මහේෂ් දුක්ගන්නාරාළ මිය ගිය අනතුර කුමක් ද?

අගෝස්තු 8, 2022

 

නිවෙසේ නාන කාමරය ගැන හිතන්න

අපේ ගෘහණියන්ට කියා දෙන තවත් පාඩමක්

 

පසුගියදා සමාජ මාධ්‍ය කැළඹූ පුවත බවට පත් වූයේ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයකුගේ හදිසි වියෝවයි. ඔහු තමයි මුළු රටම දන්න මහේෂ් දුක්ගන්නාරාළ... භෞතික විද්‍යා ගුරුවරයකු වූ මහේෂ් ගැන නො දන්න විද්‍යා විෂයයන් හදාරන දරුවෙක් නැති තරම්. ඒ තරමටම ඔහු ප්‍රසිද්ධයි. මහේෂ්ගේ හදිසි වියෝව ගැන සමාජ මාධ්‍යවල ඔහුගේ මිතුරන් සංවේදි සටහන් රාශියක් යොදා තිබුණා. ඒ අතුරින් ඉතාම හෘදයාංගම සටහනක් යොදා තිබුණේ දිනේෂ් මුතුගල. ඔහුත් ටියුෂන් ගුරුවරයෙක්. බොහෝ විට ටියුෂන් ගුරුවරයෙක් තවත් ගුරුවරයෙක් ගැන හොඳ කියනවා හරිම අඩුයි. හැබැයි ඔහුගේ සටහන දැක්කම මහේෂ් කියන්නේ මනුස්සකම පිරුණු ගුරුවරයෙක් කියලා අපට හිතෙනවා.

 

“දුකා යන්න ගිහින්...

මහේෂ් දුක්ගන්නාරාළ කියන අහිංසකම අහිංසක ටියුෂන් ගුරුවරයා ජීවන ගමනෙන් සමු අරන්. මේ සටහන මම ලියන්නේ අයියේ උඹට කියන්නයි. මම දන්නවා උඹ දැන් අපි අතර නෑ කියලා. ඒත් ඉන්න අපිට ලියන්න වෙනවා. මොකද උඹට නොවෙයි දුක‍. අපිටයි දුක....

මම ටියුෂන් පටන් ගත්තේ 2010. උඹ එනකොට නාරම්මල පිසික්ස් උගන්වනවා. මමත් පංති පටන් ගත්තා විතරයි. පස්සේ ජීවිත ගමනේ අනෙක විධ සීමා තරණය කරලා උඹයි මමයි ආයෙම මුණගැහෙනවා. එදා මූණට මුණගැහිලා “මල්ලි” කියපු විදිහ අදටත් මතකයි. උඹ පුදුම නිහතමානී මිනිහෙක් අයියේ. මේ පින්තූරේ ගත්තේ එදා ඒ මුණගැසුණු දවසේ. වැඩසටහනකට සහභාගී වෙන්න ආව වෙලාවේ. අනිත් අය එක්ක උඹ කතා කරද්දී මම හරිම ආසාවෙන් ඒ දිහා බලාන හිටියේ. එච්චරටම ඒ කතාව නිහතමානි නිසා. හැබැයි මම ජිවිතේට හිතුවේ නෑ මේ පින්තූරේ මේ විදිහට දාන්න වෙයි කියලා. උඹ මොනතරම් නිහතමානී මිනිහෙක් ද? මට දුක ටියුෂන් ගුරුවරයෙක් නැති වුණු එකට නොවෙයි. මේ ලෝකෙට අඩුවෙන්ම ඉන්න නිහතමානී මිනිස්සු කිපදෙනා අතුරින් එක්කෙනෙක් නැති වුණු එකටයි. හැබැයි උඹ කොච්චර දක්ෂ ගුරුවරයෙක් ද කියලා උඹෙන් ඉගෙන ගත්ත ළමයි කෑ මොරදීදී කියනවා. ඒ සාක්ෂිය හොඳටම ඇති. අපි කියනවටත් වඩා. මට වැඩි වචන නෑ. උඹ සනීප වෙලා එයි කියලා බලාගෙනයි හිටියේ. එදාට ආයෙම උඹේ කතාවක් අහලා හිනාවෙන්න. ඒත්... ආයෙම උඹ එන්නේ නෑ. ඒ නිසා පතන්නම් අයියේ... උඹට ඒ අමා නිවන් සුව බොහෝදුර නොවේවා.....!

මුතුගල මල්ලී"

 

ඇතැම් මරණ සිදුවෙන්නේ අනතුරු නිසයි. එවැනි අනතුරු බොහෝමයක් සිද්ධ වෙන්නේ අපිම කරන වැරැදි නිසයි. මඟතොටේ දී සිදුවන හදිසි අනතුරුවලට අමතරව බොහෝ මරණ සිද්ධ වෙන්නේ ගෘහස්ථ අනතුරු නිසයි. ඇතැම්විට නිවෙසේ අලුත්වැඩියා කටයුතුවල දී ඉහළ ස්ථානයක සිට ඇදවැටීම නිසා මිය යනවා. තවත් සමහර අවස්ථාවල දී අනතුරු සිද්ධ වෙන්නේ නිවෙසේ නාන කාමරයේ ලිස්සා යෑමෙන්. මහේෂ් දුක්ගන්නාරාළ ගුරුතුමාගේ මරණයත් සිද්ධ වෙන්නේ එවැනි සිදුවීමකින්. ඔහුගේ සුන්දර නිවහනේ නාන කාමරයේ දී ඇද වැටීමෙන් ඔහුගේ හිස බිම වදිනවා. එහිදී සිදුවන හදිසි කම්පනය හා නහරයක් පුපුරා යාමෙන් අභ්‍යන්තරයේ ලේ ගැලීමක් නිසා තමයි ඔහු මිය ගියේ.

මෙවැනි අනතුරු ගැන අපට නිරන්තරයෙන් දැන් අසන්න ලැබෙනවා වැඩියි. බොහෝවිට නාන කාමරයේ ඇද වැටෙන්නේ වැඩිහිටි පුද්ගලයන්. එයට හේතු ගණනාවක් තිබෙනවා. ඇත්තට දැන් ලස්සන නාන කාමරයක් කියන්නේ ට්‍රෙන්ඩ් එකක් වෙලා. නමුත් ලස්සනට හදන මේ නාන කාමරය තමයි අපට අනතුරකට අත වනන්නේ. නාන කාමරයක් හදන්න දැන් ලක්ෂ ගණනක් වැය වෙනවා. මේ තරම් මුදලක් වියදම් කරලා හදපු නාන කාමරයේම වැටිලා අනතුරක් කරගන්නේ අපිමයි. හරි වුවමනාවෙන් ආසාවෙන් හදපු නාන කාමරය ටික දවසක් යනකොට අසූචි මහා නරකාදීය වගේ වුණු නිවාස අප අනන්තවත් දැකලා ති‍ෙයනවා. ඒවා සති ගණනකින් පිරිසුදු කරලා නැහැ. බොහෝ නාන කාමරවල පිරිසුදුකම රැකගන්න සෙරෙප්පු කුට්ටමක් තබනවා. මේ සෙරෙප්පු කුට්ටම ටික දවසක් යද්දී ගෙවෙනවා. නැත්නම් පරණ සෙ‍ෙරප්පු කුට්ටමක් තමයි තියෙන්නේ. නාන කාමරේ දවස් දෙක තුනක් තෙතමනය ති‍ෙයන කොට ලිස්සනවා. මේ ගෙවුණු සෙරෙප්පු කුට්ටමක් දාගෙන යනකොට අනතුරක් වෙන එක ගැන ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ.

ඒ වගේම තමයි නාන කාමරවල යොදන ටයිල්. මේ සඳහා රළු මතුපිටක් ඇති ටයිල් නොයදා බාල වර්ගයේ ටයිල් යෙදීමත් අනතුරකට අතවැනීමක්. අපි නාන කාමර පිරිසුදු කරන්නේ ඒ සඳහා විශේෂ වූ පිරිසුදු කාරකයක් යොදන්නේ නෑ. අතට අසුවෙන රෙදි සෝදන සබන් කුඩු වර්ගයක් හෝ කුමක් හෝ පිරිසුදු කාරකයක් යොදනවා. හැබැයි පොඩි ලාභය නිසා අපට වෙන හානිය වැඩියි. ලිස්සන පොළොවකට ගැළපෙන ටයිල් ක්ලිනර් භාවිත කළ යුතුමයි.

නාන කාමරය තුළ නාන ස්ථානය ආවරණය කළොත් ඒ ස්ථානයෙන් නාන කාමරය පුරා විහිදෙන ජලය අවම කරගන්න පුළුවන්. එයින් නාන කාමරයේ තෙතමනය නො රැඳීම නිසා ඔබගේ ආරක්ෂාවට එය ඉතාම ප්‍රයෝජනවත්.

සමහරවිට ඔබ නාන කාමරය තුළ රෙදි සේදීම කරනවා. ඒ වෙලාවට සබන් පෙණ විසිරෙනවා. මෙලෙස පෙණ රැඳීම නිසා අනතුරක් වීමට ඇති හැකියාව වැඩියි. එයින් ඔබ හෝ පවුලේ සාමාජිකයකුට අනතුරක් වෙන්න පුළුවන්.

මේ පුංචි දේවල් අප ඔබට අමුතුවෙන් කියාදිය යුතු දේවල් නොවෙයි. ඒත් අපගේ නොසැලකිල්ල නිසා මේ වගේ අනතුරු කොයිතරම් දිනකට සිද්ධ වෙනවාද? ඒ ගැන සිතා ඔබ ගෘහණියක් ලෙස ඔබේ නිවෙසේ නාන කාමරය රාත්‍රී කාලයේ දී විනාඩි පහක් වැනි කාලයක් යොදා හොඳින් පිරිසුදු කරන්න. එය ඔබටත් ඔබේ පවුලේ සැමගේ ආරක්ෂාවටත් වඩාත්ම ප්‍රයෝජනවත් වේවි. එසේම එය ලොකු අනතුරක් වළකා ගැනීමටත් හේතුවක් වේවි. නැතිනම් සිදුවන්නේ විශාල මුදලක් වියදම් කළ තැනූ නාන කාමරය නිසා සැමදා දුක් වෙන්නටයි.