ඔමෙගා 3 වැඩි වුණත් ලෙඩ අඩු වුණත් ලෙඩ

ජනවාරි 24, 2022

රැල්ලක් විදියට විටමින් ගැනීම කාලයක සිට අපේ ජනතාව ගේ පුරුද්දක්. රැල්ලට ගන්නා විටමින අතරේ විටමින් Eවලට වාගේම ඔමෙගා 3 ( alpha-linolenic acid (ALA))ටත් ඇත්තේ විශාල ඉල්ලුමක්. ඒ නිසාම සමහර ආහාර දවටනවල විශාල අකුරින් ඔමෙගා 3 යනුවෙන් සඳහන් කර තිබෙනවා.

ඔමෙගා 6 හා ඔමෙගා 9 ට වැඩි ඉල්ලීමක් ඔමෙගා 3ට තිබෙනවා. බොහොමයක් බෝ නො වන රෝග සඳහා ඉටු දෙවියෙක් බවට ඔමෙගා 3 පත්ව තිබෙන බවට පැතිරෙන කසුකුසුව බෙහෙවින් ම මේ ඉල්ලුමට හේතුවෙලා.

වයස් කල්‍යාණය රකින්න, හදවත්රෝග අඩු කරන්න, ආතරයිටිස්වලින් සහනයක් ලබන්න, අක්මාවේ මේදයෙන් සහනයක් ලබන්න, පිළිකා සෛල මර්දනය කරන්න, අධි රුධිර පීඩනය අඩු කරන්න එකී මෙකී නොකී රෝග ගණනාවකට ම ඔමෙගා 3 දිව ඔසුවක් බවයි කියන්නේ.

ඔමෙගා 3 ඇත්ත කතාව මොකක්ද ?

සමහර මේද සිරුරින්ම නිපදවෙනවා. ඔමෙගා 3 සිරුරෙන් නිපදවෙන්නේ නැති, ආහාර මඟින් පමණක් සිරුරට ලබාගත යුතු මේද වර්ගයක්. මේවා අපේ සෛලවල ඇති තුනී පටකවල අත්‍යාවශ්‍ය කොටසක්. හදවතේ, ඇස්වල, මොළයේ, සෞඛ්‍ය්‍යට මේවා නැතිවම බැහැ. ළදරුවන් ගේ මොළයේ වර්ධනයටත් ඔමෙගා 3 අත්‍යවශ්‍යයි. නහරවල අහිතකර කොලෙස්ටරෝල් බැඳීම - අක්මාවේ මේද සෑදීම අඩු කරනවා. ඒ නිසා ඔමෙගා 3 ගැන ඇති කතාවේ ඇත්තක් තියෙනවා.

අප රැල්ලට ඔමෙගා 3 අඩංගු කරල් මිලදී ගැනීමට පුරුදුවී සිටියත් සමහර ආහාරවල ද ඔමෙගා 3 අඩංගුයි.

සැමන්, සාඩින් හා මැකරල් ඔමෙගා 3 බහුල ම ආහාරයි. ඊ‍ට අමතරව බොහෝ තෙල් සහිත මසුන් ආහාරයට ගැනීමෙන් ඔමෙගා 3 ලබා ගැනීමට පුළුවන්. හුරුල්ලෝ, සාලයෝ, කුම්බලාවෝ වැනි මාළු සේදීමේදී අතේ තෙල් මෙන් තැවරෙන්නේ මේ වටිනා මේද වර්ගයයි. ඒ නිසා මාළු සේදීමේදී තෙල් ගතිය නැතිවන තුරු සෝදන්න එපා.

තල, වොල්නට්, වට්ටක්කා වැනි ඇට වර්ගවල, අලිගැට පේරවල, බිත්තරවල, පරිප්පුවල, සෝයා බෝංචිවල ඔමෙගා 3 අඩංගුවී තිබෙනවා.

ඔමෙගා 3 ඇති ගුණ වර්ණනාව නිසාම මාස්පතා පෙති වශයෙන් මේවා ගැනීමට අපේ අය, වැඩිපුර ම ගෘහණියන් පෙලඹී සිටිනවා. ඒත් කෙතරම් ඔමෙගා 3 පරිභෝජනය කළත් බෝ නොවන ලෙඩවලින් සහනයක් නැත්තේ ඇයි ? ජලය වුණත් අප පානය කළ යුත්තේ පමණ දැන ගෙනය. ඔමෙගා 3 ටත් මෙය පොදුයි. ඔමෙගා 3 මෙන් ම තවත් ඔමෙගා කාණ්ඩ ද සිරුරට අවශ්‍යය.

ඔමෙගා 6 ( linoleic acid ) අම්ලය අපේ ශරීරය පුරාම තිබෙන දෙයක්. සිරුරේ සෑම සෛලයක ම ක්‍රියාකාරිත්වයට මේවා අවශ්‍යයි. අවශ්‍ය තරම් ඔමෙගා 6 නො ලැබුණොත් අපේ සෛල නියමාකාරයෙන් ක්‍රියාකරන්නේ නැහැ. මෙයින් ද අහිතකර කොලෙස්ටරෝල් අඩු කරනවා. හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවනවා. රුධිරයේ සීනි මට්ටම යහපත් මට්ටමින් පවත්වා ගෙන යන්න උපකාරී වෙනවා. මේ මේද වර්ගය එළවළු තෙල්වල, තිරිඟුවල, සෝයාබෝංචි තෙල්වල අඩංගුයි.

ඔමෙගා 3, ඔමෙගා 6 ට වඩා අවශ්‍යයි

බොහෝ දෙනකු ඔමෙගා 3 වැඩිපුර සිරුරට අවශ්‍ය බව දන්නේ නැහැ. ඔමෙගා 3 රුධිරය කැටි ගැසීම වළක්වන ගුණයක් පවතිනවා. ඔමෙගා 6 හි රුධිරය කැටි ගැසීම වළක්වන ගුණයක් පවතිනවා. නාලවල රුධිරය ගමන් කරද්දී ඔමෙගා 3 හා ඔමෙගා 6 නියමිත අනුපාතයෙන් තිබිය යුතුයි. රුධිර නහරයක රුධිරය ගමන් ගනිද්දී රුධිරය කැටි නො ගැසී පැවතිය යුතුයි. නහර බෙදෙන තැන්වලදී කැටි ගැසිය යුතුයි. මේ සඳහා මේ මේද අම්ල දෙක නියමිත අනුපාතවලින් තිබිය යුතුයි.

ශාකමය ආහාරවලින් ඇති තරම් ඔමෙගා 6 ලැබෙනවා. ඒත් ඔමෙගා 3 ඒ තරම් ලැබෙන්නේ නැහැ. ඔමෙගා 3 අඩුවී වැඩිපුර ඔමෙගා 6 සිරුරට ලැබුණ විට ප්‍රදාහයන් ඇතිවීමේ අවදානම වැඩි වෙනවා. හෘද රෝග, ආඝාතය, දියවැඩියාව, ස්ථුලතාව, ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම්, රුමැටොයිඩ් ආතරයිටිස්, සමහර පිළිකා ආසාදන නිසා ඇති වන්න පුළුවන් ලෙඩ රෝගයි. ඔමෙගා 3 ප්‍රදාහයන් වළක්වන නමුත් ඒවා අඩුවෙන් ගත් විට ඔමෙගා 6 වැඩියෙන් ගත්විට ආසාදන අඩු කිරීමේ වාසිය ලබා ගන්න බැරි වෙනවා. නිර්මාංස අයට ඔමෙගා 3 ලබා ගැනීම විශාල ගැටලුවක්. ඔවුන්ට මුහුදු ඇල්ගී මඟින් ඒවා ලබා ගන්න පුළුවන්. මාළුන්ටත් ඔමෙගා 3 ලැබෙන්නේ ඇල්ගී ආහාරයට ගැනීමෙන්.

ඔමෙගා 3 කරල් විදියට ගැනීමේදී බලන්න ම ඕන දෙයක් වෙළෙඳ පොලේ ඇති බොහොමයක් ඔමෙගා 3 කරල් කල් ඉකුත්වූ ඒවා බව අනාවරණය වෙලා. පොල්තෙල් මුඩු වෙනවා වගේ මේවා ද මුඩු වෙන්න පුළුවන්. ඔමෙගා 3 ලබා ගන්න ඇති ජනප්‍රියම ක්‍රමය මාළුතෙල් කරල් වශයෙන් ලබා ගැනීමයි. අපේ රටේත් වෙනසක් නැහැ. මින්පසු කරල් ගනිද්දී එහි නැවුම් බව ද බලන්න අමතක කරන්න එපා.

උපදෙස් - කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ ද සිල්වා

සටහන චම්පිකා දීපානි රණසිංහ