වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ඉවසිලිවන්තව ගොඩනඟා ගන්නා ආදරය සදාකාලිකයි
අපගේ ස්වාමි වූ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ මහා කාරුණිකයි. ඒ වගේම මනා ප්‍රඥාවකින් යුක්තයි. දෙව් මිනිස් ලෝසතුන් හට සැනසීම උදාකර දීම උන්වහන්සේගේ ඒකායන අරමුණයි.
ඒ වෙනුවෙන් මුළු ජීවිතයම කැප කළ බුදුරජාණන් වහන්සේ ලෝසතුන්ගේ දුක් දොම්නස් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව වැඩ සිටියහ. ඒ නිසාම උන්වහන්සේට සවන් දුන් අනන්ත අප්‍රමාණ ලෝසතුන් මනා සැපතකට පත් වුණා.
මනුෂ්‍ය වර්ගයා නිතරම නොයෙකුත් ප්‍රශ්නවලින් පීඩා විඳිනවා. ස්වාභාවික විපත්, පැතිර යන භයානක ලෙඩ රෝග, බලාපොරොත්තු නොවන අවස්ථාවල දී සිදුවන අනතුරු, යුද කෝලාහල, දුර්භික්ෂ ආදී අනේක විධ කරදරවලින් මනුෂ්‍යයා නිතරම පීඩා විඳිනවා. එවන් පීඩා මතුවී එන විට බොහෝ මිනිසුන් ඉතාමත් අසරණභාවයට පත්වෙනවා. මේ මොන දේ වුණත් කාන්තාවක්ව උපන් ඔබ බොහොම ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි.
ඉවසීම පුරුදු වීම කාන්තාවකට ඉතාම වැදගත්. වරෙක බුදු රජාණන් වහන්සේ දේශනා කර තියෙනවා මේ ලොව උතුම්ම රත්නය කාන්තාව කියලා. හැබැයි ඒ උසස්ම රත්නය වෙන්න කාන්තාවකට අනිවාර්යයෙන්ම ඉවසීම තියෙන්න ඕනේ. ඒක තමයි ඇය සතු වටිනාම ගුණාංගය.
සාමාන්‍යයෙන් පිරිමින්ට තියෙනවා පිරිමි ගති. ගැහැනුන්ට තියෙනවා ආවේණික ගැහැනු ගති ලක්ෂණ. ඇත්ත වශයෙන්ම කාන්තාව හා පිරිමියා අතර වෙනස මේකයි. පිරිමියකු තුළ පිරිමි ගති ලක්ෂණ නැති නම් ඔහු සැබෑ පිරිමියකු නොවේ. කාන්තාවකට උරුම ගැහැනු ගති පැවතුම් නොවන්නේ නම් ඇය ගැහැනියක ද නොවේ.
ලෝකයේ කිසිදු මනුෂ්‍යයෙක් ගැහැනියක් වගේ පිරිමියකුටත්, පිරිමියකු වගේ ගැහැනියකටත් කැමැති නොවෙයි.
සාමාන්‍යයෙන් විවාහ ජීවිතයක් සාර්ථක කරගන්නවා කියන්නේ නොගැළපෙන දෙන්නෙක් එකතු වී ගළපා ගැනීමක්. 100% ක් අදහස් ගැළපෙන හෝ වෙනයම් දේවල් ගැළපෙන දෙදෙනකු කිසිදා හමු නොවේ. සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබ දෙදෙනා එක්ව නොගැළපීම් ඉවසිලිවන්තව ගළපා ගැනීම තුළයි.
මා මීට ඉහතදී පුංචි සමීක්ෂණයක් කරනු ලැබුවා. 100% ක් සාර්ථක යුගදිවියක් ගතකරන අයගෙන් 70% ක් පමණයි එකිනෙකට අදහස් ගැළපෙන්නේ. ඔවුන් මනා ඉවසිලිවන්තව අවබෝධයෙන් ඉතිරි 30% ගළපා ගෙන තිබෙනවා. ඒ වගේම 100% ක් ගැළපෙනවා යැයි හිතන් විවාහ වූ ඇතැමුන්ගේ විවාහ අසාර්ථකයි.
සම්බධීකරණය
උපාලි ජයරත්න
2020/02/19 තරුණි බලන්න