වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මේ කාලයේ පැපොල වෛරසයත් හිස ඔසවලා
“කෝවිඩ් - 19 “ සැමගේම මුව රැවි දෙන වදන බවට පත්වී තිබුණ ද අපට හුරු පුරුදු තවත් බොහෝ වසංගත රෝග හිස ඔසවමින් පවතියි. පැපොල එවන් එක් වසංගත රෝගයක්. නිරෝධායනය අපට ආගන්තුක නොවන්නේ ද පැපොල වැනි රෝග වැලඳුණ විට නිරෝධායනය වීමට අපේ මුතුන් මිත්තන් පුරුදු වී සිටි නිසයි. ඒ අන් අයට රෝගය බෝවීම වැළැක්වීමට ඔවුන් ගත් නුවණැති පියවරක්.
පැපොල දරුවනගේ රෝගයක් ලෙස නම් දරා තිබුණත් එය වැඩිහිටියන්ටත් වැලඳෙන රෝගයක් බව අප අමතක කළ යුතු නැහැ. මේ දිනවල පැපොල රෝගය වැලඳුණ වැඩිහිටියන් ගැන වැඩිපුර වාර්තා වෙනවා. දරුවන්ට වඩා දරුණු ලෙස වැඩිහිටියන්ට රෝගය බලපාන්න ඉඩ තියෙනවා. වැඩිහිටියන්ට දරුවන්ට වඩා සංකූලතා ඇතිවීම ඊට හේතුවයි.
*පැපොල රෝගයට ගොදුරු වීමට වැඩි අවදානමක් ඇත්තේ
*ගැබිනි කාන්තාවන්
*අලුත උපන් දරුවන්
*ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්
රෝගය වැලඳුණ විට මඳ උණ, මලානික බව, සමේ කසන පලු හටගැනීම ප්‍රධාන ලකුණුයි. ප්‍රදාහයට පත් සමේ මැද කුඩා දිය බිබිලි වැනි බිබිලි ඇතිවනවා. මුලින් සිරුරේ හට ගන්නා පලු අත්වල සහ හිසේ ද හට ගන්නවා. පලු ඇතිවී දින පහකින් පමණ පුපුරා යනවා. රෝගය ආසාදනයවී පලු මතුවීමට ගන්නා කාලය ( බීජෞසන සමය ) දින 14 - 16 ක් පමණ වෙනවා. පලු මතුවීමට දින කිහිපයකට කලින් උණ ගතියක් උගුරේ ආසාදනයක් හිසරදය ඇති වෙනවා.
කැළැල්, සෙලියුලයිටිස් ( සමේ බැක්ටීරියා ආසාදනයක් ), නියුමෝනියා, එන්සෙෆලයිටිස් වැනි අතුරු ආබාධ හට ගැනීමට පුළුවන් නිසා වැඩිහිටියන් රෝගය දුරදිග යන තුරු බලා සිටීම සුදුසු නැහැ. කෙනෙක් මේ රෝගය නිසා මිය යන්නේ ඉතාමත්ම කලාතුරකින්.
වැඩිහිටියන් රෝගයට ගොදුරුවූ විට පැපොල පැල්ලම් සම්පූර්ණයෙන් මැකී යන තුරුම රැකියාවට හෝ බාහිර සමාජයට නොයා යුතුයි.
රෝගය බෝවන්නේ කොහොමද?
ආසාදිත පුද්ගලයා කහින විට කිවිසින විට වාතයට වෛරසය සහිත සෙම් බිඳිති මුසු වෙනවා. ඒවා නීරෝගි පුද්ගලයකු ආස්වාස කරන විට රෝග බීජ ශරීරගත වෙනවා. පලුවල ඉස්ම ස්පර්ශ වීමෙන් රෝගය බෝවිය හැකි නමුත් එය රෝගය බෝවන සුලබ ක්‍රමයක් නොවෙයි. පලු මතුවීමට පෙර ආසාදිතයාගෙන් රෝගය තවත් කෙනකුට බෝ වීමට පුළුවන්.
වෛද්‍යවරයා බාහිරින් පරීක්ෂාකර බලා රෝගය තහවුරු කරගන්නවා.
උපදෙස්
ප්‍රජා වෛද්‍ය විශේෂඥ
දිමුතු ධර්මවර්ධන
2020/06/08 තරුණි බලන්න.