වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
කල්‍යාණ මිතුරු ඇසුර හුස්ම තරමට ම ආදරණීයයි
මේ ලෝකයේ කිසිවකුට, කිසිදා තනිව ජීවත්විය නොහැකියි. ඉදිරියට යාමට, ජීවිතය යහමඟට ගෙන යාමට ශක්තිමත් අත්වැලක් තිබීම අවශ්‍යයි.
පින්වතුනි, බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන කල්හි කොසොල් රජතුමාටත් මේ ප්රශ්නය මතුවුණා. එනම් “කිසිවකුට තනිව ජීවත් වෙන්නට බැහැ. යහපත් කල්‍යාණ මිත්‍රයන් අවශ්‍යයි. කෙනෙක් කොහොමද ඇසුරට සැබෑ මිතුරකු සොයා ගන්නේ” යනුවෙන්. එයට පිළිතුරු වශයෙන් බුදුරදුන් කොසොල් රජතුමන් හමුවේ දේශනා කළේ කෝසල සංයුක්තයේ එන ‘කල්‍යාණමිත්ත සූත්‍රයයි.’
එයින් කියැවෙනුයේ මේ මුළු මහත් ලෝකයම රඳාපවතිනුයේ කල්‍යාණ මිත්‍රතාව මත බවයි.
කල්‍යාණ මිත්‍රත්වය මත ශාසන බ්‍රහ්මචරියාව පවතී. එපමණක් නොව ඒ මත ආර්ය අෂ්ටාංගික මාර්ගය පවතී. මේ මුළු මහත් බුද්ධ ශාසනයත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමත් යන දෙකම පවතින්නේ මිත්‍රත්වය මතයි.
ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇසුරු කරන්නා විවේකය ඇසුරු කරයි. සම්මා දිට්ඨියෙන් පසුවෙයි.
පින්වතුනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැබෑම කල්‍යාණ මිත්‍රයෙක්. වරෙක උන්වහන්සේ ආනන්ද හිමියනට මෙසේ පැවසූහ.
“ආනන්ද, කල්‍යාණ මිත්‍ර වූ මා නිසාම ඉපදීම ස්වභාව කොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් මිදුණා. දිරීම ජරාවට පත්වීම ස්වභාවය කොට ඇති සත්ත්වයෝ ජරාවෙන් මිදුණා. මරණය ස්වභාවය කොටගත් සත්ත්වයෝ මරණයෙන් මිදුණා” කල්‍යාණ මිත්‍ර ඇසුරින් දුක් සෝකයෙන් මිදිය හැකි බව මෙලෙස උන්වහන්සේ පැහැදිලි කර තිබේ.
බුදුන් වහන්සේ කිසිදා පුද්ගලයා කවුද ? ජාතිය මොකක්ද? පළාත කොහේ ද? මේ කිසිවක් බැලුවේ නැත. උදවු උපකාරය අවැසි තැන අනෙකාට පිහිට වූහ. එබැවින් අපි සමාජයේ ජීවත්වන විට උන්වහන්සේ ආදර්ශයට ගෙන උන්වහන්සේ අනුගමනය කළ කල්‍යාණ මිත්‍රත්වයේ ස්වභාවය තේරුම් ගෙන ගුණ දම් වැඩිය යුතුයි. ඔබ හා ඔබ අවට සමාජය සොඳුරු තැනක් වන්නේ එවිටයි.
මිත්‍ර ස්වරූප
1. පානසක මිත්‍රයා
මත්පැන් බොන තැන පමණක් මිත්‍රත්වය ප්‍රකාශ කරන තැනැත්තා. ඔහුගේ මිත්‍රත්වය සීමාවන්නේ තැබෑරුමට පමණි.
2. සම්මිය සම්මිය මිත්‍රයා
මිතුරා ඉදිරිපිට පමණක් බොරුවට මිතුරා මිතුරා කියමින් බොරු මිතුරුකමක් පෙන්වන්නා. නමුත් ඉන් ඉදිරියට ඔහුගේ මිතුරුකමක් පවතින්නේ නැහැ.
3. වැඩෙහි යහළු බව හඟවන මිත්‍රයා
තමන්ට වැඩක් කරගන්නට ඇතිවිට පමණක් මිතුරුකම ප්‍රකාශකොට එම වැඩය කරගන්නට උත්සාහ කරනවා. ඒ වැඩය අවසන් වූ පසු දකින්නවත් ලැබෙන්නේ නැත.
4. උපකාරක මිත්‍රයා
ඔහු හොඳ මිතුරෙකි. මිතුරාගේ වැඩ ටික පවා කරදෙයි. බියක් පැමිණි විට ඔහු ආරක්ෂාව සපයා දෙයි. මෙවැනි මිතුරකු ඇසුරට ගැනීමට තිබේ නම් හරි හොඳයි.
5. සමාන සුඛ දුක්ඛ මිත්‍රයා
තමාගේ රහස් මොහු යහළුවාට කියනවා. යාළුවාගේ රහස් ආරක්ෂා කරයි. විපතේදී පිහිට වෙනවා. සමහර විට යහළුවාව බේරගන්න තමන්ගේ ජීවිතය දෙන්නට වුවහොත් ජීවිතයත් පුදනවා. දුක සැප දෙකේදී සමානව වැඩ කරන එක ඔහුගේ ස්වරූපයයි.
5. අත්ථක්ඛායි මිත්‍රයා
නිතරම තමන්ගේ යහළුවා පාපයෙන් දුරස් කරන්නට උත්සාහ ගනී. යහපත් දෙයෙහි යොදවන්න උත්සාහ ගනී. හොඳ තැනකට යන්න මාර්ගය කියා දෙයි.
7. අනුකම්පක මිත්‍රයා
යහළුවාගේ පරිහානිය දැනිලා දුක්වන මිතුරා අනේ මගේ මිත්‍රයා කොයිතරම් හොඳට සිටියා ද? අනේ දැන් ඔහු බලන්න කොයිතරම් දුර්වල වෙලාද කියා එයාගේ හිතේ දැඩි දුකක් වේදනාවක් ඇති වෙනවා. යහළුවාගේ දියුණුවට සුබ පතනවා. යහළුවාට කවරකු හෝ දොන් කියනවා නම් ඔහු ඊට විරුද්ධව මේ වැරැදි මගේ මිතුරා ළඟ නැහැ කියලා මිතුරාව ආරක්ෂා කරනවා. හොඳ කියන විට ඔහු ද ඊට එකඟ වෙනවා.
පින්වතුනි, කෙනෙක් හඳුනා ගැනීම හරිම අමාරුයි. මොකද සතෙක් දිහා බලලා, ගහක් දිහා බලලා අපට ස්වරූපය කියන්න පුළුවන්. එහෙත් මිනිසාගේ ස්වරූපය හොයාගන්න හරිම අපහසුයි. එතැනදී අප මිනිසුන් හඳුනා ගන්න ක්‍රම දැනගත් විට තරමක් හෝ යහපත් සබඳතාවක් ගොඩනඟා ගත හැකියි.
මිතුරකු සේ සිටිනා මිත්‍ර ප්රතිරූපකයන්
1. අඤ්ඤාදත්ථූහර මිතුරා
වෙනත් කෙනකු දුන් එකක් අරගෙන එනවා. ස්වල්පයක් ගෙනැත් දී බොහෝ රැගෙන යයි. බියක්, තැති ගැනීමක් ආවිට හෙමින් සැරේ ලිස්සා ගොස් සොයාගන්නත් නොමැති වේ.
2. වචීපරම මිතුරා
අතීතයෙන් මොහු කතා කරයි. අනාගතයේ සංග්‍රහ කරයි. නැති බැරිකම් කියාපායි. මම හරි අමාරුවෙන් ඉන්නේ. මට කිසි දෙයක් කරගන්න බැහැ ආදී වශයෙන් නිතර කියයි.
3. අනුප්පියභාත්රී මිතුරා
හොඳ නරක දෙකම අනුමත කරනවා. ආඳා වගේ ලිස්සා යයි. ඉන්න තැන හොඳ කියන අතර නැති තැන දොස් පවසයි.
4. අපාය සහාය මිතුරා
වැරැදි දෙයට නිතර එකතු වන, වැරැදි දෙයට යොමු කරන මිතුරා, නිතර රස්තියාදු ගහන කාලය කා දමන්නට පොළඹවනු ලබන මිතුරා මොහුයි.
මෙම නරක, අයහපත් මිතුරන් නුවණ ඇති ඔබ ඉතා මැනැවින් හඳුනාගත යුතුයි. නරක මිතුරන් හමුවේ නම් ඔවුන්ගෙන් දුරස්ව සිටීමට ඔබ ඉක්මන් විය යුතුයි. පාප මිත්‍ර සේවනයේ ආදීනව බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ ඔබේ යහපත උදෙසායි.
පින්වතුනි, මිතුරුකමට මේ ලොව කළ නොහැකි දෙයක් නැත. එබැවින් සැබෑ මිතුªරකු සොයාගන්න. ඒ මිතුරාත්, මිත්‍රත්වයත් ආරක්ෂා කරගන්න. වැටුණු ජීවිතයක් යළි පණ ගැන්විය හැකි දිව ඔසුවක් කල්‍යාණ මිත්රතාවය.
රටක් පවතින්නේත්, ඉදිරියට යන්නේත් මිතුරුකම මතයි. මිතුරු වේශයට කළ නොහැකි දෙයක් නැත්තේ එබැවිනි. සැබෑ මිතුරකු, කල්‍යාණ මිතුරකු හමුවීමත් වාසනාවක්.
අනුශාසනාව
සියනෑ හාපිටිගම් දෙකෝරලේ ප්‍රධාන සංඝනායක, මහලේගොඩ විද්‍යාලයේ විදුහල්පති, රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති ශාස්ත්‍රපති,
පූජ්‍ය රදාවඩුන්නේ ශාන්ත අමරනන්ද ස්වාමීන් වහන්සේ