වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
අලුත් අවුරුද්දට මහගෙදරට යන්න ඔබේ දැකුම මාපියන්ට මහමෙරකි
තෙරුවන් ගුණ සහ මවුපිය ගුණ වූ කලී සප්ත මහා සාගරය බඳුය. කියා, ලියා, ගයා නිමකළ නොහැකිය. අප ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ වදාළේ සියක් වසරක් කර මත හිඳුවාගෙන රැක බලා ගත්තත්, මවුපියන්ගෙන් ගත් ලේ කිරි සහ දාඩියවල ණය ගෙවිය නොහැකි බවයි.
හැකියාව සහ වත් පොහොසත්කම් තිබියදී මවුපියන් පෝෂණය නොකරන්නා වසලයෙකැයි ද, එය කෙනකුගේ පිරිහීමේ දොරටුව යැයි ද වසල සහ පරාභව සූත්‍රවලින් උන්වහන්සේ දේශනා කළහ.
මවුපියන්ගේ අගය දන්නා දරුවෝ, ඔවුන්ට ජීවත්ව සිටියදීත්, මිය පරලොව ගිය පසුවත් සලකති. ඔවුහු සත්පුරුෂයෝය. ගුණවත්තුය. සමාජයෙන් ගෞරව ලබා පරලොව ජීවිතයෙහිදී ද සුවයම ලබති.
යම්කිසි සත්පුරුෂයෙක් දැහැමින්, සෙමින් මවුපියන් පෝෂණය කෙරේද දෙවියෝද ඔහුට අනුකම්පා කරති. පිහිට වෙති. ඔහු මෙලොව සැප ලබයි. පැසසුම් ලබයි. ‘සබ්‍රහ්ම සූත්‍රය’ එසේ සඳහන් කරයි.
පින්වතුනි, මේ සිංහල අලුත් අවුරුදු සමයයි. මේ කාලයේ රැකී රක්ෂා කරන දරුවන්, මාපියන් බැලීමට ගම්බිම් වෙත යන එක්තරා විවේකී කාල පරිච්ඡේදයකි. උදාවූ මේ සිංහල අලුත් අවුරුද්දේවත් පෙර දා අපට අතපසු වූ මාපිය උපස්ථානය කරන්නට සිහි එළවා ගන්න. දූවරුනි, පුතණුවනි, ඔබේ දැකුම පවා මාපියන්ට මහමෙරකි. එබැවින් ඉගෙනුම් ලබන අධ්‍යාපන ආයතනයෙන් හෝ රැකියාවේ නියුතු ආයතනයෙන් නිවාඩු ලැබුණු වහාම ඔබ මාපියන් බැලිමට යන්න.
දස මාසේ උරේකත්වා
පොසේසි වුද්ධිකාරණං
ආයුදීඝං වස්සසතං
මාතු පාදං නමාමහං
“මා දස මසක් මුළුල්ලෙහි කුසෙහි වැඩීම පිණිස පෝෂ්‍ය කළේ ද, ආයුෂයා ගේ වර්ෂ සියය දක්වා වැඩීම සඳහා මම මෑණියන්ගේ පාදයන් නමස්කාර කරමි.”
වුද්ධිකාරෝ අලිංගිත්වා
චුම්බිත්වා පිය පුත්තකං
රාජමජ්ඣං සුපතිට්ඨං
පීතු පාදං නමා මහං
“මා පිය තෙමේ ප්‍රිය පුත්‍ර වූ මා වැලඳගෙන සිඹ, ආහාර පානාදිය දීමෙන් මා පෝෂ්‍ය කළේ වේද කළේවේද, රජුන් මධ්‍යයෙහි මනාව පිහිටෙව්වේද, ඒ පියාණන් ගේ පාදයන් මම හිස් මුදුනින් නමස්කාර කරමි.”
මෙලෙසින් මා පිය දෙපළ වන්දනා කරන්න.
පින්වතුනි, සදිසා වන්දනා ගැන සිඟාල පුතුට විස්තර කර දෙන බුදුරජාණන් වහන්සේ මවුපියන් සමාන කරනුයේ නැගෙනහිර දිශාවටය.
මවුපියන් තම දූ දරුවන්ට නිසි කල අධ්‍යාපනය ලබා දී නැණස පාදා ඔවුනගේ ජීවිතය ආලෝකවත් කරනු ලබන්නේ හිරු සඳු දෙදෙනාම නැගෙනහිරින් උදා වී මුළු ලෝකයම ආලෝකවත් කරන්නා සේය.
එලෙසම ඔවුන් මගේ පුතා, මගේ දුව ආදී වශයෙන් නිරන්තරයෙන්ම සිතන හෙයින් මාතා (මව) නමින් ද බොහෝ දුක්විඳ මුදල් උපයා ආහාර පානාදිය හා ඇඳුම් පැලඳුම් සපයා දරුවන් ආරක්ෂා කරන හෙයින් පිතා (පියා) වශයෙන් ද හඳුන්වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබේ.
පින්වතුනි, කෙළවරක් නොදකින සංසාරය තුළ සැරිසරනා අතරෙහි අහම්බෙන් මිනිස් ලොව උපත ලැබීමට අපට උපකාර වන්නේ මවුපියෝය. ඉපදුණු දා සිටම තම දිවි දෙවැනි කොට දරුවා රැක බලා ගනී. මාපියන් දරුවාට සලකන්නේ නැවත උපකාරයක් බලාපොරොත්තුව නොවේ. එසේ මහත් කැපවීමකින් අනේක දුක්විද තමා හදා වඩා ගන්නා මවුපියනට වැඩිවියට පත් දරුවන් විසින් සැලකීම උතුම් සත්පුරුෂ ගුණයකි. ප්‍රති උපකාර කිරීමකි. එසේම මාපිය උපස්ථානය බුදුරජුන්ට, රහත් උතුමන්ට කරන උපස්ථානය හා සමාන පින්කමක් ලෙස තථාගතයන් වහන්සේ වදාළහ.
පරපුර රැකීම
පාරම්පරික කුලසිරිත්වලට අවමන් කරමින් ඒවා ආරක්ෂා කර ගැනීමට කටයුතු නොකළහොත් ජාතියක් වශයෙන් අභිමානයෙන් පෙන්විමට කිසිවක් ඉතිරි නොවනු ඇත. ඉඳුරන් රවටන මායාවන්ගෙන් පිරුණු සරුව පිත්තල ලෝකයක අවිචාරවත් ලෙස ක්‍රියාකරන දූ පුතුන් වත්මනෙහි දක්නට ලැබේ. පින්වත් දරුවන් වන ඔබ ස්වකීය පරම්පරාවේ උතුම් සිරිත් විරිත් අනුගමනය කරමින් කටයුතු කළ යුතුයි.
උරුමය ලැබෙන පරිදි පිළිපැදීම
මවුපියන්ට කීකරුව ජීවත්වෙමින් ඔවුන්ගේ සිත් සනසන දූ දරුවෝ මවුපිය උරුමය රකින්නෝය. අකීකරු දරුවන් ඇති මවුපියෝ දුකින් හා කලකිරීමෙන් යුතුව ජීවත්වෙයි. ඔවුන්ට සැනසිමක් නොවේ. අකීකරු දරුවන්ට දේපොළ වත්කම් නොදී පවුලෙන් ද නෙරපා දමන ලද මවුපියන් ගැන ඔබ අසා ඇති. හිතුවක්කාර දරුවන් නිසා මවුපියන්ගේ සිත් තුළ ඇතිවන පීඩාව එතරම්ම ප්‍රබලය.
පරලෝ සැපත් මවුපියනට පින්දීම
මවුපියන් තමන්ට කරන ලද උපකාර, මවුපිය දූ දරු සම්බන්ධය නැමැති පරම ඥාතීත්වය හා ගුණයන් සදාකල්හිම සිහිකළ යුතුය. අභාවයෙන් පසු ධර්ම දේශනා පැවැත්වීමෙන් දානමය පිංකම් සිදුකිරීමෙන් ඔවුනට පිං පැමිණවිය හැකි. තථාගතයන් වහන්සේ මළවුන්ට පින් දෙන්නට යැයි දේශනා කර වදාළේ වෙනත් කිසිම ආකාරකින් මියගිය මවුපියනට සංග්‍රහ කළ නොහැකි නිසාය. එවන් පුණ්‍ය කටයුතු සිදු කිරීමෙන් පරලෝ සැපත් මවුපියනට සුගතිගාමී විය හැකි බැවින් සත්පුරුෂ දරුවන්ගේ අගනා යුතුකම වන්නේ පින්කම් සිදුකොට මවුපියන්ට පින් අනුමෝදන් කරවීමයි.
මිසදිටු මවුපියෝ කුසලයේ හැසිරෙන අය කෙරෙයි ද දුසිල්වත් මවුපියන් සිල්වත් කෙරෙයි ද මසුරු මවුපියන් ත්‍යාගවත් කෙරෙයි ද අනුවණ මවුපියන් නුවණැත්තන් කෙරෙහිද එසේ කිරීමෙන් දූ පුතුන් ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යන සම්පත් හතරෙන් කරනු ලබන මවුපිය ආත්ම පෝෂණය දරුවකුට කළ හැකි උත්තම ප්‍රති උපකාරය වන්නේය.
පින්වතුනි, මවුපියන්ට සැලකීමේ උතුම් වටිනාකම අවබෝධකර දුන් බුදුන් වහන්සේ මවුපිය උපස්ථානය නොකිරීමේ ආදීනව ගැන ද විශේෂයෙන් සඳහන් කළ සේක. කුසල් හා අකුසල් කර්ම අතර බලගතු අකුසල කර්ම වන පංචානන්තරිය පාප කර්මයන්ට මව මැරීම, පියා මැරීම ඇතුළත් කර ඇත. අනෙකුත් කර්ම අතරින් මෙම කර්ම රැස්කර ගන්නාට නිරයෙහි අනන්ත දුක් විඳිමට සිදුවන බව නිසැකය.
මවුපිය උපස්ථානයේ අනුසස්
මවුපියන්ගේ කරුණාව දරුවන්ගේ අනාගත යහපතට හේතුවේ. මවුපියන් විසින් අනුකම්පා කරන ලද කුල පුත්‍රයාට දියුණුවක්ම වන්නේය. පිරිහීමක් නොවන්නේය. ඇතැම් සොරු පවා මවුපිය උපස්ථානය කරන්නාගේ වස්තුව පැහැර නොගෙන ඔහුට අනුකම්පා කරති. දෙවියෝ ද මවුපිය උපස්ථායකයාව රකී.
එසේ වීනම් පින්වත් දරුවනි, ඔබ මේ සිංහල අලුත් අවුරුද්දේවත් මාපියන් බලන්නට ගොස් ඔවුන්ටත් සිත් සැනසෙන පරිදි කටයුතු කරන්න සිතට ගන්න.
අනුශාසනාව
සියනෑ හාපිටිගම් දෙකෝරලේ ප්‍රධාන
සංඝනායක, මගලේගොඩ විද්‍යාලයේ විදුහල්පති, රනිස්වල ශාලරුක්ඛාරාමාධිපති, ශාස්ත්‍රපති
පූජ්‍ය රදාවඩුන්නේ ශාන්ත අමරානන්ද
ස්වාමින් වහන්සේ