සමෙහි ස්වාභාවික වර්ණය රැකදෙන බාර්ලි

මැයි 22, 2019

බාර්ලි යනු ආයුර්වේදයට අනුව වසර දස දහසක් පමණ ඈතට දිවයන දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන්නා වූ ධාන්‍ය විශේෂයකි. අධික දාහයට සහ නොසන්සිඳෙන පිපාසයට දිව ඔසුවක් බඳු මෙම ධාන්‍ය යව නමින් ද හැඳින්වෙන අතර බුදුන් දවස හා බැඳුණු යව ආහාර සම්බන්ධ සිදුවීම් පිළිබඳ බෞද්ධ ඉතිහාසයෙහි පවා සඳහන්ව තිබේ.

පුළුල් දේශගුණික පරිසරයක් තුළ පැවතීමට සමත් බාර්ලි මැදපෙරදිග ජනාවාසයන් ආශි‍්‍රතව වගා කෙරුණු පළමු ධාන්‍ය වර්ගය ලෙස ද සැලකේ.

ඒ මෙයට වසර නව දහසක් තරම් වූ ඈත අතීතයේ දීය. වසර දහසකට පමණ පෙර ලංකාවේ හෝර්ටන් තැන්නෙහිද බාර්ලි වගා කොට තිබූ බවට සාධක හමුවී ඇත.

බාර්ලි කරලෙහි ස්වරූපය දක්වතොත් එය වී කරලට බෙහෙවින් සමාන වූවකි. මෙම කරලෙන් ලබාගන්නා බීජයන්හි පොතු ඉවත්කොට ඔප දැමූ කල මුතු ඇට බඳු ස්වභාවයක් ගනු ලබයි.

එම බාර්ලි පර්ල් බාර්ලි (Pearl Barley) යනුවෙන් හඳුන්වනු ලබන අතර පිටි කළ බාර්ලි පේටන්ට් බාර්ලි (Patent Barley)) නම් වේ. ඊට අමතරව බදින ලද බාර්ලි කැබලි වශයෙන් ද වෙළෙඳ පොළට පැමිණේ.

බාර්ලි ආහාරමය වශයෙන්

ආහාරමය වශයෙන් ගත්කල ලාංකිකයන් අතර වඩාත් ප්‍රචලිතව පවතිනුයේ බාර්ලි පානයයි. බාර්ලි පානය සකසා ගන්නා ආකාරය ගෘහණියෝ දනිති. බාර්ලි ඇට හොඳ හැටි තම්බා පෙරාගත් මෙම දියරය අගනා ඖෂධීය පානයකි. රෝගී, නිරෝගී සැමට විශිෂ්ට ගුණ සලසන්නකි.

ඇතැමුන් බාර්ලි පානය හොඳින් නිවෙන්නට හැර ලෙමන් හෝ දොඩම් යුෂ මිශ්‍රකර රසවත් කරගැනීමට හුරුව සිටිති. එළකිරි මුසු බාර්ලි පානය ද රසයෙන් හා ගුණයෙන් ඉහළය. එසේ නමුදු රෝගීන් සඳහා එළකිරි මුසු බාර්ලි පානය සුදුසු නොවේ. ඒ බාර්ලි සෙම කපා හැරිය ද එළකිරි සමඟ මුසුවූ විට සෙම වඩවන හෙයිනි.

කබලේ බැද ගත් බාර්ලි කැබලි කෝප්පයකට තුන් ගුණයක් ජලය සහ සාමාන්‍ය කැඳ පිස ගැනීමේදී යොදාගන්නා අනෙකුත් අමුද්‍රව්‍ය එකතු කොටගෙන රසවත් බාර්ලි කැඳක් පිළියෙළ කරගැනීමට ද හැකිය.

එසේම සුප් සාදන විට ඒ සඳහා බාර්ලි ස්වල්පයක් එක්කර ගන්නේ නම් එහි රසය, උකුබව මෙන්ම පෝෂණ අගය ද ඉහළ නැංවෙනු ඇත. (සුප් පිළියෙළ කිරීමට පැය දෙකකට පමණ පෙර බාර්ලි සෝදා ගරා භාජනයකට දමා එයට උණුවතුර වත්කොට පෙඟෙන්නට තබා සුප් සැකසීමේදී අනෙකුත් කළමනා සමඟ මිශ්‍රකොට පිසගත යුතු වේ. නැතහොත් තම්බාගත් බාර්ලි සාරය ඒ සඳහා එකතු කර ගැනීමට හැකිය)

බාර්ලි පිටි කෙටිකෑම වර්ග සැකසීම සඳහා භාවිත කළ හැකි අතර එහිදී බාර්ලි පිටි යොදාගත යුත්තේ තිරිඟු පිටි හා මිශ්‍රවය.

එලෙස බාර්ලි පිටි හා තිරිඟු පිටි මිශ්‍රකර සකසා ගන්නා රස අහරක් වනුයේ බාර්ලි රොටිය. බාර්ලි රොටි රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූනය. මුං ඇට පැළකර වෑංජනය සකසා ගන්නේ යම් සේද ඒ ආකාරයටම බාර්ලි ඇට පැළකර වෑංජනයක් වශයෙන් පිළියෙළ කරගැනීමට පුළුවන.

ලොව පුරා බාර්ලි අස්වැන්නෙන් වැඩි කොටස මෝල්ට් සෑදීම සඳහා භාවිත වන අතර මෙම මෝල්ට් ශරීර ශක්තිය හීන වූවන්ගේ දුබලතාවට අගනා පථ්‍යයකි.

ඒ හැරෙන්නට බීර පෙරීම සඳහා බහුල වශයෙන් යොදා ගැනෙන ධාන්‍යයක් ලෙස ද බාර්ලි ප්‍රකටය.

උමාඔය නිර්මලී

උපදෙස් - ජ්‍යෙෂ්ඨ ආයුර්වේද කථිකාචාරිනී

එස්.කේ. එම්. කේ. හැරපත්දෙණිය

2019/05/22 තරුණි බලන්න