වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ජීවිතයේ වටිනාම මොහොත මරණාසන්න අවස්ථාවයි
සැබැවින්ම මිනිස් ජීවිතය පවතින්නේ ඉතා කෙටි කාලයකි. වසර සියයකට වඩා ජීවත්වන අයෙක් සොයා ගැනීමත් දුර්ලභය. එසේ සිටියත් ජරාවෙන් ඉතා දුකට පත්වී ඔවුන් මරණය කරා යන්නේය.
පින්වතුනි, මරණය යනු ජාති, කුල, ආගම්, වර්ණ භේදයකින් තොරව උපන්නාවූ සෑම සත්ත්වයෙක් කරාම පැමිණෙන ලෝක ධර්මතාවකි.
‘සබ්බේ භායන්ති මච්චුනෝ’ සියලු සත්ත්වයන් මරණයට බියය.
මරණය ඉදිරියේ ධර්මය අවබෝධ නොකළ සෑම මිනිසෙක්ම තම ගෙවල් දොරවල්, ඉඩකඩම්, මිලමුදල් ආදී සැප සම්පත් අතහැරගත නොහැකිව අසරණභාවයට පත්වෙති.
මරණය ඉදිරියේ තම දූ දරුවන්, ඥාති හිතමිත්‍රාදීන් අතහැර ගත නොහැකිව අසරණභාවයට පත්වෙති.
සිල් ගුණදහම් ආරක්ෂා නොකළ, දුස්සීල ජීවිත ගතකරන බොහෝ දෙනා කළ අකුසල් සිහිවීම මත මරණය ඉදිරියේ අසරණභාවයට පත්වෙති. එමෙන්ම මරණාසන්න පුද්ගලයකුට ඇතිවන කායික වේදනාවත්, මරණ බියත්, පි‍්‍රයයන්ගෙන් වෙන්වීමේ දුකත් සමඟ ඇතිවන දැඩි මානසික පීඩනය මත ඔවුහු තව තවත් අන්ත අසරණභාවයට පත්වෙති.
පින්වතුනි, මරණය කියන්නේ උපතත් සමඟම අපි අරගෙන එන උරුමයක්.
‘යං කිඤ්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං ති’ හටගත් සියල්ලට පොදු ධර්මතාවය විනාශ වීම, නැතිවීම හෙවත් මරණයයි.
ඔබ අහස දක්වා උඩු මහල් ප්‍රාසාදයකට වී සිටියත් අහස් යානාවකට වී සිටියත්, මාරයා හෙවත් මරණයෙන් ගැලවීමක් නොවේ. එසේම මුහුද මැදට වී සිටියත්, නැව් ආදී ආරක්ෂිත ස්ථානයක සැඟවූවත් මරණයට මුහුණ දීමට සිදුවේ. ඔබ පර්වත හා කඳු මුදුන්වල තනාගත් විවරයක් හෙවත් ගල්ගුහාවකට වී සිටියත් මාරයාගෙන් ගැලවීමක් නැත.
එහෙත් පින්වතුනි, මරණය ඉදිරියේ අසරණ නොවන පුද්ගලයෝද වෙති. ඒ ධර්මය අවබෝධ කළ උතුමන් පමණි.
එබැවින් ඔබ ද මරණය ඉදිරියේ අසරණ නොවීමට නම් අප්‍රමාදීව ශ්‍රද්ධාව දියුණු කළ යුතුයි. අප්‍රමාදීව සිල් ගුණදහම් ආරක්ෂා කළ යුතුයි. අප්‍රමාදීව දහම් දැනුම වර්ධනය කරගත යුතුයි. මරණය ඉදිරියේ අසරණ නොවීමට නම් හේතූන් නිසා හටගත් අනිත්‍ය වූ, දුක් වූ, අනාත්ම වූ මමය, මාගේය, මාගේ ආත්මය වශයෙන් පිළිගත නොහැකි ලෝක ධර්මතාව වටහා ගත යුතු වේ. ඔබ ප්‍රඥාව දියුණු කිරීම තුළින් අවිද්‍යාවත්, තණ්හාවත් ප්රහාණය කළ යුතු වෙයි.
බුදුරදුන් දේශනා කළ රැකවරණය
මරණය නමැති අනතුර ඉදිරියේ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන රැකවරණය ඔබ හොඳින් පැහැදිලි කරගත යුතුයි. ඔබ අප කවුරුත් පින් දහම් රැස් කරනු ලබනවා. පින තුළින් ජීවිතයට සැප විපාක ළඟා කරවනු ඇත. නමුත් ඒ පින ගෙවිලා අවසන් වී තිබේ. ඒ විතරක් නොවේ මාර්ගඵල අවබෝධයක් නොලබා කෙනෙක් මේ ජීවිතය තුළ කොයිතරම් පින් දහම් කරමින් ජීවත් වුණත් පෙර අකුසල විපාකයක් මරණාසන්න මොහොතේ මතුවීම නිසා නිරයේ උපත කරා යා හැකියි. එයින් තිරිසන් ලෝකවල, ප්‍රේත ලෝකවල වුව උපත ලබයි. එනම් කුසල් මැඩලන අකුසල් මතුවීමයි. ඉතින් පින්වතුනි, ඔබට දැන් තේරුම් යාවි අවසාන වටිනාම මොහොත මරණාසන්න මොහොත බව.
මරණය ඉදිරියේ අසරණ නොවී මියයන්න
මරණාසන්න මොහොතේ ධර්මය තුළ හිත පිහිටුවාගෙන මරණය ඉදිරියේ අසරණ නොවී මියයන්න පුළුවන් නම් එය අතිශය වටී.
සැබෑවටම අපේ ජීවිතයේ වැදගත්ම මොහොත උපන් වේලාව නොවෙයි. අනෙකුත් විශේෂ අවස්ථාත් නොවේ. ඒවා සාමාන්‍යයෙන් සිදුවිය යුතු සිදුකළ යුතු සන්ධිස්ථානයි. එහෙත් හොඳට අවබෝධයෙන් කල්පනා කර බැලුවොත් ජීවිතයේ වැදගත්ම මොහොත මරණාසන්න මොහොතයි. මේ මොහොතේ දී මරණාසන්න පුද්ගලයා ඉදිරියේ කටයුතු කළ යුත්තේ කෙසේදැයි එම පුද්ගලයා වටා සිටින ඥාති මිත්‍රාදීන්ට පවා හොඳ අවබෝධයක් තිබිය යුතුමයි.
කොයිතරම් දාන, සීල, භාවනා ආදී පින්කම් කරගෙන සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් හිටියත් මරණසන්න මොහොතේ නෑදෑයන්, දරුවන් වටවී හැඬුවෝතින් අර පුද්ගලයාට කුසලය පිහිටුවාගත නොහැකි වෙනවා. එවන් අවස්ථාවන්හිදී අපායගාමී වන්නට ඉඩ වැඩියි. මෙය වර්තමානයේ සිද්ධවෙන අවාසනාවන්ත ඉරණමක්.
ධර්මය නොදැන ජීවත්වීම තරම් භයානක අනතුරක් ලෝකයේ තවත් නැහැ. පින්වත්නි, ධර්මය නොදැන ජීවත්වීම තුළ කොයිතරම් නම් අපායගාමී අකුසල් අපට රැස්වෙනවා ද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයෙන් පෙන්වා දුන්නේ ‘පතිරූප දේසවාසෝච’ යනුවෙන්.
සුදුසු පරිසරයක වාසය කරන්න ලැබීම මංගල කාරණයකි. ධර්මයට අනුව ජීවත්වන, ධර්මය කතාබහ කරන, ධර්මානුකූල ජීවිත ගතකරන මිනිසුන් ජීවත්වන පරිසරයක ජීවත්වෙන්න ලැබීම මංගල කාරණයක්. එවන් පරිසරයක ජීවත්වන ඔබට මරණයට බියවිය යුතු නැත.
අනුශාසනාව
සියනෑ හාපිටිගම් දෙකෝරලේ ප්‍රධාන සංඝනායක, මහලේගොඩ විද්‍යාලයේ විදුහල්පති, රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති ශාස්ත්‍රපති,
පූජ්‍ය රදාවඩුන්නේ ශාන්ත අමරනන්ද ස්වාමීන් වහන්සේ