සුව වූ රෝගීන් රෝහලෙන් මුදා හැරෙන්නේ නව කොරෝනා පරීක්ෂණය නෙගටිව් වූ පසුවයි

අප්‍රේල් 1, 2020

කොරෝනා සුව වූ පසු අතුරු ආබාධ කිසිවක් නැහැ

අසාධ්‍ය තත්ත්වයේ පසුවූ රෝගීන් සුව අතට හැරෙමින් ඉන්නවා

IDH රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ

රෝගීන් ට තම නිවහනට නොදෙවැනි නිවහනක් තනාදෙමින් හරි අපූරුවට ඔවුන් රැකබලා ගනිමින් සත්කාර කරන තැනක්. අපේ භූමියේ ඇත්නම් ඒ ජාතික බෝවන රෝග විද්‍යායතනය නොහොත් ධ්ච්ඩ් රෝහලයි.

මෙහි සිටින වෛද්‍යවරුන් සහ හෙද කණ්ඩායම ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයම දිවිහිමියෙන් තම රාජකාරිය ඉටු කරන්නන් ය. වරෙක ඔවුන් ඩෙංගු රෝගීන් පිහිට වන්නේ රෝගියා ජීවිතයත්, මරණයත් අතර සටනක යෙදී සිටිය දීය.

සමස්ත ලෝකයම අඩපණ කරමින් පැතිරුණු නව කොරෝනා වෛරසය අපේ මාතෘ භූමිය තුළ ද ශීඝ්‍රයෙන් පැතිරෙයි. නව කොරෝනා වෛරසය නොහොත් කෝවිඩ් 19 වෛරසයට එරෙහිව රෝගීන් අවැසි පිළිසරණ ලබාදෙන්නේ ධ්ච්ඩ් රෝහලයි.

ඔවුන් මීට සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නට ආ කොරෝනා ආසාදිත චීන ජාතික කාන්තාව ලූ යෑන් මුළුමනින්ම සුවකොට සිය මව්රට කරා යැවූයේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ සුවිශේෂී කඩ ඉමක් ජය ගනිමිනි.

මෙවර දවසින් දවස කොරෝනා රෝගීන් අතරට පැමිණෙන ශ්‍රී ලාංකේය පුරවැසියන් හා අප රටේ සංචාරය සඳහා පැමිණි විදේශිකයන් සුව කරන්නට දිවා රෑ නොබලා වෙහෙසෙයි. ධ්ච්ඩ් රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන් වන එරංග නාරංගොඩ, ආනන්ද විජේවික්‍රම සහ දමයන්ති ඉඩම්පිටිය යන අය කොරෝනා රෝගීන්ට පිහිට වනුයේ මිහිපිට ජීවමානව වැඩ වෙසෙන දෙවිවරු මෙනි.

මේ අතුරින් කායික රෝග විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ මහතා මින් පෙර ද ‘තරුණී’ හා එක්වූයේ චින ජාතික කාන්තාව සුවපත් කිරීම දක්වා වූ ක්‍රියාවලියේ අත්දැකීම් බෙදාහදා ගන්නටය.

අතිශය කාර්යබහුල හෝරා කිහිපය අතරතුරේ විනාඩි කිහිපයක් ‘තරුණී’ වෙත යොදවන්නට විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ අමතක කළේ නැත.

චීන ජාතික කාන්තාව සුවපත් කළ ඔබ කාර්ය මණ්ඩලය එම අත්දැකීම ශ්‍රී ලාංකීය රෝගීන් සුවපත් කරන ගමනට අත්වැලක් වන්නට ඇති

 

ඇත්තෙන්ම ඔව්. නව කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් 19 වෛරසය මුළු ලොවෙහිම සිටින වෛද්‍යවරුන්ට අලුත් අත්දැකීමක් වුණා. මේ සඳහා ඖෂධයක්, එන්නතක් මේ කිසිම දෙයක් නොතිබුණු නිසා චීන වෛද්‍යවරුන් කලබල නොවුණාමත් නොවේ. ශීඝ්‍රයෙන් බෝවන රෝගයක් නිසා අපටත් යම් චකිතයක් ඇති නොවුණාමත් නොවේ. වාසනාවකට අපේ රටේ පරිසරයේ මේ වෛරසයේ පැතිරීමට අවශ්‍ය ඉඩකඩ නැහැ.

අපි තව අදටත් මේ රෝගයේ රෝග ලක්ෂණ සඳහා යි ප්‍රතිකාර කරන්නේ. දැනට අපි අපේ ඉලක්කයන් වාසනාවන්ත ලෙස ජයගෙන තිබෙනවා. ඉදිරිය පිළිබඳ කාලයාටම භාරදෙමු නේද? ධ්ච්ඩ් රෝහලට වරදින එකක් නැහැ.

අපේ කාර්ය මණ්ඩලය දිවා රෑ නොබලා වෙහෙසෙන්නේ ගෙවල්දොරවල් පවා අමතක කරමින්. ජාතික වගකීමකට උරදීමේ අපේක්ෂාව පෙරදැරි කරගෙනයි අපි කටයුතු කරන්නේ.

වෛරසය පිළිබඳ බිය විය යුතු කාලයක් ද ?

මේ වෛරසය පැතිරෙන්නට ගත්තම ශීඝ්‍රයෙන් පැතිරෙනවා. මුලදී බයක් නොතිබුණත් දැන් බිය විය යුතු අවස්ථාවට එළැඹිලයි තියෙන්නේ. බිය නොවීමෙන් වෙන්නේ රටපුරා වෛරසය පැතිර යෑමක්. මම හිතන්නේ සාරධර්ම අගයන මිනිසුන්, පරාර්ථකාමයෙන් අනුන් දෙස බලන්න හුරු පුරුදු වූ මිනිසුන්ට මෙය ජයගන්න පුළුවන්. තමාගේ වගකීම කවුරු කවුරුත් නිසි පරිදි ඉටුකිරීමයි වැදගත්.

කොරෝනා ආසාදිතයකු නොවන ඔබට මේ සමාජයීය වගකීමට හොඳින්ම උරදෙන්න පුළුවන්. මෙය තවත් කෙනකුගෙන් බෝවන නිසා හැමවිටම පුද්ගලයන් එක් රැස්වන ස්ථාන මඟහැරීම කළ හැකියි. සෙම, සොටු බිඳිති මඟින් බෝවන නිසා කිවිසුම් යෑමේදී, කහිනවිට ඒ කෙනා කොරෝනා ආසාදිතයකු නම් අනෙක් කෙනාට පහසුවෙන්ම බෝ වේවි. මේ නිසා මීටරයක් එකහමාරක් දුරින් සිටීම නුවණට හුරුයි.

ආසාදිත පුද්ගලයකුගේ බිඳිති පෘෂ්ඨ මත තිබිය හැකි නිසා හැමවිටම තමන් අත හොඳින් නොසෝදා තමාගේ ඇස, කට, නාසය ආදිය ඇල්ලීමෙන් වැළකී සිටිය යුතුයි.

හොඳින්ම සුවපත් වූ කොරෝනා රෝගියකුට නැවත කොරෝනා රෝගය වැලඳේවි ද ?

කොරෝනා සෑදී සම්පූර්ණයෙන්ම සුව වූ විට එනම් කොරෝනා පරීක්ෂාව නෙගටිව් වූයේ නම් නැවත වැලඳීමේ හැකියාවක් දැනට නම් නැහැ.

වෛරසය සිරුරෙන් මුළුමනින්ම ඉවත්වීමට සති 5, 6 ක් වගේ ගතවෙන්න පුළුවන්.

දැනට රෝහල්ගතව සිටින රෝගීන්ගෙන් රෝහල් කාර්ය මණ්ඩලයට රෝගය සුවකිරීමේ කාර්යයට ලැබෙන සහය කෙබඳු ද?

දැනට නම් සහයෝගය හොඳයි. තවම සතියක් වගේ කාලයක් ගත වුණේ. චීන ජාතික කාන්තාවගෙන් නම් ලොකු සහයෝගයක් ලැබුණා. ඇය රෝගය සුවවෙලා, වෛරසය එහෙම පිටින්ම සිරුරෙන් ඉවත්ව යනකම් බොහොම සුහදශීලීව සිටියා. රෝගය සුව වූ පසුවත් රෝහලේ විනයානුකූලව සිටීම තමයි වඩාත්ම වැදගත්. තවත් කෙනකුට රෝගය බෝ නොවීමට නම් වෛරසය එහෙම පිටින්ම සිරුරෙන් ඉවත්විය යුතුයි. එවිටයි කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් නිරෝගී පුද්ගලයන් ලෙස සමාජයට මුදාහරින්නේ.

අපේ අය රෝගය පතුරුවන්න හොඳින්ම දායක වුණු බව පෙනෙන්නේ දවසින් දවස වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන වැඩිවද්දී. චීන ජාතික කත නිසා ඇගේ සැමියාටවත් රෝගය බෝවුණේ නැහැ.

IDH  හි සිටින දැනට රෝහල්ගතව සිටින කොරෝනා ආසාදිතයන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය කෙබඳු ද?

නිව්මෝනියා තත්ත්වයට ගිය රෝගීන් කිහිප දෙනකුත් සිටිනවා. අසාධ්‍ය තත්ත්වයේ සිටි රෝගීන් දැන් ඒ තත්ත්වයෙන් මිදිලා. තරමක් සුව අතට හැරෙමින් ඉන්නවා. නමුත් තවමත් ඒ අයගේ සිරුරු තුළ වෛරසය තිබෙනවා.

මේ අයගේ වෛද්‍ය වාර්තා නෙගටිව් වෙනතුරුම ඒ අයව රෝහලෙන් මුදා හැරීම කිසිසේත්ම වෙන්නේ නැහැ. රෝගය සුව වු පසුව කියන්නේ කොරෝනා පරීක්ෂණය නෙගටිව් වුණා කියන දේ.

කොරෝනා රෝගය සුවවීත් පැවතිය හැකි අතුරු ආබාධ තියෙනව ද?

කොහෙත්ම නැහැ.