සනීපාරක්ෂාව වෙනුවෙන් බදු සියල්ල ඉවතට

පහසුවට, ලෙහෙසියට සනීපාරක්ෂක තුවා
ඔක්තෝබර් 17, 2022

 

 

ගැහැනු දැරියන්, යුවතියන්, කාන්තාවන් සනීපාරක්ෂක තුවා සමඟින් බද්ධ වී සිටිනුයේ තවදුරටත් එය අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන නිසයි. සනීපාරක්ෂක තුවා සඳහා වන අමුද්‍රව්‍ය ආනයනයට අයකරනු ලබන බදු හේතුවෙන් ඒවායෙහි මිල ඉහළ යෑමත් සමඟ එය වඩාත් කතා බහට ලක්වන මාතෘකාවක් බවට පත් විය. දේශීයව නිෂ්පාදිත සනීපාරක්ෂක තුවා සඳහා ආනයනික අමුද්‍රව්‍ය සියල්ල මත පැනවූ බදු ඉවත් කිරීමට රජය ගත් තීරණයත් සමඟින් සැනසුම් සුසුම් හෙළන්නට දැන් හැකිව තිබේ.

 

සනීපාරක්ෂක තුවා නිපදවීම සඳහා ගන්නා අමුද්‍රව්‍ය මෙරට නිපදවීම අසීරු කාරණයකි. ඒ සියල්ලක්ම විදෙස් රටවලින් ආනයනය කරයි. ඊට එකතු වූ බදු මුදල් ශූන්‍ය කිරීමත් සමඟින්, එනම් අමුද්‍රව්‍ය ආනයනය මත පැනවූ බද්ද සේම එය මිල දී ගැනීමේ දී පාරිභෝගිකයාට ගෙවන්නට සිදු වූ සියයට 15 ක බදු මුදල් ද ඉවත් කිරීමත් සමඟින් එම සහනය ඍජුවම ඉදිරියේ දී පාරිභෝගිකයාට හිමිවනු ඇත.

සනීපාරක්ෂක තුවා නිපදවන මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් ආනයනික බද්ධට යටත්ව ගෙන්වූ අමුද්‍රව්‍යවලින් නිමවූ සනීපාරක්ෂක තුවා පවා ඉදිරියේදී බද්දක් නොමැතිව අලෙවිවන මුදලටම පාරිභෝගිකයාට සපයනු ඇත.

 

වයස් කාණ්ඩ

අවුරුදු 12ත් අවුරුදු 55ත් අතර වයස් කාණ්ඩයේ සිටින දැරියන් සහ කතුන් සනීපාරක්ෂක තුවා භාවිත කරන ඉලක්කගත කණ්ඩායමයි.

 

සම්ප්‍රදායික ක්‍රම

ඉහත දැක්වූ වයස් කාණ්ඩයේ සිටින කාන්තාවන් සහ දැරියන් අතරිනුත් මිලියන 1.3 ක පිරිසක් තවමත් සනීපාරක්ෂක තුවා භාවිත නොකරන පිරිස් ගොන්නට අයත් වේ. ඔවුන් බොහෝ විට රෙදි ඇඳීම, තමාටම ආවේණික ක්‍රමයකට සකසා ගත් නැප්කින් එකක් භාවිතය වැනි සාම්ප්‍රදායික ක්‍රමවේදයන් අනුගමනය කරයි. මෙය ගම්බද පමණක් නොව නගරබදව පවා සිදු වේ. මීට පරම්පරා දෙකකට පමණ පෙර සිටි උදවිය අනුගමනය කළාක් මෙන් පරණ පුරුද්දටම අනුගත වීම මෙයට හේතුවකි. එසේම සනීපාරක්ෂාව පිළිබඳ එතරම් දුරට නොසිතීම සහ ඒ පිළිබඳ දැනුම්වත් නොවීම ද මූල්‍යමය අපහසුතා හැරුණුකොට සනීපාරක්ෂක තුවා වෙත යොමු නොවීමට බලපා ඇති හේතු කාරණායි.

 

ආසාදන

ඔසප් දිනවලදී සනීපාරක්ෂක තුවා භාවිත නොකර සනීපාරක්ෂාව පිළිබඳ සැලකිලිමත් නොවුණහොත් ඒ ආශ්‍රිත සමෙහි බැක්ටීරියා ආසාදනය ඇතිවීම වැළැක්විය නොහැකියි. එම ප්‍රදේශය ඉතාම මෘදු ගතියෙන් යුතු ප්‍රදේශයක් වීම ඊට හේතුවයි. ඔසප් දිනවලදී බැහැර වන්නේ අපිරිසුදු රුධිරය නිසා එය බැහැර වීමට නිසි ක්‍රමවේදයන් අනුගමනය නොකිරීම ආවට ගියාට සැලකිය හැකි දෙයක් නොවේ. බැක්ටීරියා ආසාදනයත් සමඟම දුගඳක් හමන්නට ඇති ඉඩකඩ ද වැඩියි.

මෙසේ යෝනි මාර්ගය අවට ඇතිවන ආසාදනයන් ගර්භාෂය කරා ගොස් එය ද ආසාදනය විය හැකියි. එවන් කාරණා අනාගතයේ දරු පිළිසිඳ ගැනීම් හා දරු ප්‍රසූතිය කෙරෙහි පවා ඍජු බලපෑම් එල්ල කරයි.

 

අනාගතයට බලපෑම

දරු පිළිසිඳ ගැනීමක් කෙරෙහි පවුලේ උදවිය එකට එකතු වී එකතුවී කතාබහ කළත් මල්වරය, ඔසප්වීම, සනීපාරක්ෂක තුවා යනාදිය කෙරෙහි සුහද කතාබහක නියැළෙන්නේ නැත. එය ලැජ්ජාවට කරුණක් සේ සලකයි. එහෙත් වයසින් වැඩෙත්ම මෙය සාමාන්‍ය කරුණක් බව අවබෝධ කර ගන්නා තරමට ඉන් සිදුවන අපහසුතා මඟ හැරේවි.

 

ආකල්පමය වෙනසක අවශ්‍යතාව

මාසික ඔසප් වීමත් සමඟින් ඇතැම් දැරියන් පාසල් නොයන්නට සිතයි. සනීපාරක්ෂක තුවා භාවිත කරන්නට ඇති ඉඩකඩ ඇහිරී තිබීම ඊට එක් හේතුවක් විය හැකියි. විශේෂයෙන්ම මිශ්‍ර පාසල්වල ඉගෙන ගන්නා දරුවන් නිල ඇඳුමේ පැල්ලම් තැවරේවි යන බියකින් පසු වේ. ඔසප් වීම තවදුරටත් සඟවා තැබිය යුතු කාරණයක් නොවේ. දැරියක් වේවා කාන්තාවක් වේවා මේ දිනවල දී අපහසුතාවකට පත් වුවහොත් ඇයට උදව් උපකාර කිරීම වඩා වැදගත්. නිවෙසේ සිටින පියාට, වැඩිමල් සොයුරාට, පාසලේ මිතුරන්ට පවා සනීපාරක්ෂක තුවායක් ගෙන එන්න යැයි ඍජුව පවසන්නට හැකි අන්දමේ වටපිටාවක් නිවෙසේ, පාසලේ ගොඩනැඟී තිබිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසකි.

 

සනීපාරක්ෂක තුවා වර්ග

සනීපාරක්ශක තුවායක් යැයි කී පමණින් බොහෝ දෙනා මාසික ඔසප් වීමකදී එක් වර්ගයක සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් ලබා ගැනීම ප්‍රමාණවත් යැයි සිතයි. එහෙත් ඔසප් වීම පවතින දින හතර, පහ, හය කාලයේ සෑම දිනකදීම එකම අන්දමින් රුධිරය ඉවත් වීමක් සිදු නොවේ. එසේම එක් අයකුගෙන් තවත් අයකුට රුධිරය ගලා යෑම විවිධාකාර වේ. දහවලේ අඳින තුවාය රාත්‍රියට නොගැළපේ. ඒ දිනවල දී ඊට අදාළ පරිදි සනීපාරක්ෂක තුවා භාවිත කරන්නේ නම් යට ඇඳුම් නාස්ති නොවේවි. ඔසප් දිනවල දී කොහෙත්ම අපහසුතාවකට පත් නොවී සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන්නට හැකි වේවි. කපුවලින් නිම වූ සනීපාරක්ෂක තුවා ඇඳීමට කැමැති අයට ඒ සඳහා ද ඉඩක් පවතී. සනීපාරක්ෂක තුවාය ඇඳීමේ දී සිරුරට සිර වූ මනා යට ඇඳුමක් ඇඳීම අවශ්‍යම වේ. එයට wings ඇති සනීපාරක්ෂක තුවාය ඇලවීමෙන් යට ඇඳුම කොහෙත්ම නාස්ති නොවේවි. ඔසප් වීමේ අවසන් දින කිහිපයේ මෙන්ම මුළු මාසය පුරාමත් panty liner නමැති සනීපාරක්ෂක තුවාය ඇඳීමෙන් යට ඇඳුම් කාලයක් ඉතාම සුරක්ෂිතව පවතීවි. මෙය තරමක් මිල අධික එකකි.

 

යෞවනියන්ට වෙනමම

අවුරුදු 12 - 18 වයසේ පසුවන දැරියන් ගේ, සිරුරු කාන්තාවන්ගේ සිරුරේ ව්‍යුහාත්මක බවට වඩා තරමක් වෙනස්වද්දී එම වයස්වල අය සඳහාම වූ සනීපාරක්ෂක තුවා ද දැන් වෙළෙඳ පොළේ දක්නට ලැබේ.

 

ලූප් නැප්කින්

දරු ප්‍රසූතියේ දී මෙන් ම තවමත් ගම්බද ප්‍රදේශවලත් ලූප් නැප්කින් ලෙස සනීපාරක්ෂක තුවා භාවිත කරයි. මේ සඳහා මනා යට ඇඳුමක් ඇඳීම ම අවශ්‍ය නොවේ. ඒ සඳහා ඇති ඉල්ලුම දැන් තරමක් අඩු වෙමින් පවතී.

 

පැය 6කට වරක්

සනීපාරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරද්දී සාමාන්‍යයෙන් සනීපාරක්ෂක තුවායක් පැය 6කට වරක් මාරු කිරීම සුදුසු වේ. එය පළමු දින දෙක තුනේ දී සහ රුධිරය වැඩියෙන් ගලා යන අය අනුගමනය කළ යුතු ම ක්‍රමවේදයකි. ශීත රටවලට සාපේක්ෂව අපේ රට වැනි උෂ්ණ රටවල ඔසප් වීමේදී කාන්තාවන්ට ගලායන රුධිරය තරමක් වැඩි වේ.

 

බැහැර කිරීම

භාවිත කළ සනීපාරක්ෂක තුවා බැහැර කිරීම ද ආරක්ෂිත ක්‍රමවේදයකට අනුව කළ යුතුවේ. එහිදී ඊට අදාළ බෑගයේම ඔතා කසළ බඳුනට දැමිය යුතුයි. භාවිත කළ සනීපාරක්ෂක තුවායක් කිසිසේත්ම කොමඩ් එකකට දමා ෆ්ලෂ් කරන්න හිතන්නවත් එපා.

අනිවාර්යෙන්ම එම නාළ හිර වීමකට ලක් වේවි.

 

 

 

උපදෙස් :

මහරාජා සමූහ ව්‍යාපාරයේ

සමූහ අධ්‍යක්ෂිකා

ශාන්ති බගිරදන්