තම තමන්ගේ යුතුකම් කොටස ඉටුකරමින් කොරෝනා පරාජය කරමු

ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිළිතුර දාර්ශනිකයි‘ යන්න අප අසා ඇති ප්‍රසිද්ධ කියමනකි.
සැප්තැම්බර් 29, 2021

 

එම කියමන උපුටා දක්වමින් මේ සටහන ආරම්භ කරන්නේ මේ දිනවල වේගයෙන් පැතිර යන කොරෝනා වයිරසයෙන් ගැලවෙන්නට නොහැකිව, එහි ගොදුරක් බවට පත්වී මේ රටේ ලක්ෂ හතරක පමණ ආසාදිතයින් ගොන්නට එකතු වී, දිවි ගලවාගන්නට සමත්වූ බව කියන්නට අවැසි නිසාය.

 

චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වී ලොව පුරා පැතිර ගොස් අපේ රටට පැමිණි කොරෝනා වයිරසය ගැන මුලින්ම වාර්තාවුණේ මෙරට සංචාරයකට පැමිණි චීන කාන්තාවකගෙනි. ඉන්පසු එය ආසාදනය වුණු මුල්ම ශ්‍රී ලාංකිකයා වුණු සංචාරක මඟ පෙන්වන්නාගේ සිට ගෙවී ගිය වසර දෙකක පමණ කාලයක් තුළ කොරෝනා වයිරසයේ ස්වභාවය, එය අපට ආසාදනය වන හැටි, එය තමන්ට වැලඳෙන්නට පෙර පරෙස්සම් වන හැටි ගැන මොන තරම් නම් අසා තිබුණා ද? විවිධ රූපවාහිනී නාලිකාවලින්, ගුවන් විදුලි නාලිකා වලින්, පුවත්පත් වලින්, අන්තර්ජාලයෙන් මේ පිළිබඳව දැනුවත්ව සිටියාද?

එසේම තරුණී පුවත්පත කොරෝනා පිළිබඳව වෛද්‍යවරුන් ලබාදෙන උපදෙස් වලින් පුවත්පතේ පිටු මොන තරම් ප්‍රමාණයක් තුළින් පාඨකයන් දැනුවත් කරන්නට කටයුතු කළා ද?

ඒ සඳහා මාධ්‍ය වේදියකු, කර්තෘවරයකු ලෙස වගකීම් කොටස ඉටු කරන්නට කොරෝනා රැලි පිට රැලි නැඟී ආවත් ගෙවි ගිය කාලය පුරාම සතියකට දින කිහිපයක්ම රාජකාරියට ගියෙමි. වරෙක කාර්යාල ප්‍රවාහන සේවයේ වෑන් රථවලින්ද, දුම්රියෙන් ද ඒ සඳහා යායුතු වූයේ කොරෝනා දැඩි ලෙස තිබුණු කොළඹ නගරයටය.

එහිදී මුව ආවරණය පැලඳීම, වාහනයේ හෝ දුම්රියේ ගමන කළ සෑම අවස්ථාවකම හැකිතාක් ඒවා ඇල්ලීමෙන් වැලකී සිටි අතර, ඒ සෑම ගමන් වාරයක් අවසානයේදීම සැනිටයිසර් වලින් දෑත් විසබීජ හරණය කළෙමි.

කාර්යාලයට ඇතුළු වීමට පෙර සබන් යොදා දෑත් සේදීම අනිවාර්ය යෙන්ම කළ යුතුය. එසේම මා මුව ආවරණය දෑතින් ස්පර්ශ නොකළ අතර එය ගැලවීමට සිදු වූයේ ආහාර ගන්නට අවශ්‍ය වූ මොහොතක පමණි.

සේවය නිමවී නිවෙසට පැමිණි විට එළියේදීම පාවහන්, ඇඳුම් ඉවත්කොට දිය නෑමෙන් හෝ ඇඟ සේදීමෙන් පිරිසුදු වූ පසු ඇතුළට යන්නට කටයුතු කළෙමි.

එහෙත් එලෙස මොනතරම් පරෙස්සම් වුවත් මා අතින් වූ සුළු අතපසුවීමකින් අවසානයේ කොරෝනා වයිරසය ජයගන්නට සමත්විය.

කොරෝනා රෝගය ලොවපුරා ව්‍යාප්ත වුණු මුල් කාලයේ ලෝකයේ බලවත් රටවල් රැසකම ජනතාව ලක්ෂ ගණනින් ඊට බිලිවී, දහස් ගණනින් මරුමුවට පත්වෙද්දී ඊට එරෙහි එන්නතක් සෑදීමට විද්‍යාඥයෝ දිවා රෑ නොබලා වෙහෙස වූහ. අවසානයේ එහි ප්‍රතිපල ලෙස මොඩෙර්නා, ස්පුට්නික්, ඇස්ට්‍රසෙනිකා, සයිනොෆාම් වැනි එන්නත් වර්ග කිහිපයක්ම සොයාගත් අතර ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් සොයාගෙන ඉන්දියාවේ නිපදවූ ඇස්ට්‍ර සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් තොගයක් අපේ රටටද ගෙන්වනු ලැබිණි.

බොහෝ දෙනකු එන්නත ලබා ගන්නට සූදානමින් සිටයද තවත් බොහෝ දෙනකු එන්නත ලබා නොගන්නට විවිධ හේතු ඉදිරිපත් කළහ. එය ලබාගත් පසු රුධිරය කැටි ගැසී මරණයට පත්වන බවත්, අනාගතයේදී විවිධ අතුරු ආබාධ ඇතිවන බවත්, ඉන්දියාවේ ජනතාව සිටියදී අපට විදින්නේ එය අපෙන් පරීක්ෂා කිරීමට බවත් යන කටකතා මිනිසුන් අතර වේගයෙන් පැතිර ගියේය.

ඒ වනවිට කොරෝනා දෙවැනි රැල්ල ලෙස බ්‍රැන්ඩික්ස් පොකුර සහ පෑලියගොඩ මාළු පොකුර ගම්පහ සහ කොළඹ වේගයෙන් පැතිර ගිය නිසා එම දිස්ත්‍රික්ක දෙකෙහි මුලින්ම මේ එන්නත ලබා දීම සිදුවිය. ඒ අනුව කොවිෂීල්ඩ් එන්නතෙහි පළමු මාත්‍රාව මගේ ගම් ප්‍රදේශයේ ජනතාවට පසුගිය පෙබරවාරි මාසයේ දෙවැනි සතියේ ලබා දුන් අවස්ථාවේ මාත් බිරියත් එය ලබා ගත්තෙමු.

එහෙත් අවාසනාවට එහි දෙවැනි මාත්‍රාව ලබා ගන්නට සිදුවූයේ පසුගිය අගෝස්තු 3 වැනිදාය.

ඒ වනවිටත් කොරෝනා වයිරසය මගේ ශරීරගතවි තිබෙන්නට ඇත.

මුලින්ම ආහාරවල රස දැනුණේ නැත. ඊළඟට උණ හටගත්තේය. ඉන්පසු කැස්සක් ඇතිවිය. අධික හිසරදයද ඒ සමඟ විය. මේ රෝග ලක්ෂණ කොරෝනා රෝගයේ ලක්ෂණ බව දැන සිටියද එන්නතේ දෙවැනි මාත්‍රාව ගත් නිසා එසේ උණ ඇතුළු ශරීර අපහසුතා ඇති වූ බවට වූ සැකය මත දින කිහිපයකින් අඩුවී යාවි යන විශ්වාසයකින් පසුවුණෙමි.

මෙසේ අපහසුතා දැඩිව දැනෙද්දීත් කාර්යාලයට යාමට සිදුවූයේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු කිහිපයක්ම තිබුණු නිසාය. එහෙත් එහිදී කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගෙන් ඈත්ව සිටිමින් රාජකාරි කටයුතු කළ නිසා ඔවුනට රෝගය පැතිරෙන්නට ඇති ඉඩකඩ අසුරන්නට හැකිවිය. ඒ සමඟ අපහසුතා පවසා ආයතනයේ වෛද්‍ය නිලධාරී තුමන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නට කටයුතු කළ අතර, එතුමන්ගේ නිගමනය වූයේද එන්නත නිසා ඇතිවූ අපහසුතා විය හැකි බවයි.

එදින සවස අපහසුතා තව තවත් වැඩිවී උණ උත්සන්න වෙද්දී බිරිඳටත් තදින් උණ ගැනී මට තිබූ රෝග ලක්ෂණ පහළ වීමෙන් කොරෝනා පිළිබඳ වූ සැකය තව තවත් වැඩි වූ නිසා අවසානයේ මා පෞද්ගලික රෝහලකින් සිදුකරගත් ඇන්ටිජන් පරීක්ෂාවේදී කොරෝනා ආසාදිතයකු බව තහවුරු විණි.

මේ වනවිට රටේ තත්ත්වය ඉතාම බරපතළය. හැම තැනින්ම වාර්තා වන්නේ කොරෝනා ආසාදිතයින් වැඩිවෙමින් තිබෙන බවය. රෝහල් පිරී ඉතිරී ගොසිනි. ඇඳන් ප්‍රමාණයම පිරී බංකුවල, බිම, කොරිඩෝවල පමණක් නොව එළිමහනේ ගස්යට පවා රෝගීන් ඉතාමත් අපහසුවෙන් සිටින දසුන්, දිනකිට සිය ගණනින් මිනිසුන් මිය යන දසුන් රූපවාහිනී නාලිකාවලින් විකාශය වෙයි.

රෝගියකුට අසාධ්‍ය වුවහොත් දිවි බේරෙන්නේ දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමෙනි. එහෙත් ඒ වනවිට ආසන්න සියලුම රෝහල් වල දැඩි සත්කාර ඒකකවල සියලුම ඇඳන් වල රෝගීන්ය.

පෞද්ගලික රෝහල් මඟින් පාලනය කරන හෝටල් වල කාමර පවා සියල්ල පිරී ගොසිනි.

දැන් මා කොරෝනා රෝගියෙකි. බිරියටත් ආසාදනය වී ඇති බව සහතිකය.

දැන් අප කළ යුත්තේ කුමක්ද? රෝහලකට යන්නට බැරිය. ගියත් ඉන්නට තැනක් නැත. එහෙත් හදිසියේ රෝගය උත්සන්න වුවහොත් යා යුත්තේ කොහෙදෙ? මෙවැනි අවස්ථාවක සිතට මුලින්ම දැනෙන්නේ බියකි. අසරණ කමකි.

එහෙත් හිතට ශක්තිය ගත යුතුය. මා මුලින්ම කළේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා දැනුවත් කිරීමයි. ඉන්පසු ග්‍රාම සේවා නිලධාරි තුමිය දැනුවත් කළෙමි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා දුරකතනයෙන් විස්තර ලබා ගැනීමෙන් පසු නිවෙසේ රැඳෙන්නට අවසරය ලබා දුන් අතර හදිසියක් වුවහොත් ළඟම රෝහලට යන්නැයි උපදෙස් දුන්නේය. ඉන්පසු පැමිණ නිරෝධායනය වන නිවෙසක් බව දැක්වෙන පත්‍රිකාව අලවා ගියේය.

ඇතැම් අයෙක් මේ වගේ අවස්ථාවල පීඑච්අයි මහතා දැනුවත් කරන්නට කටයුතු කරන්නේ නැත. එසේම අසල් වැසියන්ට පවා එය සඟවන්නට උත්සාහ ගනී. ඒ නිරෝධායනය වන නිවෙසකින් එළියට යන්නට අවස්ථාව නොලැබෙන නිසාය. එසේ කර නිවෙසින් බැහැරට යයි. එවිට රෝගය තවත් බොහෝ පිරිසකට බෝවන බව සිතන්නේ නැත.

එසේ නොකරන්නේ අසල්වැසියන්, ප්‍රදේශවාසීන් ඔවුන්ව කොන් කරන, නොසලකා හරින නිසා බව මුහුණු පොතේ පෝස්ටු කිහිපයකම සටහන් කර තිබෙනු දුටුවෙමි.

එහෙත් එසේ නොකරන්නැයි මා එවැනි අසල්වැසියන්ගෙන් ඉල්ලමි. ඒ කොරෝනා රෝගයට ගොදුරු බව දැනගත් පසු දැනෙන බිය, තනිකම, අසරණ බව කොතෙක්දැයි අත්වින්ද නිසාය. ඒ වගේම අසල්වැසියන්ගෙන්, සමීපතම ඥාතීන්ගෙන්, කල්‍යාණ මිත්‍රයන්ගෙන් දිරිගැන්වීම්, සුව වීමට කළ ප්‍රාර්ථනා, ආහාරපාන ආදියෙන් සංග්‍රහ කරමින් අප තනි නොකළ අවස්ථාවේ සිතට දැනුණු ශක්තිය, විශ්වාසය මෙයින් සුවපත් වීමට කොතරම් සවියක් වූවාදැයි දන්නා නිසාය.

ඒ නිසා කිසිම විටෙක ඔබේ අසල් වැසියා කොරෝනා රෝගියකු ලෙස කොන් නොකරන්න. මීටර් කිහිපයක් දුරින් සිට මුව ආවරණයක් දමා ඔවුන් සමඟ කතා කර සිත් වලට ශක්තිය දෙන්න. ඔවුන්ට අවශ්‍ය ආහාරයක්, බෙහෙතක්, පැරසිටමෝල් පෙත්තක්, පලතුරු ටිකක් ගෙනැවිත් ගේට්ටුවේ හෝ වැටේ එල්ලා ඔවුනට ගන්න කියන්න.

එයින් ඔවුනගේ සිතට සැබැවින්ම ගතට, සිතට, සවියක්, සුවයක් ලැබෙනවා ඒකාන්තය. ඔවුන් තනි නොවූ බව දැනෙන විට සුවපත් වී යළි සුපුරුදු ජීවිතයට එන්නට ශක්තියක් ලැබනෙු ඒකාන්තය.

අද තාක්ෂණය ඉතාමත් දියුණුය. ඔබේ සහෝදරයෙක්, ඥාතියෙක්, වැඩිහිටියෙක්, අසල් වැසියෙක්, මිතුරෙක් / මිතුරියක් හෝ ඔබ කලින් ඇසුරු නොකළත් කොරෝනා වැලඳී අසරණව සිටින අසල් වැසියෙක් පිළිබඳව දැනගත් වහාම දුරකතනයෙන්, වට්ස් ඇප් මාර්ගයෙන් හෝ ඔවුන්ට කතා කරන්න. ඒ සිත් වලට සුවපත් වී යළි සාමාන්‍ය ජීවිතයට එන්නට බලාපොරොත්තු දෙන්න. ඔවුන් වෙනුවෙන් බුදුන්ගේ, දළදා හිමියන්ගේ. තෙරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරනවා කියන්න. දෙවියන්ට යාඤා කරන බව කියන්න. ඔවුන්ගේ සිත් සුවපත් වේවි. එයින් රෝගයෙන් මිදෙන්නට අවශ්‍ය ප්‍රතිශක්තිය ඇතිවේවි.

එහෙත්, විනාඩි ගණන් දුරකතනයේ එල්ලී නොදන්නා වෛද්‍ය උපදෙස් ලබා දෙන්නට යන්න එපා. ඔවුන් විමසුවොත් පමණක් ඔබ දන්නා ප්‍රතිකාරයක් කියන්න. අද මේ තරම් මියගිහින් , අරයත් මිය ගිහින් ආදී වශයෙන් ඔවුන්ගේ සිත් වලට බිය දැනෙන දේ කියවීමෙන් වලකින්න. ඉතා කෙටි ඉක්මන් දුරකතන ඇමතුමකින් අවශ්‍ය දේ පමණක් පවසන්න.

වෛද්‍ය මතය අනුව කොරෝනා වයිරසය ආසාදනය වීම බලපාන්නේ එක් එක් පුද්ගලයින්ගේ ශරීර සෞඛ්‍ය මතය. කොරෝනා වයිරසයට බෙහෙත් නැත. සිදුවන්නේ වයිරසය ආසාදනය වූ පසු අපේ ශරීරය තුළ වර්ධනය වී ගත කරන කාල සීමාව තුළ ශරීරයේ එක් එක් අවයව වලට ඒ තුළින් බලපෑම් සිදුවීමයි. විශේෂයෙන් ශරීරයේ සෙම් ගතිය වැඩි කරන අතර, පෙනහලු වලට කරන බලපෑම නිසා එහි ගර්ත විනාස වී කෝවිඩ් නිව්මෝනියාව වැලඳීමයි. මෙහදී අවසානයේ හුස්ම ගැනීමේ අපහසුතාව දැනෙද්දී ඔක්සිජන් ලබා දිය යුතුය.

අප නිවෙසේ නවතින්නට තීරණය කළ පසු මුලින්ම කළේ පවුලේ වෛද්‍යවරයාට දුරකතනයෙන් මේ බව පවසා වෛද්‍ය උපදෙස් පැතීමයි. ඒ අනුව ඔහු විටමින්, පැරසිටමෝල් ඇතුළු අවශ්‍ය ඖෂධ වට්ටෝරුව ලබා දීමට කටයුතු කළේය. එසේම මට ඉතාම හිතවත් විශේෂඥ වෛද්‍යවරයකු නිරතුරුවම කතා කරමින් සුවවෙන තෙක්ම අපට අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ වෛද්‍යවරයකු යනු දෙවියකු බවට ජීවමාන සාක්ෂි ලබා දෙමිනි.

කොරෝනා වයිරසය අප දෙදෙනාටම දැඩි ලෙස බලපෑම් කළේය.

කිසිඳු ගඳක්, සුවඳක් දැනෙන්නේ නැත. කෑමට කිසිම පිරියක් නැත. ඒ වගේම කෑම මෙලෝ රහක් නැති අතර ලුණු රස පමණක් අධික ලෙස දැනේ. හිසරදය, අධික උණ, බඩ බුරුලට යාම නිසා ඇඟට සතේක පණක් නැත. හිස ඔසවා අඩි දහයක් වත් ඇවිද යන්නට බැරි අතර එවිට අධික වෙහෙසක් දැනේ. අතපය තළා දැමූ කලෙක මෙනි. අත් පා වල ඇට කටු පවා අධික ලෙස වේදනාවක් ගෙන දෙයි.

සැබැවින්ම වයස අවුරුදු 70-80ක පමණ වයසේ පසුවන වැඩිහිටියකුට මෙය වැලඳුණු විට ඔවුන් අධික ලෙස මෙයින් පීඩාවට පත්වන බව ගැන කියන්නට වචන නැත.

ඒ නිසා මම ඔබෙන් ආදරයෙන් ඉල්ලීමක් කරමි. ඔබේ මව්පියන් ඇතුළු වැඩිහිටියන් ආරක්ෂා කරගන්න. ඔවුන්ට තවමත් එන්නත් ලබා දී නොමැතිනම් අදම එන්නත් කරවන්න. හදිසියේ හෝ ඔවුනට රෝගය වැලඳුණහොත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඔවුනට ආදරයෙන් අවශ්‍ය ඇප උපස්ථාන කරන්න.

ඒ තරමට මෙයින් ශරීරයට දැනෙන වේදනාව අධිකය. දැනෙන අසරණකම, මරණ බිය අධිකය. එවිට තමන්ගේ දරුවන්, ඥාතීන් තමන්ට ඇප උපස්ථාන කරද්දී සිතට දැනෙන සතුට, ප්‍රීතිය ජීවත් වන්නට අලුත් බලාපොරොත්තු රැසක් ලබා දේවි.

එසේ නොවී ඔවුන්ට හුදෙකලා වී, අසරණලෙස සිතින් දැවි දැවී සිටින්නට සිදුවුවහොත්, එසේ සිට මියගියහොත් ඔබට අවසන් ගෞරව කරන්නට, බෞද්ධයකු නම් පාංශුකූලය දෙන්නට හෝ අවස්ථාවක් නොලැබේවි.

මටත් බිරියටත් පුතා සහ ලේලිය ඉතාමත් කැපවීමෙන් අවශ්‍ය ඇප උපස්ථාන කරමින් අප රැකබලා ගත්තෝය. බිරියගේ නැඟණිය ඇතුළු පවුලේ අය අවශ්‍ය ආහාර පාන සකසා දෙමින්, බෙහෙත් ඇතුළු අවශ්‍ය දෑ ලබා දුන්නෝය.

එසේම අසල් වැසියන්, ඥාතීන් මෙන්ම මිතුරන් ආහාර පාන ඇතුළු බොහෝ දේ ගෙනැවිත් දුන්නෝය.

රෝගය වැලඳී පස්වැනි දිනයේ රාත්‍රියේ මට හුස්ම ගන්නට අපහසු විය. කොතරම් අපහසු වූවාද යත් මා මිය යාවි යන බිය මට දැනුණේය. මගේ ඇඟ හිරිවැටී ගොසිනි. මා කුමක් කරන්නද? රෝහල් ඉඩනැත. දැඩි සත්කාර ඒකක ඉඩ නැත. මෙවන් අවස්ථාවක ඔක්සිජන් ලබා දිය යුතුය. එහෙත් එය සිදු කරන්නට රෝහලකට රැගෙන යන්නට පෙර මා මිය යාවි දෝ යන බිය මට ඇතිවිය. මුළු සිරුරම දහදියෙන් තෙත්වී ගොසිනි.

මා ඇඳ් ඉඳගත්තෙමි. අපහසුවෙන් හුස්ම ගන්නා අතර සිත සන්සුන් කරගන්නට සිතුවෙමි. මරණයට පත්වුවත් කරන්නට දෙයක් නැත. ඒ මා රැගෙන ආ ආයුෂ විය යුතුය. ඒ නිසා යහපත් සිහියෙන් යුතුව මුහුණ දෙනවා හැරෙන්නට කරන්නට දෙයක් නැත.

මා මුලින්ම පන්සිල් ගත්තෙමි. මා අදහන සියලු දෙවියන්ගෙන් පිහිට ඉල්ලුවෙමි. මෙතෙක් මා කළ හොඳ සියල්ල එකින් එක සිහිපත් කරමින් සතුටු වුණෙමි. මව්පියන්ට ඇප උපස්ථාන කිරීම, වචනයකින් හෝ වෙනත් කෙනකුගේ සිතක් නොරිදවීම මේ ආදී බොහෝ දේ පෙළ ගැසී එන්නට පටන් ගත්තේය. විනාඩි කිහිපයක් ගෙවී යන්නට ඇත. අවසානයේ මගේ හුස්ම ගැනීමේ අපහසුතාව පහවී ගියේය.

මේ අත්දැකීම ඔබට පැවසුවේ එක් දෙයක් ගැන කියන්නටය. අප ඉපදෙන විටම අතමිට මොළවාගෙන එන මරණයට කොයි මොහොතේ අප ගොදුරුවේදැයි කියන්නට බැරිය. එහෙත් ඒ මොහොත කවදා කොතැනකදී සිදු වූවත් යහපත්ව ජීවත් වෙමින්, අවශ්‍ය යුතුකම් කොටස තම ආදරණීයන්ට, ඥාතීන්ට මව්පියන්ට අසල්වැසියන්ට , රැකියාවට , සමාජයට අවසානයේ රටට ඉටු කර තබන්නට කියන පණිඩුඩය ගැන කියන්නටය.

එසේ නම් මේ මොහොතේ අප කළ යුතු වන්නේ මුළු ලෝකයම වෙලාගෙන ඇති මේ කොරෝනා උවදුරෙන් රටක් ලෙස ගැලවෙන්නට අවශ්‍ය යුතුකම් කොටස ඉටු කිරීමයි.

ඒ සඳහා මුහුණු පොතේ මෙන්ම ඇතැම් අන්තර්ජාල වෙබ් අඩවි වල අදහස් දක්වන්නන්ගේ අති පණ්ඩිත, ඔළ මොට්ටල අදහස්වලට කටයුතු නොකර සිහි බුද්ධියෙන් සිතා කටයුතු කිරීමය.

මුලින්ම ඔබ තවමත් කොරෝනාවට එරෙහි එන්නතක් ලබාගෙන නොමැති නම් අදම එන්නත ලබා ගන්න. එහිදී එන්නත තෝරන්නට යන්න එපා. මේ වනවිට ලොවපුරා වැඩිපුරම කෝවිඩ් රෝගයෙන් මිය යන්නේ එන්නත ලබා නොගත් අය බව තහවුරු වී තිබේ. එසේම එන්නත් දෙකම ලබා ගත් අයට කෝවිඩ් වැලඳෙන එක නවත්වන්නට බැරි වුවත් මරණයෙන් බේරෙන්නට හැකිය.

එසේම එන්නත ලබා ගත්තත් මුව ආවරණ නිසිලෙස පැලඳීම, නිරන්තරයෙන් විසබීජ නාශක දියරයක් යොදා දෑත් පිරිසුදු කර ගැනීම, ජනතාව ගැවසෙන ස්ථානයකදී දුරස්ථභාවය පවත්වා ගැනීම යන සරල සෞඛ්‍ය පුරුදු පිළිපැදීමත්, රැකියාවට , අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවෙසින් බැහැරට නොයා සිටීමත් සිදු කරන්න. එලෙස අප සැම විටම සෑම දෙනෙක්ම කටයුතු කළහොත් කොරෝනා පරාජය කරන්නට අපට හැකිය.

අපි අපේ යුතුකම් කොටස නිසි ලෙස ඉටු කර මුව ආවරන නැති, කොරෝනා බියෙන් තොර රටක නිදහසේ ජීවත් වන්නට අවශ්‍ය පරිසරය සකසා ගන්නට වෙහෙසෙමු.

 

මම ඉඳුනිල් විරරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.