වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
පිළිගැනීම නොපිළිගැනීම පිළිබඳ බුදුන් වදාළ ධර්මය
”බුදු හාමුදුරුවෝ වුණත් කියල තියෙන්නෙ උන්වහන්සේ කිව්වත් එකපාරටම පිළිගන්න එපා කියලා” කියන මේ ප්‍රකාශය බෞද්ධ අබෞද්ධ බොහෝ දෙනෙක් අනිවාර්යෙන් අසා ඇති. බොහෝ අබෞද්ධ පිරිස් බුද්ධ දේශනාවලට පහර ගැසීම සඳහාත්, නාමික බෞද්ධයන් විසින් තමන්කරන පව්කාර ක්‍රියා සාධාරණීකරණය කරගැනීම සඳහාත් මෙම මතය ඉස්මතුකරයි. ඔවුන් මේ බව ”කාලාම” සූත්‍රයේ තිබෙනවා කියා කටමැත දොඩවති. සැබැවින්ම ඔවුන් එසේ පවසන්නේ කාලාම සූත්‍රය දේශනා කරන්නට හේතු වූ පසුබිම, සූත්‍ර දේශනාවේ අර්ථය හෝ එහි ප්‍රතිඵල ගැන හෝ නිවැරදි වැටහීමක් ඇතිව නො වෙයි. අඩු ගණනේ ඔවුන් පාලි භාෂාව ගැන නිසි දැනුවත්කමක් ද නොමැතිව ”බුදු හාමුදුරුවෝ වුණත් කියල තියෙන්නෙ උන්වහන්සේ කිව්වත් එකපාරටම පිළිගන්න එපා කියල”.” කාලාම සූත්‍රයේ තියෙනවා කියා පවසන්නේ.
අප කෙරෙහි අනුකම්පාවෙන්ම මේ ලොව පහළ වූ. භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළේ පරිපූර්ණ අවබෝධයෙන් යුක්තව මිස අනවබෝධයෙන් නොවෙයි. එමෙන්ම ධර්මය දේශනා කරන ලද්දේ නිදාන කරුණු සහිතවමයි. තව ද අපගේ ශාස්තෘන් වහන්සේ දහම් දෙසුවේ ප්රාතිහාර්ය සහිතවමයි. ප්රාතිහාර්ය රහිතව නොවෙයි. එම නිසා භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ සිටි සමයේ පැවිදි ශ්‍රාවක පිරිස ශ්‍රී සද්ධර්මය දේශනා කිරීම පිණිස, මහත් වූ ශාස්තෘ ගෞරවයෙන් යුතුව ඇරයුම් කළේ මෙලෙස පවසමින්.
“ස්වාමීනී, මේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මූලික කොට ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ නේතෘ කොට ඇත්තේ ය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තේය. එම නිසා ඔය පැවසූ කරුණෙහි අර්ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහෙන සේක්වා. භාග්‍යවතුන් වහන්සේ කියාදෙන ආකාරයට භික්ෂූහු මතක තබා ගන්නාහ” යනුවෙන්.
එසේම නිවනට කැමති ශ්රාවකයා විසින් ශාස්තෘ ගෞරවය ඇතිකර ගත යුතු ආකාරය භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ මේ අයුරින්. “මාගේ ශාස්තෘන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ය (සත්ථා මේ භන්තේ භගවා). මම වනාහී ශ්රාවකයා වෙමි (සාවකෝ හමස්මි). භාග්‍යවතුන් වහන්සේ සියල්ල දන්නා සේක (ජානාති භගවා). මම වනාහී (කිසිවක්) නොදනිමි (අහං න ජානාමි) කියා යි.
ත්ත්වය මෙසේ තිබියදී ඊට පදනම් වූ “බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා.” කියා ධර්මයේ සඳහන් වෙනවා කියන මේ ප්‍රකාශයට පදනම් වූ කාලාම සූත්‍ර දේශනාව ගැන නිවැරදි වටහා ගැනීමක් තිබීම අප කාටත් ප්‍රයෝජනවත් වේවි.
කාලාම සූත්‍රයේ නිධාන කතාව පිළිබඳ කෙටියෙන් සඳහන් කළහොත් භාග්‍යවතුන් වහන්සේ විශාල භික්ෂු පිරිසක් සමඟින් කාලාම වැසියන්ගේ කේසපුත්ත කියන නියම් ගමට වැඩම කළා. කාලාමයන් බුදුරජාණන් වහන්සේ දුටු පළමු වතාවේ දී ම වන්දනා කොට පසෙකින් වාඩි වී ඇසුවේ මෙවැන්නකි.
“ස්වාමීනී, අපට ලොකු ගැටලුවක් තියෙනවා. මේ කේසපුත්ත ගමට නොයෙක් මත දරන තීර්ථකයන්, ශ්රමණයන් පැමිණෙනවා. ඇවිත් තමන්ගේ මතය විතරයි නිවැරදි, අනෙක් ඒවා වැරදියි හිස් කියලා තමන්ගේ වාදය විතරක් ඉස්මතු කරනවා. අනෙක් මත හෙළා දකිනවා. බැහැර කරනවා. ඒවාට පරිභව කරනවා. ඉතින් ස්වාමීනී, ගෞතමයන් වහන්ස, ඒවායින් හරි මොකක්ද? වැරදි මොකක්ද? කියා සිතාගන්න බෑ. අපට සැකයක් ම යි, විචිකිච්ඡාවක් ම යි ඒවා ගැන ඇතිවන්නේ.”
එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.
“කාලාමයනි, සැක කළ යුතු තැනමයි සැක කරලා තියෙන්නේ. විචිකිච්ඡාව ඇති විය යුතු තැනමයි විචිකිච්ඡාව ඇතිවෙලා තියෙන්නේ. ඔබට ඇතිවෙලා තියෙන සැකය බොහොම සාධාරණයි.”
ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ ඔවුන්ට මෙසේ අනුශාසනා කොට වදාළා.
“කාලාමයනි,
* අහපු පමණින් ගන්න එපා (මා අනුස්සවේන).
* පරම්පරාවෙන් ආ පමණින් ගන්න එපා (මා පරම්පරාය).
* මෙහෙම මෙහෙම වුණා කියූ පමණින් ගන්න එපා (මා ඉතිකිරාය).
* අපේ පොත්වල තියෙනවා කියූ පමණින් ගන්න එපා (මා පිටක සම්පදානේන).
(මින් අදහස් කළේ වේද ග්රන්ථ ආදි බාහිර පුස්තක මිස ත්‍රිපිටක බුද්ධ දේශනා නො වේ)
* තර්කයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා තක්ක හේතු).
* ගළපා ගත්තු න්‍යායට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා නය හේතු).
* මෙහෙම වුණොත් මෙහෙම වෙයි කියා කල්පනාකර ගොඩනගා ගත්තු මතයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා ආකාරපරිවිතක්කේන).
* දෘෂ්ටියකට බැසගෙන ගන්න එපා (මා දිට්ඨි නිජ්ඣානක්ඛන්තියා).
* බලාගෙන ගියාම ඒකත් හරිනේ කියලා ගන්න එපා (මා භබ්බරූපතාය).
* ඔය කරුණු කියන කෙනා අපගේ ගුරුවරයා හෙවත් අප ගරු කරන ශ්රමණයන් වහන්සේ කියා ගන්න එපා (මා සමණෝ නෝ ගරූ).
මෙහි දී කිසිම අයුරකින් “බුදුරජාණන් වහන්සේ කිව්වත් පිළිගන්න එපා.” කියා සඳහනක් හෝ එවැනි අර්ථයක් ද ඉස්මතු නොවේ. සමහරුන් එසේ පවසන්නේ “මා සමණෝ නෝ ගරූ” යන පදයේ ව්‍යඤ්ජනය ද අර්ථය ද වැරදියට වටහාගැනීමෙන් විය යුතුයි. එම වාක්‍යයේ අර්ථය වන්නේ ගුරුවරුන් වූ පමණින් කියන සියල්ල ඒ ලෙසටම පිළිනොගතයුතු නිසාය. මන්දයත් මේ ලොව සියලු මිත්‍යාදෘශ්ටික ආගම් බිහිවී ඇත්තේ ද ගුරුවරුන් මූලික කර ගෙනය. පිරිසුදු තේරවාදය විකෘති කරමින් මහායානය වැනි කොටස් බිහිවූයේද මෙසේ ගුරුවරුන් යැයි කියාගන්නා අය නිසාය. එයට හේතු වූයේ ඔවුන් සියලුදෙනා කෙලෙස් සහිත පුද්ගලයන් වීම නිසාය. සියලු කෙලෙස් දුරුකළාවූද අද වුවද ඕනෑම අයෙකුට මේ ජීවිතයේදීම කෙලෙස් මුළුමුනින්ම දුරුකළ හැකි මාර්ගය කියාදුන් අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ එම කෙලෙස් සහිත ගුරුවරුන්ගේ කුලකයට දැමීම බරපතළ අකුසලයකි. දීඝ නිකායේ පාසාදික සූත්‍ර දේශනාවේ මෙසේ සඳහන් වෙනවා. “මහණෙනි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ස්වාක්ඛාත වූ මේ ශ්‍රී සද්ධර්මය කිසිදු අඩුවක් නොමැතිව පරිපූර්ණව පිරිසුදු නිවන් මඟ පෙන්වා දෙයි. එහිදී නිවැරදි ලෙස ව්‍යඤ්ජනය ද අර්ථය ද වටහා ගත යුතු ය.”
අපේ පොත්වල තියෙනවා කියූ පමණින් ගන්න එපා (මා පිටකසම්පදානේන) යන කරුණ ගත්කළ බුදුරජාණන් වහන්සේගේ යුගයේදී ත්‍රිපිටකය ධර්මය පැවතියේ කටපාඩමින් බවත්, එය ග්‍රන්ථාරූඪ කෙරුණේ ලංකාවේ වළගම්බා රජුගේ යුගයේදී බවත් ඔබ දන්නවා ඇති. ඉතින් එය එසේ වද්දී මා පිටක සම්පදානේන යන කරුණ කාලාමයන්ට පැවසුවේ උන්වහන්සේගේ ධර්මය ගැන නොවන බව යන්තම් හෝ කල්පනා ශක්තියක් ඇති අයෙකුට වුවද වටහා හත හැක.
එම අනෙක් පොත් වුවද ලියා ඇත්තේ කෙලෙස් සහිත අයමය. නමුත් අපගේ ත්‍රිපිටක ධර්මය දරාගෙන ග්රන්ථාරූඪකර පවත්වාගෙන ආවේ එසේ කෙලෙස් සහිත අය නොව මහරහත් උතුමන් වහන්සේලා, මාර්ගඵල ලාබීන් වහන්සේලා සහ ස්ථවිර මහතෙරුන් වහන්සේලාය. බැමිනිතියාසාය යුගයේ කරකොල සහ වැටකෙයියා යුශ වලඳමින්, ජීවිත පරිත්‍යාගයෙන් රැගෙන ආ අද වුවද ඕනෑම අයෙකුට මේ ජීවිතයේදීම කෙලෙස් මුළුමනින්ම දුරුකළ හැකි මාර්ගය ඇති මෙම ත්‍රිපිටක, අටුවා සහිත ශ්‍රී සද්ධර්මය සහිත ඒ පොත්වහන්සේලා හට ”බුදු හාමුදුරුවෝ වුණත් කියල තියෙන්නෙ පොත්වල තිබ්බ දේවල් වුණත් එකපාරටම පිළිගන්න එපා කියල” කියා අපහාස කිරීමෙන් රැස්වෙන කර්මය ඔවුන්හට සසරේ බොහෝ කාලයක් දුක් විපාක පිණිසම පවතිනු නොඅනුමානය.
අනුශාසනාව
පූජ්‍ය , තෙලඟපාත ධම්මජෝති ස්වාමින් වහන්සේ