අදෘශ්‍යමාන බලවේග පසුපස ගොස් මුලා නොවන්න

පෙබරවාරි 26, 2020

“මනුස්සානං පියෝහෝති දේවතානං රක්ඛන්ති” දයාව, කරුණාව, මෛත්‍රිය වැනි ගුණාංග ඇති මිනිසුන්ට දෙවියොත් ආශීර්වාද කරන බව මින් කියැවේ. එසේ නම් එහි අනෙක් පැතිකඩ ද පැහැදිලියි.

දයාව, කරුණාව, මෛත්‍රිය නැති මිනිසුන්ට ඒ අදෘශ්‍යමාන බලය ආශීර්වාදයක් ලෙස නොලැබේ. එතැනදී ඔවුන්ට ලැබෙන්නේ හිරිහැර, කරදර, බාධාවන්ය. නොදැනීම මේ අදෘශ්‍යමාන බලවේග විශාල ගැටලුවලට පරිවර්තනය වීමක් සිදුවේ. බුදු දහමට අනුව පුනර්භවයක් අපි පිළිගනු ලබන්නෙමු.

මරණින් පසුව අපේ ජීවිතය වෙනත් ස්ථානයක විඤ්ඤාානය වන බව මරණාසන්නයේ දී සිහිගැන්වෙන චුති සිත මෙයට ප්‍රබල සාධකයකි. මැරෙන මොහොතේ ඇතිවන උදාර සිතිවිල්ල හෝ ඇතිවන පව්කාරී සිතිවිල්ල අනුව උප්පත්තිය තීරණය කෙරේ.

ලැබුවාවූ ජීවිතයේ දී පින්දහම් කරගනිමින් ජීවත්වූවා නම් අප මැරෙන මොහොතේ ගුණාත්මක සිතිවිල්ලක් ඇති වේ. එනම් චුති සිත යහපත්ය. එහි ප්‍රතිඵලය ලෙසින් නැවත වරක් මිනිසත් භවයක උප්පත්තියක් හිමිවන්නට වාසනා මහිමය බලපායි. නැතිනම් දෙවියෙක් හෝ වෙනත් ඉහළ භවයක උපත ලබන්නට හැකි වේ. එහෙම නැතිව මියැදෙන මොහොතේ ලෝභය, ද්වේෂය, මෝහය වගේ අකුසල් මතුවී අතහැර යන්න බැරිකමක් වූයේ නම් එය බොහෝ අභාග්‍ය සම්පන්නයි. තමන්ගේ අඹු දරුවන් පිළිබඳ, සමාජය පිළිබඳ හෝ කිසියම් සිතිවිල්ලක් කෙරෙහි රාගික හැඟීමක් විශේෂයෙන් තමන්ගේ භාර්යාව පිළිබඳ, සැමියා පිළිබඳ අනේ මම මේ කෙනාව අතහැර දා යන්නේ කොහොමද සිතමින් සිටියහොත් ප්‍රතිඵලය හරිම භයානකයි. ඒ චිත්ත ධාරාව ඇතුළු වීමත් සමඟින් ම අපේ අවසන් හුස්ම ගියොත් නැවතත් යහපත් උපතක් ගැන නම් සිතිය නොහැකියි.

“දිවාච රත්තෝච හරන්තියේ බලිං..” දිවා රාත්‍රී දෙකෙහිම දෙවියන්ට පින්දිය යුතු බව බුද්ධ දේශනයයි. අප වෙසෙන සෑම නිවෙසකම පෙරේත බැල්මක්. අදෘශ්‍යමාන බලවේග තිබේ. එහෙම කියන්නට හේතුව මේ ඉඩකඩම් තුළ අවුරුදු දස දහස් ගණනකට එහා සිට ජීවත්ව මියැදුණ අය සිටී. මියගිය මොහොතේ දී දැඩි තෘෂ්ණාවෙන් මියගියේ නම් අතහැර යාමට නොහැකි තත්ත්වයක් පැන නඟී. ඒ පව හේතුවෙන් ප්‍රේත ආත්ම ලැබගන්නටත් පුළුවන්. පින්වත්නි, පෙර තමන් ජීවත්වෙලා සිටිය ඉඩකඩම් ගේදොරවල්වල අරක්ගෙන සිටින්නේ එසේ උප්පත්ති ලැබූ අයයි.

ඔවුන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් බැල්ම හෙළනවා. එවන් සිද්ධීන් ඔබ ඕනෑ තරම් අසා දැක ඇති. එවැනි බලපෑම්වලට යටත්ව සමහරු තමන්ගේ ගෙවල් දොරවල් හරිහැටි අතුපතු ගා පිරිසුදු කර නොගනී. බුදුන් වඳින්නේ ද නැත. මෙවැනි සිද්ධියකදී අදෘශ්‍යමාන බලවේගය බොහොම ශක්තිමත්. ඔවුන්ට අපේ ජීවිත අවුල් කරන්නට හැකියි. මේ කාරණාව මැනවින් අවබෝධකර ගත යුතුයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව අපේ ගෙදර ඉතාමත් පිරිසුදුව පන්සලක් සේ තබාගත යුතුයි. බෞද්ධයන් බුද්ධ ප්‍රතිමා වහන්සේට උදේ හවස මල්, පහන්. පැන් තබා වන්දනා කළ යුතු වෙනවා. එතැනදී මිය ගිය ඥාතීන්ට හා සම්‍යක් දෘෂ්ඨික දේවතාවුන්ට පින් අනුමෝදන් කළයුතු වෙනවා.

නිවෙසේ පරිසරය ලස්සන වෙනකොට දෙවියොත් තම ශක්තිය, කිරණ එම නිවැසියන්ටත්, පවුලේ අයටත් විදහාපානු ලබයි. එවිට ගෙදර දියුණුව ඇති වේ. ජීවිත බබළවන්නට අදෘශ්‍යමාන ශක්තීන් හේතු වේ.

යමෙක් ගේ දොර වටපිටාව අපිරිසුදුව තබා ගුණධර්මවලින් තොරව ජීවත්වන්නේ නම් ද පාරිශුද්ධත්වයෙන් තොරව ජීවත්වන්නේ නම් අර පහත් භූත ආත්මවල බැල්ම ලැබී විකෘති මිනිසුන් බවට පත්වේ.

එවන් අය ඇතැම් විට ශාස්ත්‍ර අහන්නට යොමු වේ. කොඩිවින, අණ විනවලට යොමු වේ. මේ මිථ්‍යා පසුපස හඹා ගියොත් ඔබගේ ජීවිතය පරිහානියට පත්වනු නිසැකයි. බුදු කෙනකුට, රහතන් වහන්සේ කෙනකුට හැර අදෘශ්‍යමාන බලවේග ගැන කිසිවකුට කිව නොහැකියි. ඒ නිසා ඔබ ශාස්ත්‍ර ඇහීම, කේන්ද්‍ර පරීක්ෂාවට, යන්ත්‍ර මන්ත්‍ර දැමීම, කොඩිවින කැපීම පසුපස නොවෙයි. මිත්‍යාවෙන් මිදෙන්න අවබෝධයක් ලැබිය යුතුයි. බුදු දහම මේ සියලුම මිථ්‍යාවන් ප්‍රතික්ෂේප කරනු ලබනවා.

පින්වතුනි, බුදු දහමට අනුව දෙවියන්ගේ බැල්ම ලැබීමටත්, ප්‍රේත භූත බැල්මෙන් අත්මිදීමටත් නිරතුරුවම ඔබ ගුණවතෙක් විය යුතුයි.

“කායේන සංවරෝ සාධූ....

මනසා සංවරෝ සාධු....”

ඔබ කයෙන්, වචනයෙන් සංවර විය යුතුය. ඔබේ අතපය ඇත්තේ අනෙකාට අයහපතක් කිරීමට නොව. මෙහෙවරක් කිරීමටයි. මේ මිහිතලය මත අනුන්ගෙන් යැපෙන මනුෂ්‍යයකු නොවී අනුන්ට සේවයක් කරන්නකු වන්න. ඔබ ගුණවතකුම වන්න. වචනවලින් ද සිල්වත් වන්න. වෛරීසහගත වචන, මිථ්‍යාව, කේලාම් ආදියෙන් ඈත්වන්න. මේවා ළඟ ඇත්තාට ද අනර්ථයක්ම සිදු වේ. ඔබ ගුණවන්තයකු වූ කළ දෙවියන්ගේ බැල්ම පවා නොඅඩුවම ලැබේ.

නිරතුරුවම සුවඳ හමන මලක් සේ ජීවත් විය යුතුයි.

පින්වතුනි, අනෙක් වැදගත්ම කරුණ නම් අපගේ මනස සංවර කර ගැනීමයි. විශේෂයෙන් මානව දයාව ඔබ සතු විය යුතුයි. මනස නිරන්තරයෙන්ම අනුන්ට නින්දා අපහාස කරන මානසිකත්වයෙන් මුදවා ගත යුතුයි. ඔබ නොදැනුවත්කමින් හෝ මේ ජීවිතයේ දී ද්වේශ සහගතව ක්‍රියා කළහොත් ජීවිතය බරපතළ ආගාධයකට යන බව නියතයි. සිත, කය, වචනය මේ තුන්දොර තැන්පත් කරගතහොත් ඔබට දෙවියන්ගේ පිහිට, දේව ආශීර්වාදය ලැබේ. එසේ නොකළහොත් මිය ගිය අයගේ ප්‍රේත බැල්ම ඔබ අවට සැරිසරනු ඇත. ඔවුන් ඔබගේ ජීවිත අවුල් කරනු ඇත.

විශේෂයෙන් ආරූඪ වී ශාස්ත්‍ර කියන අයගේ ඇඟට ආවේස වී ඇත්තේ ප්‍රේතයන්. ඒ කිසිම කෙනකුට අනුන්ගේ සිත්වල තියෙන දෙයක් කියන්නට බැහැ. ඔබ යන්නේ යම් පුද්ගලයෙක්ගෙන් ඔබේ ගැටලුව ගැන විනිවිද දැකීමටයි. එහෙත් එම තැනැත්තාට නොවෙයි අර අදෘශ්‍යමාන බලවේගය (ප්‍රේතයා) විසින් බොරු කියන්නේ. ගෙදර කොඩිවින තියෙනවා වැනි මිථ්‍යාව පතුරයි. එවැන්නක් වෙත යන පුද්ගලයන් විපතෙන් විපතට පත්වේ. ඒ වගේම පින්වත් ඔබ මතක තියාගන්න දෙවිවරු කිසිවකුගේ සිරුරට ආරූඪ වන්නේත් නැති බව.

බුදු රජාණන් වහන්සේ දෙවියන්ට බණ දේශනා කළේ මැදියම් කිස රෑ දොළහෙන් පසුවයි. දෙවි දේවතාවුන් වහන්සේලා බොහොම පාරිශුද්ධියට කැමැතියි. හරිම නිශ්ශබ්ද පිරිසක්. එබැවින් ඔවුන් බැල්ම හෙළනුයේ බොහොම පාරිශුද්ධ අයට පමණි. එබැවින් එකිනෙකාගේ ඇඟට ආරූඪ වන්නට දෙවිවරු සම්බන්ධ වන්නේ නැත.

දැන් ඔබ හොඳින් කල්පනාකර බලන්න. ඔබේ ජීවිතය සාර්ථක කරගන්නට දෙවියන් සම්බන්ධ කරගැනීම හරිම පහසුයි. ඒ සඳහා ඔබ කළයුත්තේ ගේ දොර පිරිසුදු කර අලංකාරයට මල් වවා එළවළු පලතුරු වගාකරමින් සශ්‍රීකව වත්ත පිටිය තබා ගැනීමයි.

රාත්‍රියට නින්දට පෙර උයන පිහන හැළි වළං පවිත්‍ර කරන්න. විශේෂයෙන් වැසිකිළි කැසිකිළි ආදිය ඉතාම පිරිසුදුව තබාගත යුතුයි.

අද නක්ෂත්‍රය නොදත් පිරිස එම ක්ෂේත්‍රයට ඇවිත් එවන් වටිනා ශාස්ත්‍රයක් බයාදු කර තිබේ. ගෙයක් පරීක්ෂා කරන්නට ඇවිත් අර ජනේලෙ කඩන්න. මේ දොර අයින් කරන්න උපදෙස් ලබා දේ.

දේව පාදය, බ්‍රහ්ම පාදය, ප්‍රේත පාදය යැයි පාද තුනකි. හිරු රැස් හොඳට වැටෙන පැත්ත බ්‍රහ්ම පාදයයි.

තරමක් අඩුවෙන් හුළං එන හිරු රැස් තරමක් වැටෙන පැත්ත දේව පාදයයි. අද බොහෝ නිවෙස් ප්‍රේත පාදයටයි හසුවී ඇත්තේ. අව්ව නැති සුළඟ නැති පර්චස් 8-10 පුංචි ඉඩමක ඔබ සිරවී ඇත. මේ ඉඩකඩ බොහොම පිරිසුදුව රමණීයව තබාගන්නේ නම් ප්‍රේත පාදයෙන් පහසුවෙන්ම අත්මිදිය හැකියි. ප්‍රේතයන් භූතයන් ඔබගේ නිවෙසින් ඈත්වී ඔබට සොබා දහමින් මහා ආශීර්වාදයක් හිමි වේ. එවිට අදෘශ්‍යමාන බලවේග ද ඔබෙන් ඈත්වනු ඇත. එමඟින් ඔබව ආරක්ෂා වේ.

පින්වත් ඔබ නිරතුරුව බුදු ගුණ සිහි කරන්න. අදෘශ්‍යමාන බලවේග පසුපස යෑම මුලාවක් බව අවබෝධ කරගන්න. එවිට බුදු ගුණවලින් ඔබට මහා ශක්තියක්, ආශීර්වාදයක් නිරතුරුවම ලැබේ.

අනුශාසනාව කතරගම ශ්‍රී අභිනවාරාමය මහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති පූජ්‍ය

කපුගම සරණතිස්ස නාහිමි

සම්බන්ධීකරණය-  උපාලි ජයරත්න