වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පිරිසුදු සිත ඔබව සන්සුන් කරයි
අනුශාසනාව
රාජ්‍ය බෞද්ධ මාධ්‍ය උපදේශක, ශ්‍රී සුදර්ශන ධර්ම නිකේතනාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය
කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ
නිවැරැදිව සිහිය පිහිටුවීමේ ක්‍රමවේදය භාවනාවයි. එය එදා මෙන් අදත් හෙටත් එක සේ සෑම දෙනකුටම තම එදිනෙදා ජිවිතයේදී ප්‍රයෝජනයට ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් ලෙස පවතී. නිවැරැදිව සිහිය පිහිටුවීම හෙවත් සම්මා සතිය, පෙරදිග මෙන්ම අපරදිග ජනයාටත් ජීවිත කැළඹුම් මධ්‍යයේ ලෞකික ජීවිත ගත කරන්නන්ට නිසල කුටි තුළ වසන පැවිදි උතුමන්හටත් ප්‍රයෝජනයට ගත හැකියි.
සම්මා සතිය මහත් ආශිර්වාදයකි
නිවැරැදිව සිතීමටත්, නිවැරැදිව ජීවත්වීමටත් සම්මා සතිය අත්‍යවශ්‍ය පදනමකි. බෞද්ධයන්ට පමණක් නොව, පාලනය කර ගැනීමට අසීරු වූ මෙම මනසෙහි සැඟවී ඇති ශක්තිය සහ සතුට වර්ධනය කර ගැනීමට උනන්දු වන සැමට ද සම්මා සතිය ඉතාමත් ප්රයෝජනවත්ය.
පින්වතුනි සිත් තැවුලෙන් හා කනස්සල්ලෙන් අත්මිදීමට ද කායික හා මානසික දුක් දොම්නස් නැතිකර ගැනීමට ද භාවනාව ඔසුවකි. ඔබ අප සෑම දෙනාම ප්‍රාර්ථනා කරන්නේ මෙය නොවේද? දුක් විඳීම සෑම දෙනාටම පොදු වූ අත්දැකීමකි. එම නිසා මෙම දුක් වේදනා මුළුමනින්ම ජයග්‍රහණය කිරීමේ ක්‍රමය පොදුවේ සෑම කෙනකුටම අදාළ වේ. සිහිය පිහිටුවීමේ ප්‍රථම පියවරෙහි සිටම, මිනිසා තළාපෙළන දුක් වේදනා සාර්ථකව ඉවත්කර දැමිය හැකියි. මෙලෙස මානසික වර්ධනය සඳහා ලැබෙන අනුබලයට අමතරව, සිහිය දියුණු කිරීමෙන් උදාවෙන සිතෙහි සතුට සහ සැනසුම සෑම කෙනෙකුටම ඉතා වැදගත්ය.
නිස්සාරතාව අවබෝධකර ගන්න
සිහිය පිහිටුවීමේ සැබෑ පරමාර්ථය වන්නේ දුකෙන් මිදීමයි. මෙය ඉටුකර ගැනීම සඳහා ඇති එකම සෘජු මාර්ගය භාවනාවයි.
පින්වත්නි, දැන් දැන් ඔබ තුළ ඇත්තේ භාවනාව ගැන පුදුමාකාර උනන්දුවකි. රටේ ඇතිවූ ස්වාභාවික ව්‍යසන හා අනෙකුත් කරුණු කාරණා ඇසුරෙන් වැඩි පිරිසක් ජීවිතය පිළිබඳ අවබෝධය ලැබීය. ජීවිතයේ නිස්සාරතාව සහ අනිත්‍යතාව පසක් කර ගත්හ.
එහෙත් ඇතැම්හු ධ්‍යාන වැඩිම, මාර්ගඵල සඳහා වෙහෙසීම සහ බ්‍රහ්ම චරියාව යන දේ පැවිද්දන්ටම අයත් පැවිද්දන් විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් හැටියට සලකති. එසේ කල්පනා කර සිත දියුණු කිරීමට කිසිවක් නොකොට කා බී ජීවත්ව මිය පරලොව යති. පරලොව ඇති දුක ඒ කිසිවකුට නොපෙනේ.
සසරෙහි බියකරු බව දත් බුදුහු මාර්ගඵල ලැබීමේ ප්‍රතිපදාව ද මාර්ග බ්‍රහ්ම චර්යාව ද ගිහි පැවිදි දෙපක්ෂයටම අනුදැන වදාළහ.
කෙලෙස් දවා, සිත සන්සුන්කර ගන්න
පින්වතුනි, මිනිසාගේ සිත අපූර්ව ජනකය. ඔහුට උත්තරීතර වීමට මෙන්ම පරිහානිය ද ළඟාකර දෙන්නේ ඔහුගේ සිතමය. එබැවින් සිත යහපතෙහි පිහිටුවාලිය යුතුය. සිත පුහුණු කළ යුතුය. කෙලෙස් දවා තම සිත සන්සුන්කර ගැනීමට භාවනා කළ යුතුය. මේ ආකාරයෙන් සකසා ගන්නා සිත ප්‍රභාස්වරය. රැවටීමට ගොදුරු නොවේ. සත්‍ය වශයෙන්ම අකලංකය. නිර්මලය. සාමකාමීය. භාවනා කර පුහුණු කරගත් සිත් ඇත්තා නුවණැත්තෙකි. ඔහු සාමයට ළැදිය. එහෙත් චංචල සිතක් ඇත්තා ගැටීම්වලට යොමුවන්නෙකි. රැවටීම්වලට හසුවේ.
චංචල සිත ඇත්තාට ජීවත්වීම හරිම අපහසුයි
ඔහුට විවිධ ස්වරූප ආරූඪ වේ. එසේම භාවනාවට හුරු පුද්ගලයාට මෙන් නොව මොහුට පාලනය කර ගත නොහැකි හැඟීම් මතු වේ. ඔහුට ආදරය ඇති වෙයි. ශෝකය ඇතිවෙයි. දුක ඇති වෙයි. කම්පාව ඇතිවෙයි. එසේම ක්‍රෝධය, භය, මානය, අලසකම ඇතිවෙයි. වීර්රයයෙන් හා අධිෂ්ඨානයෙන් තොර වෙයි. ඔහුගේ සන්තානයෙහි සැකය, සංකාව වර්ධනය වෙයි. එසේම ගැටීම් ඇතිකර ගනී.
නුවණැත්තාගේ සිත නිශ්චලය
සිත පුහුණු කළ නුවණැති පුද්ගලයා කෙරෙහි බලපවත්වන්නේ මෝඩයාගේ සිතෙහි පවතින ස්වභාවයන්ට බෙහෙවින්ම වෙනස් වූ ස්වභාවයකි. ස්වරූපයකි. කටයුතු කරන්නේ බුද්ධිමත් ආකාරයෙනි. ඔහු වෙත යොමු වන හැම දෙයක් කෙරෙහිම ඔහු විමසිලිමත් වෙයි. නමුත් සාමකාමීයි. හැඟීම්බර නොවේ. හැඟීම්බර වුවද ඒ පිළිබඳ විමර්ශනශීලී වෙයි. හොඳ නරක තෝරා බේරා ගැනීමට ඔහු උත්සාහ දරයි. හෙතෙම අධිෂ්ඨාන ශක්තියෙන් යුක්තයි. එබැවින් නුවණැති පුද්ගලයාගේ සිතෙහි කිසියම් නිශ්චල ස්වභාවයක් දක්නට ලැබේ. භාවනාවට යොමුවූ මොහුගේ සිත පවිත්‍රය. සැබෑ සත්‍යවාදීය.
පින්වතුනි, රටේ - ලෝකයේ අනාගතය ඔබේ දුව හෝ පුතායි. සිත පිළිබඳ අවබෝධය ළමයාට කුඩා අවධියේ පටන්ම ලබාදීම වටී. එමඟින් එක්තරා ශික්ෂණයකට යොමු වේ. දරුවාගේ සිතට විසබීජ ඇතුළත් නොවීම පිළිබඳ මූලික වගකීම ආදරණිය මවුපියන් සතුය.
කුඩා වියේ සිටම දුවට, පුතාට යහපත් වචන කතා කිරීමට, ඇසීමට සැලසෙන්නේ නම් ඔහු යහපත් වචන කියයි. අවිහිංසාව පුරුදු කරන්නේ නම්, කිසිම විටෙකත් දරුවා සත්ත්ව හිංසකයකු නොවේ. මවුපියන් අන්සතු දේ සොරකම් නොකරන්නේ නම් ළමයා තුළද එම යහපත පිහිටයි. වැඩිහිටියන් බොරු, කේළාම්, පරුෂ වචන සහ හිස් වචන කතා නොකරයි නම් ළමයා ද එලෙසින් යහපත් වචන කතා කරයි.
වැඩිහිටියන් සුරාව ප්‍රතික්ෂේප කරන්නේ නම් දරුවාට ද එම ආභාසය ලැබෙන්නේය.
පිරිසුදු සිත ඔබ සන්සුන් කරයි
මේ නිසා විශේෂයෙන්ම මවුපියන් තම දරුවන්ට කුඩා කල සිටම, ඔවුන්ගේ සිත අපිරිසුදු කර ගැනීමට අවකාශ නො ලැබෙන පරිදි කටයුතු කළ යුතුයි. කිසියම් ශික්ෂණයක් ඔවුන් තුළ ඇති කිරීමට පියවර ගත යුතුය. එසේම එම ශික්ෂණය තමන් තුළ ද වර්ධනය කර ගැනීමට උත්සාහ ගන්නේ නම් කුඩා දරුවන්ගේ හිත හැසිරවීමට හැකියාව ලැබේ. පුද්ගලයකු යහපත් අයකු බවට පත්කරන්නේ චරිත ශික්ෂණයෙන් හා හිත හැසිරවීමෙනි. එබැවින් පුද්ගලයා යහපත් කෙනකු බවට පත්කරන්නේ පිරිසුදු සිතයි. ඔහු අයහපත් කෙනකු බවට පත්කරන්නේ අපිරිසුදු සිත මඟිනි. උත්පත්තියෙන් හිමි ප්‍රභාස්වර සිත මරණය දක්වාම ගෙන යා හැකි නම් ඔබේ ජීවිතය යහපත් එකකි. පින්වතුනි, ඔබ සිදු කළ යුත්තේ වැරැදි මාර්ගයට යන සිත යහපතට යොමුකර ගැනීමයි. මේ සඳහා ලොකු කුඩා කොයි කාටත් භාවනාව කදිම ඔසුවකි.