වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
එපා වීමේ වටිනාකම හරිම අපූරුයි
ඔබ යම් දිනෙක යමක් පිළිබඳ කලකිරීමට ලක් වී තිබේද ? ඇත්තෙන්ම යමක් ගැන කළකිරුණේ නම් එය සංසාරය පුරාවටම දැනෙයි. බුදුරජාණන් වහන්සේ අට්ඨාන ජාතකයේදී ඒ බව මනාව පැහැදිලි කර දී තිබේ.
භාරතයේ තරුණ පෙම් යුවළක් ජීවත් වුණා. මේ පෙම්වතාට බුද්ධ ශාසනයට ඇතුළත්ව මහණ දම් පුරන්නට හිතක් පහළ වුණා. මේ බව තම පෙම්වතියට පවසා ඇගෙන් අවසරය ලබා ගන්නට ඔහු සිතුවා. කරුණු කාරණා වටහා ගත් පෙම්වතිය ද මේ පෙම්වතාට මහණ දම් පිරීමට අවසරය ලබා දුන්නා.
ඒ අනුව ඔහු මහණ වුණා. එහෙත් ශාසනයට ඇතුළත් වූ පමණින් එහි රැඳීිම ඔහුට පහසු වුණේ නැහැ. ඒ සඳහා ඉවසීම ප්රගුණ කර තිබිය යුතුයි. ඉවසීම ප්රගුණ කර ඇත්නම් ජීවිතයේ ඕනෑම අභියෝගයක් කාටත් ජයගත හැකියි. දැන් අර තරුණයාට මහණදම් පුරන්නට හිතක් නැහැ. එහෙම දෙගිඩියාවෙන් ඉන්න අවස්ථාවක පෙම්වතියගෙනුත් ඔහුට නැවත ගිහි ජීවිතයට එන ලෙස ඇරැයුමකුත් ලැබුණා. මේ භික්ෂුව බුදුරජාණන්වහන්සේට මේ බව දැන්වුවා.
"මෙතරම් පරම විරාග ශාසනයක් අතහැර ඔබ යන්නේ ඇයි?'' එසේ විමසමින් බුදුරජාණන්වහන්සේ මෙසේ වදාළහ.
ඉස්සර කාලේ බරණැස් නුවර බරණැස රජුට බ්රහ්ම දත්ත නම් කුමාරයෙක් හිටියා. ඒ කාලේම මහා බෝධි සත්වයෝ සිටු පවුලක උපත ලැබුවා මහාධන කුමාරයා කියලා. මේ කුමාරවරු දෙදෙනාම ගොඩක් හිතවත්. රාජකුමාරයා රජ වුණා. ඔහුටත් රජ ගෙදර තනතුරක් ලැබුණා. සිටු කුමාරයා කාමයෙන් උන්මාදයි. රාගය ඉහවහා ගියා. ඔහු වෙසඟනක ඇසුරට යොමු වුණා. ඇයගේ ඇසුරට දවසකට රත්රන් කාසි 1000ක් දෙනවා. ඒ අතරම තම සිටු තනතුර හරියටම ඉටු කරනවා. දවසක් මාළිගාවේ ඉඳලා රාජකාරි කටයුතු අවසන් කරන කොට බොහෝ රෑ බෝ වුණා. ඒ නිසා රත්රන් කාසි ගෙන යාමට කලවේලාව නොමැතිව නිකම්ම වෙසඟන ළඟට ගියා.
'' කෝ කහවණු දාහ ?'' ඇය ඇසුවා.
''සොඳුරිය මට රාජකාරි වැඩි වුණ නිසා වෙලාව මඳි වුණා. හෙට ගේන්නම්.''
වෙසඟන ඔහුට ඇතුළට එන්නට අවසර ලබා දුන්නේ නැහැ.
" මම ඔබට කහවණු දෙගුණයක් හෙට ලබා දෙන්නම්. අද මට ඇතුළට එන්න අවසර දෙන්න." සිටු කුමාරයා බැගෑපත් වුණා. ඒත් ඇය එයට එකඟ වුණේ නැහැ. සේවිකාවන් ලවා ඔහුව එළියට ඇද දැමුවා. එසැණින්ම සිටු කුමාරයාට ඇය ගැන කළකිරුණා. එපාම වුණා. මේ නරක ඇසුර එපා වීම හරිම වටිනවා.
ඔහු එදා සිටු මාළිගයට ගියේ නැහැ. රාත්රියේම මහ වනයකට ගියා. එදා සිට තවුසකු ළග භාවනා කළා. කාලයත් එක්ක සෘදිමත් තාපසයෙක් වුණා. මෙච්චර කාලයක් තිබුණ කාම පාපය අර එපා වීමෙන් සේදී ගියා. සිත දැහැන් ගත වුණා. පරණ දේවල් මතක් කර කර ඉන්නෙ පරණ දේවල් එපා නොවුණ අයයි.
දැන් රාජ කුමාරයා තම යහළු සිටු කුමාරයාව සොයනවා. රට පුරාම පැතිරී ගියා වෙසඟන සිටු කුමාරයාව ප්රතික්ෂේප කළ නිසා ලැජ්ජාවට ඔහු වනගත වුණා කියලා. රජු වෙසඟන කැඳවුවා.
" තී මේ දේ කළා ද ? තී කම්මුතු කරනවා. වහාම සිටු කුමාරයා ගෙනත් දෙව "
වෙසඟන හොඳටම බය වුණා. ඇය තාපසයකු වී සිටින සිටු කුමාරයා සොයා ගියා. ඇය තාපසාණන් වහන්සේගෙන් සමාව අයැද හිටියා. තාපසයා සමාව දුන්නා. ඒත් ඇය ළඟට නැවත එන්නේ නෑ කිව්වා. ඇය තාපසයා තම වසඟයට ගන්නට නොයෙකුත් කතා කිව්වා.
" යම් දවසක ගංගාවල ගලා බැස්ම නැවතී පියුම් පිපෙන විල් වුවහොත් එදාට මම ඔබ ළඟට එන්නම්."
" කොවුලන් හක් ගෙඩියේ පාටට සුදු වුවහොත් එදාට මම ඔබ ළඟට එන්නම්."
" යම් දවසක ඉබ්බන්ගෙන් ලොම් අරගෙන ඒවායින් සළුවක් වියලා, ඒ සළුව සීතල කාලයට පොරවා ගෙන ඔබ ළඟට එන්නම් "
ඇයගේ තොදොල් බස් වලට, රූ සපුවට, ඇඟේ ඉඟි බිඟි වලට තාපසයා නැවත රැවටුණේ නැහැ.
වැරැදුණ පිරිමින්ට හැදෙන්න කතාවක් මේ.. තාපසයා පිරිමි පෞරුෂය මැනවින් විදහා පෑවා.
බලන්න එපා වීමේ වටිනාකම. ඔබ වරදට යොමුවන්නට පුළුවන්. එහෙත් ඇත්තටම එපා වුණොත් එය සසරටම බලපානවා.
තවත් කතා පුවතකින් මේ බව වටහා දිය හැකියි. සාරි පුත්ත මහරහතන් වහන්සේ සසරේ කිසිදාක මත් වතුර පානය කර නැහැ. එලෙස වූ අන්දම රසවත් කතාවක්. එක ආත්මයක සාරිපුත්ත මහ රහතන් වහන්සේ රජ කෙනකුව සිටියදී තුන් වරුවටම මත් පැන් පානය කරනවා. එයට මස් මාංසත් එකතු කර ගන්නවා. දවසක් මාළිගාවේ මස් ඉවරවෙලා. අරක්කැමියා මේ බව රජ බිසවට පැවසුවා.
" අපේ රජතුමාට මේ අලුත ඉපදුණ පුතා අතට ගත්තාම මාවවත් මතක නැහැ. උඹ කෑම ගේන්න කලින් මම දරුවා රජු අතට දෙන්නම්." කීවා.
රජු දැන් මත්පැන් පානය කරලා. බිසව රාජ කුමාරයාව අතට දුන්නා. ඒ වෙලාවේම අරක්කැමියා කෑම ටිකත් දුන්නා.
" කෝ මස් ? "
" රජතුමනි, අද මාළිගාවේ මස් ඉවරවෙලා. "
" මේ රටේ මට මස් නැද්ද කියලා අතේ හිටිය දරුවාගේ බෙල්ල කැපුවා. බිසෝවුන් වහන්සේ සිහිමුර්ජා වුවා. සේවකයෝ ගල් ගැසුණා. අරක්කැමියාට රාජ අණට කීකරු වන්නට වුණා.
රජුට මත වැඩි වී නින්ද ගියා. උදෑසන අවදි වන කොට මාළිගාවේ ලේ විලක්. " කෝ මගෙ පුතා..." අවදි වුණු සැණින් රජතුමාට දරුවා මතක් වුණා.
"ඔබ වහන්සේ ඔබේ දරුවා අනුභව කළා."
''දෙයියනේ, මොකක්ද මම කළ අපරාධය.''
රජතුමාට තමන්වම එපා වුණා. කළ පව ගැන ලැජ්ජා වුණා. බීමතින්, වෙරි මතින් කළ කී දේ ගැන සසර පුරාවටම එපා වුණා.
එබැවින් යම් දවසක පව් කරන කෙනකුට වුවත් එය තිත්ත වුවහොත් එය එපා වුණහොත් ඔහුගේ පින ඉස්මතු වෙනවා.
සාරිපුත්ත මහ රහතන් වහන්සේ සසරේම ඉරිසියා කළ නැති කෙනෙක්. එක ආත්ම භවයක රජකෙනෙක්. ඔහුගේ බිසව ගොඩක් සුන්දරයි. රජතුමා බිසව දාලා කොහේවත් ගියේ නැහැ. ඒත් යුද්ධයක් නිසා යොදුන් 30ක් දුර යන්න වුණා. කොච්චර ආදරේද කියනවා නම් යොදුනෙන් යොදුන රාජ පුරුෂයන් තබා පණිවුඩ තිය තියා යුද්ධයට ගියේ. ආපසු එන විටත් එලෙසමයි. එහෙම ආදරයක් ලැබෙද්දීත් බිසව අර පණිවුඩ ගෙනෙන අය සමඟ අනාචාරයේ හැසිරුණා. දැන් රජතුමා එනවා කියන්න පුරෝහිත බිසව ළඟට ගියා. පුරෝහිතවත් නොමඟ ගන්න හැදුවත් පුරෝහිත හසු වූයේ නැහැ. රජ බිසව තම නියපොතුවලින් සූරාගෙන රාජ සළුපිළි ඉරාගෙන පුරෝහිත තමන්ට කරදර කළා යැයි රජුට ඇසෙන්නට කෑ ගැසුවා. බිසවට ඇති ආදරය නිසා කෝපවුණු රජතුමා පුරෝහිත මැරීමට අණ කළා. නමුත් පුරෝහිත නුවණක්කාරයි. කරුණු සහිතව සියල්ල ඔප්පු කළා. රජු සියල්ල අවබෝධ කර ගත්තා.
''මට බිසව ගැන කෙලෙස් ඇති වුණ නිසයි ඉරිසියාව ඉපදී පුරෝහිත මරන්න තීරණය කරන්න හැදුවේ. ඇයි මම එහෙම කරන්නේ. ඉරිසියාව නැති කර ගත යුතුයි. ''රජතුමා සිතුවා.
ඔබටත් යමක් සැබෑවටම එපා වෙනවා නම් ඒ ඔබ තුළ පින් ඇති නිසයි. පවු කළ කෙනෙක් වුවත් තවදුරටත් පවු කිරීම එපා වුණොත් එයින් අත් මිදෙනවා. එපා වීමත් යහපතක් කර ගැනීමට ඔබ ධර්මාවබෝධයෙන් මෙනෙහි කරගත්න. සැනසීම ඇත්තේ එතැනයි.
2020/08/26 තරුණි බලන්න