සිනාසී තර නොවන්න උගන්වන හෙවිවෙයිට්ස්

අගෝස්තු 14, 2019

ළමයින් අතර පවතින ස්ථූලතාව ලෝකයට වගේම අපේ රටට ද ගැටලුවක් වී අවසානය. මවුපියන්ට කලින් දරුවන් බෝ නොවන රෝගවලින් මරුට බිලිවෙයි. තරබාරුකමේ අනිටු විපාක නිසා මහත අඩුකර ගැනීමේ වටිනාකම ලිපි මඟින් කෙතරම් අප කියවා තිබුණ ද සිනමා ඇසින් නරඹා ඇත්තේ අඩුවෙනි. ‘හෙවිවෙයිට්ස්’ ඒ අඩුව පූරණය කරන අපූරු සිනමා සිත්තමකි.

‘හෙවිවෙයිට්ස්’ නමින් 1995 දී තිරගත වූ අමෙරිකානු ප්‍රහසනය කේන්ද්‍ර ගත වූයේ තරබාරු සිසුන් කණ්ඩායමක් වටාය. එකොළොස් හැවිරිදි ජෙරල්ඩ් ගානර් නිවියෝක් හි ලෝන්ග් දූපතේ ජීවත් වන්නෙකි. ඔහු ස්ථූලය. ජෙරල්ඩ්ගේ මවුපියන් ඔහු තරබාරු පිරිමි දරුවන් සිටින කඳවුරට යැවීමට තීරණය කළේ දරුවාට ඇති සෞඛ්‍යය තර්ජනය දැනගෙනය.

කඳවුර පාලනය කරනු ලැබූවේ කරුණාවන්ත අඹු සැමි දෙපොළක් වූ හාවේ බුෂ්කින් සහ ඇලිස් බුෂ්කින් විසිනි. බුෂ්්කින්ලාට ව්‍යාපාරය බංකලොත් වීම නිසා කඳවුර විකිණීමට සිදුවිය. එය මිලදී ගත් ටෝනි පර්කිස් තරබාරු දරුවන් කණ්ඩායමේ බර අඩුකිරීමට යොදාගත්තේ කිසිවකුට සිතා ගත නොහැකි අරුම පුදුම ක්‍රමෝපායන්ය. ඒවා රටේ සමාජ සම්මත ක්‍රම නොවීය. දරුවන් පර්කින්ගේ ක්‍රමවේදයන් දුටුවේ උමතු පුද්ගලයකුගේ විප්‍රකාරයන්සේය.

ටෝනි දරුවන් කුහුඹුවන් මෙන් කැවිලි රැස්කර තිබූ තැන් හිස් කළේය. බාහිර ලෝකය සමඟ තිබූ සියලු සබඳතාවලට තහංචි වැටිණි. එහෙත් කඳවුරේ දරුවන් රහසේ රාත්‍රී කාලයේ මුදලට ආහාර හුවමාරු කර ගත්තේය. තිබුණාටත් වඩා දරුවන්ගේ බර වැඩි විය. ටෝනි බර අඩුකරවීමට ගන්නා වෑයම් සියල්ල ව්‍යර්ථ වෙද්දී දරුවන්ට ඔහු කෙරෙහි ඇතිවූ නොමනාපය දෙගුණ තෙගුණ විය. දිනක් කඳවුරේ දරුවන් ටෝනි බොරු වළකට ඇද දැම්මේය. ඒ සිදුවීම දරුවන්ගේ තරබාරු වීමේ ඉරණම වෙනස් කළේය.

මැදිවියේ පසුවු පැට් තරබාරු කඳවුරේ දරුවන්ගේ නායකයා වීමත් සමඟ සියල්ල උඩු යටිකුරු විය. අවසානයේ දී උසට සරිලන බරකින් යුත් කඳවුරේ දරුවන් තරගකාරී ක්‍රීඩා තරගයක කුසලානය දිනාගැනීමට තරම් සුරු විරුවෝ වූහ. එහෙත් දඩබ්බර ගැටවරයන් ඒ දක්වා රැගෙන යාම පැට්ට නම් එතරම් පහසු කාර්යයක් නොවීය.

‘හෙවිවෙයිට්ස්’ ස්ටීවන් බ්‍රිල්ගේ අධ්‍යක්ෂණයකි. ගීත එකොළහකින් සිනමා පටය රසවත් වී ඇත. ආරන් ස්ක්වෝටීස්, බෙන් ස්ටිලර්, ටොම් මැක්ගෝවන්, ටිම් බ්ලේක් නෙල්සන්, ජෙෆ්රි ටැම්බර්, ජෝශප් මිලර්, ජෙරී ස්ටිලර්, ඈන් මියෙරා ඇතුළු නළු නිළියන් රැසක් ‘හෙවිවෙයිට්ස්’ රංගනයෙන් දායක වී සිටිති.

තරුබාරුකම අඩුකර ගැනීම වැදගත්, වටිනා සෞඛ්‍යය පණිවුඩයක් වුණත් ඒ පණිවුඩය මේ සිනමා නිර්මාණයෙන් දර්ශනයෙන් දර්ශනයට ගෙන එන්නේ හාස්‍ය පදමට මුසු කරමිනි. සිනා වෙවී දරුවන්ට ඉගෙනීමට හැකි පාඩම් රැසක් ව්‍යංගයෙන් මෙහි ඇතුළත් කර තිබේ.

“මේ වතුරට මුත්‍රා කරන්න එපා”

“ඔය වතුර බොන්න එපා. එයා මුත්‍රා කළා” එක ජවනිකාවක අඩංගු ඒ දෙබසින් පිරිසුදුකමේ වටිනාකම ගැන සියුම් ලෙස පණිවුඩයක් ගෙන එයි. දරුවන් වැඩිහිටියන් කියා වෙනසක් නැතිව හෙවිවෙයිට්ස් රස විඳිය හැකි සේම ප්‍රේක්ෂකයන් සැමටම මින් උගත හැකි පාඩම් රැසකි.වෝල්ට් ඩිස්නි නිපැයුමක් වන හෙවිවෙයිට්ස් හොයාගෙන නැරඹිය යුතු සිනමා පටයක් වන්නේ එනිසාය.

අන්තර්ජාලය ඔස්සේ ද මුළු සිනමා නිර්මාණයම රසවිඳීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව උදාකර දී තිබේ.