ප්‍රඥාව දියුණු කරන හිත නිවන බුදු වදන

ජූලි 15, 2024

 

ආලාර කාලාම, උද්දකරාමපුත්ත වැන්නන් චිත්ත දියුණුව ලැබූ ශ්‍රේෂ්ඨ උතුමෝ වූහ. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඒ උතුම් මුනිවරුන් සමීපයේ නොබෝ කලකින්ම චිත්ත දියුණුවට පත්වූහ. චිත්ත දියුණුවේ උපරිම සීමාව වන්නේ පංච අභිඥා සහ අෂ්ට සමාපත්තීන්ය.

 

ඒවා මෙසේය.

 

පංච අභිඥා :-

 

1. දිබ්බ චක්ඛු ඤාණය (දිව්‍යමය ඇස)

2. දිබ්බ සෝත ඤාණය (දිව්‍යමය කන)

3. ඉද්ධි විධ ඤාණය (ඍද්ධි පෙළහර පානා නුවණ)

4. චේතෝ පරිය ඤාණය (පරසිත් දක්නා නුවණ)

5. පුබ්බේ නිවාසානුස්සති ඤාණය (පෙර භවයන් දක්නා නුවණ )

 

අෂ්ට සමාපත්ති :-

 

1. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම රූපාවචර ධ්‍යානය

2. පීති සුඛ ඒකග්ගතා සහිත දුතිය රූපාවචර ධ්‍යානය

3. සුඛ ඒකග්ගතා සහිත තතිය රූපාවචර ධ්‍යානය

4. උපෙක්ඛා ඒකග්ගතා සහිත චතුර්ථ රූපාවචර ධ්‍යානය

5. ආකාසානඤ්චායතන ප්‍රථම අරූපාවචර ධ්‍යානය

6. විඤ්ඤාණඤ්චායතන දුතිය අරූපාවචර ධ්‍යානය

7. ආකිඤ්චඤ්ඤායතන තතිය අරූපාවචර ධ්‍යානය.

8. නේවසඤ්ඤා නාසඤ්ඤායතන චතුර්ථ අරූපාවචර ධ්‍යානය

 

මේවායෙන් පංච අභිඥා උපදවා ගන්නේ සතරවැනි සමාපත්තිය වූ රූපාවචර සතරවැනි ධ්‍යානයේ බලයෙනි. මෙසේ බලන විට චිත්ත දියුණුවේ කෙළවර අටවැනි සමාපත්තිය වූ නේවසඤ්ඤා නාසඤ්ඤායතන අරූප සමාපත්තියයි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උද්දකරාමපුත්ත ඍෂිතුමා ඇසුරේ එය ලැබූහ. නමුත් එය සත්‍යාවබෝධය නොවේ යැයි අත්හැර දැමූහ.

 

බොහෝමයක් බෞද්ධයන් සිතා සිටින්නේ බුදුදහමේ අවසන් අරමුණ සිත දියුණු කිරීම කියාය. එය ශ්‍රී සද්ධර්මය නිවැරදිව නොදන්නාකම නිසා ඇති වූ අදහසකි.

 

චිත්ත දියුණුවේ ‍ෙකළවරට පැමිණි සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේට තවමත් තම සිත තුළ කෙලෙස් මූලයන් ඇති බව අවබෝධ කරගත හැකිවිය. එවිට චිත්ත දියුණුවෙන් පමණක් පූර්ණ අවබෝධයට පත්වීම හෝ පූර්ණ වශයෙන් කෙලෙස් නැසීම හෝ සිදු නොකළ හැකි බව උන්වහන්සේට අවබෝධ විය. එවිට උන්වහන්සේ චිත්ත දියුණුව හැරදමා තවදුරටත් සත්‍යය සොයා පර්යේෂණ කරන්නට වූහ. දුෂ්කර ක්‍රියාවෙන්ද අනතුරුව එයද නිරර්ථක බව දැන හැරදමා කුඩා කල වැඩූ ආනාපානසති භාවනාවෙන් සමාධිය දියුණු කරන්නට වූහ. එයින් සතරවැනි

 

 

 

 

 

රූප ධ්‍යානයට පැමිණ විදර්ශනා භාවනාවෙන් සියලු කෙලෙසුන් නසා සම්මා සම්බෝධිය හෙවත් ලොව්තුරා බුද්ධත්වය අවබෝධ කොටගත් සේක.

 

ඒ සඳහා භාවිත කළ විදර්ශනා ක්‍රමය වන්නෙ පටිච්ච සමුප්පාද ක්‍රමයයි.

 

බුදුදහම යනු ප්‍රඥාව දියුණු කිරීම පිළිබඳ වූ ධර්මයයි. චිත්ත දියුණුවට බෞද්ධයන් නැඹුරු වන්නේ එම චිත්ත දියුණුවද ප්‍රඥාවේ දියුණුවට උපකාරී කරගැනීමේ අරමුණ ඇතිවය.

 

ත්‍රිශික්ෂාවන්ගෙන් සීලය (හෙවත් කායික හා වාචසික සංවරය) චිත්ත සමාධියට උපකාරී වේ.

එම චිත්ත සමාධිය තුළින් කෙලෙස් යටපත් වීම නිසා විදර්ශනා වඩා ප්‍රඥාව දියුණු කිරීමට හැකියාව ලැබේ. එබැවින් බුදුදහම තුළ ඉගැන්වෙන සෑම කරුණක්ම ප්‍රඥා ප්‍රබෝධය පිණිසම අරමුණු වේ.

 

දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් මෙන්ම වන්දනා පූජා ආදියද බුදුදහම තුළ සිදු කළ යුත්තේ ප්‍රඥාව වැඩෙන අයුරිනි.

 

අභිධර්මයෙහි මූල ප්‍රකරණය වූ ධම්මසංගණි ප්‍රකරණය තුළ කුසලය ප්‍රධාන ප්‍රභේද දෙකක්ව දක්වා තිබේ. ඒ ඤාණ සම්පයුත්ත කුසලය හා ඤාණ විප්පයුත්ත කුසලය වශයෙනි. මෙහි ඤාණ සම්පයුත්ත යනු අවබෝධයෙන් සිදුකරන කුසල කර්මයයි. ඤාණ විප්පයුත්ත යනු අවබෝධයෙන් තොරව සිදු කරන කුසල කර්මයයි.

 

ඤාණ විප්පයුත්ත කුසල් දහසකටත් වඩා ඤාණ සම්පයුත්ත එකම කුසලය ඉතා බලවත්ය. ඊට ප්‍රධාන හේතුවක් තිබේ. එනම් ඤාණ සම්පයුත්ත කුසලයකින්ම ත්‍රිහේතුක උපතක් හෙවත් ප්‍රඥාවන්තභාවයෙන් යුතු උපතක් සිදුවීමයි. ත්‍රිහේතුකව උපන් හෙවත් ප්‍රඥාවන්තව උපන් කෙනාම උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධයට හැකියාව ඇති කෙනා වේ.

ප්‍රඥාවෙන් දුර්වල අයෙකුට ශ්‍රී සද්ධර්මය අවබෝධ කොට මාර්ගඵල ලැබිය නොහැකිය.

 

මෙලොවදී නුවණ දියුණු වීමටත් මතු භවයේ ප්‍රඥාවන්තයෙකුව ඉපදීමටත්, සත්‍යාවබෝධය ලැබීමටත් අවශ්‍ය නම් සිදු කරන සෑම කටයුත්තක්ම අවබෝධයෙන් සිදු කළ යුතුය.

 

අපි සම්බුද්ධ පූජාව ගැන මොහොතක් සිතමු. එහි පූජා ද්‍රව්‍යයන් පූජා කරන ගාථාවන් පිළිබඳව වැටහීමක් දැනීමක් අපට නොමැති නම් බොහෝවිට අප තුළ ඒ මොහොතේ ඇති වන්නේ ඤාණ විප්පයුත්ත කුසලයන්ය.

 

උදාහරණයක් ලෙස බොහෝ නිවෙස්වල ලොව්තුරා බුදුරජාණන් වහන්සේට පහන් පූජා කරන ගාථාව ලෙස භාවිත වන්නේ මෙයයි.

 

"ඝනසාරප්පදිත්තේන

දීපේන තමධංසිනා

තිලෝකදීපං සම්බුද්ධං

පූජායාමි තමෝනුදං"

 

" කපුරුවලින් දැල් වූ අඳුර දුරළන පහනින්, තිලොවම (අවිද්‍යා) අඳුර දුරලූ, තිලොවටම පහනක් වූ සම්බුදුරජාණන් වහන්සේ පුදමි" යන්න මෙහි අර්ථයයි.

 

'ඝනසාර' යනු පාලි භාෂාව තුළ කපුරු හඳුන්වන නාමයයි. පදිත්තේන යනු දැල් වූ යන අර්ථයකි. සමහරෙක් තෙල් පහන් හෝ ඉටි පහන් හෝ විදුලි පහන් දල්වාද මෙම ගාථාවෙන්ම පහන් පූජා කරනු දැකිය හැකිය. ඒ පූජාවන් ඤාණ විප්පයුත්ත පූජාවන්ය. එවායින් ජනිත වන්නේ ඤාණ විප්පයුත්ත දුර්වල කුසල්ය.

 

 

අතීතයේ කපුරු ආලෝකය පූජා කිරීමට උගත් භික්ෂූන් වහන්සේලා ගෙතූ එම ගාථාව වෙනුවට ඕනෑම පහන් ආලෝකයක් පූජා කිරීම සඳහා මෙම ගාථාව භාවිත කිරීම සුදුසුය.

 

"සද්ධාය සම්පදිත්තේන

දීපේන තමධංසිනා

තිලෝකදීපං සම්බුද්ධං

පූජයාමී තමෝනුදං "

 

" ශ්‍රද්ධාවෙන් දල්වන ලද අඳුර දුරලන මේ පහනින්, තිලොවම (අවිද්‍යා ) අඳුර දුර කළ සම්බුදුරජාණන් වහන්සේ පුදමි" යනු එහි අර්ථයයි.

 

ඕනෑම පහනක් පුදනුයේ ශ්‍රද්ධාවෙන් බැවින් ඒ ගාථාව ඕනෑම දෙයකින් දැල්වූ පහනක් පූජා කිරීමට ගැළපේ.

 

මීට අමතරව පහන් පූජාව සඳහා මෑත කාලයේ අතිපූජනීය රේරුකානේ චන්දවිමල නායක ස්වාමීන් වහන්සේ රචනා කළ ඉතා අර්ථවත් ගාථාවක්ද තිබේ. එය මෙසේය.

 

"වෙනේය හදයෙ මෝහ

තමොක්ඛන්ධ විනෝදකං

දීපනේතේන පූජෙමි

පඤ්ඤාදීපධරං ජිනං "

 

"වේනෙ‍ය ජනයන්ගේ හදවතෙහි මෝහය නැමැති අඳුරු රැස දුරු කරන්නා වූ “ප්‍රඥා” නැමැති පහන දරන්නා වූ පස්මරුන් දිනූ තථාගතයන් වහන්සේ මේ පහනින් පුදමි" යනු අර්ථයයි.

 

 

මෙසේ අර්ථය දැන, එය මෙනෙහි කරමින්ම කර්මඵල දැනගෙන අවබෝධයෙන් කරන පූජාවම නුවණ වැඩෙන පූජාව බවට පත්වේ.

 

මෙසේ සෑම කාර්යයකදීම එය අවබෝධයෙන්ම සිදු කළ යුතුය.

 

දානයක් පූජා කිරීමේදී ද එය අවබෝධයෙන් සකසා සිදු කළ යුතුය. එය අතහැරීමක්ම බව අවබෝධ කරගත යුතුය.

 

සීලය ආරක්ෂා කරද්දී ද සිල් පදයේ අරුත, එය බිඳී යන හේතු, රැක ගැනීමට හැකි උපකාරක හේතු, එහි ආනිශංස හා වටිනාකම අවබෝධ කරගෙනම එය රැකිය යුතුය.

 

වර්තමානයේ දසසිල් සමාදන්වන උපාසක උපාසිකාවන් සිල් සමාදන් වීමට යන්නේද රන් මාල දා , රන් කරාබු ආදියද පලඳාගෙනය. ඒවා තමන් සමාදන්වන සිල් පදවලට විරුද්ධ බව ඔවුහු නොදනිති.

 

එබැවින් ඤාණ විප්පයුත්ත දුර්වල කුසල්ම එම සීලයෙන්ද රැස්කරගනිති. එබැවින් තමන් සිදුකරන ආගමික කටයුතු පිළිබඳව හොඳ අවබෝධයක් ඇතිකර ගැනීමම නිවන් මග වැඩීමට මහඟු උපකාරයක් වේ.

 

අවබෝධයෙන් කුසල් කරන්නට වූ විට ඉක්මනින් නුවණ, ප්‍රඥාව වැඩෙන්නට පටන් ගනී. එනිසා මෙලොවද අවබෝධයෙන් සුවපත් හා සැපවත්භාවයට පත්කරගත හැකිවේ. මරණින් මතු උපතද ඉතාම ප්‍රඥාවන්ත උපතක් හෙවත් තීක්ෂණ නුවණැති උපතක් බවට එනිසා පත්වේ. එවන් උපතක් ලැබීම ඉක්මනින්ම සතර අපා සහිත සංසාර දුකින් මිදී සත්‍යාවබෝධයට පත් වීමට හේතු වාසනා වන්නකි. එබැවින් සියලු බෞද්ධයන් අවබෝධයෙන්ම කුසල් කරත්වා!

නොපමාව සත්‍යාවබෝධයම ලබත්වා!

 

තෙරුවන් සරණයි !

 

අනුශාසනාව

(ත්‍රිපිටකාචාර්ය , ත්‍රිපිටක විශාරද , සද්ධර්ම භාණක , අභිධර්ම භාණක පූජ්‍ය බඩල්ගම විපුලසිරි හිමි .

සිරි උපාලි ධර්මාශ්‍රමය ,

කුඩා කිවුල, කොට්ටුකච්චිය)

 

සම්බන්ධීකරණය - මධුර ප්‍රභාත් ගමගේ