සකස්කොට දන් දෙයි.
3. කාලෙන දානං දෙති - සුදුසු කාලයේ දී දන් දෙයි.
4. අනග‍් ග හිත චිත‍්තො දානං දෙති - සිතින් අල්වා නොගෙන අතහැර දන් දෙයි.
5. අත‍්තානං ච පරං ච අනුපහච‍්ච දානං දෙති - තමන්ද අනුන්ද පීඩාවට පත් නොකොට දන් දෙයි.
මෙම දාන ආකාර පහට අනුව ආනිශංස ලැබෙන්නේද ආකාර පහකිනි. දානය හෙවත් පරිත්‍යාගය පුරුදු කිරීම නිසා මහා ධනවතෙකුව බලවත්ව ඉපදීම පොදු ස්වභාවයයි. එසේ මහා ධනවත්ව උපදින අය අතරට මෙම දානයන්ට අනුරූප වූ වෙනස් ආනිසංස ද එක්වීම සිදුවේ.
1. සැදැහෙන් දන් දුන් තැනැත්තා ධනවත් වනවාසේම ඉතාමත් රූප සම්පන්න, වර්ණ සම්පන්න ප්‍රියමනාප කෙනෙක්ව උපදී.
2. සකසා දන් දුන් තැනැත්තා ධනවත් වනවා සේම ඔහුගේ පිරිස සේවකයින් අඹු දරුවන් ඉතාම කීකරු කල්‍යාණ මිත්‍ර පිරිසක් බවට පත්වීම සිදුවේ.
3. සුදුසු කාලයේ දී දන් දුන් තැනැත්තා ධනවත්ව උපදිනවා සේම ඔහුට අවශ්‍ය වන තනතුරු, සම්පත්, සම්මානාදිය සුදුසු කාලයේදීම ලැබෙයි.
4. සිතින්ම අතහැර දන් දුන් තැනැත්තාට උදාර පංචකාම සම්පත් අනුභව කිරීමට සිත නැඹුරු වෙයි. සිතින් අල්වාගෙන දන් දුන් තැනැත්තාට ලැබෙන ධනය ප්‍රයෝජනයට ගැනීමට සිත් නොදේ. මසුරු සිත් උපදී.
5. තමනුත් අන්අයත් පීඩාවට පත් නොකර දන් දුන් තැනැත්තාගේ ධනය කිසිවෙකු විසින් වනසාලිය නොහේ. සමහරුන්ගේ ධනය රජුන් විසින්, සොරුන් විසින්, අමනාප දූ දරුවන් විසින් විනාශයට පත් කරනු ලබන්නේය. නමුත් තමන් සේම අනුනුත් නොපෙළා දන් දුන් තැනැත්තාගේ ධනය කිසිවකින් විනාශයට පත් වී නොයයි. එබැවින් ජීවිතයේ යම් යම් දේ සිදුවන විට ඒ පිළිබඳව කර්ම සංකල්පය තුළටද අනුගත කොට කල්පනා කොට ජීවිතාවබෝධය ලබාගැනීමට කටයුතු කළ යුතුය.
පරණ දේ දුන් තැනැත්තාට ලැබෙන්නෙ පරණ දේමය. ඉවත දමන දේ දන් දුන් තැනැත්තාට ලැබෙන්නේ ඉවත දමන දේමය. තමාට අනවශ්‍ය දේ පමණක් දන් දුන් තැනැත්තාට අනවශ්‍ය දෙයක්ම ලැබෙන්නේය. කම්මසරික්කතාවය හෙවත් කළ කර්මයට අනුරූප විපාකය යනු මෙයයි. ජීවිතයේ සෑම සංසිද්ධියක්ම සිදුවන්නේ කර්මය අනුව යැයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට නැත. එනිසා කර්මය යනු හේතුඵල දහම තුළ එක් ප්‍රබල හේතුවක් පමණක් බව වටහා ගත යුතුය.
මෙම යථාර්ථය අවබෝධ කරගෙන ජීවිතයට ගැටලු බාධක කරදර එක පිට එනවිට ත්‍රිලක්ෂණ ධර්මතාවය තුළින් නොසැලෙන පෞරුෂයක් ඇති කරගත යුතුය. වීර්යයට උත්සාහයට ජීවිතය තුළ දියයුතු තැන ලබා දී චතුරාර්ය සත්‍යය න්‍යාය තුළින් එම ගැටලු විසඳා ගැනීමට කටයුතු කළ යුතුය.
මේ ලොව්තුරා බුදු දහම තුළ විස්තර කෙරෙන සැබෑ බෞද්ධයාගේ ප්‍රතිපදාවයි.
තෙරුවන් සරණයි !
අනුශාසනාව
(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .
සිරි උපාලි ධර්මාශ්‍රමය ,කුඩා කිවුල, කොට්ටුකච්චිය)