නිවෙසේ මසා ගත් මුව ආවරණ නිවැරැදිව භාවිත කරන්නේ කොහොමද

ජූලි 8, 2020

අපේ ඇඳුම් අල්මාරියට එකතු වූ අලුත්ම පලඳනාව මුව ආවරණයි. (ෆේස් මාස්ක්) ඇඳුමේ පාටට ගැළපෙන්න මේ වන විට අපේ කාන්තා පක්ෂය මුහුණු ආවරණ පැලඳ ගෙන යන්නේ අලුත් විලාසිතාවක් එක් කරමින්. ඒවා බොහෝ විට නිවෙසේදී තමන්ම මසා නිමකරගත් ඒවාය.

කුමන විදියට පැලඳුව ද අප එහි මූලික අරමුණ අමතක නොකළ යුතුය. කෝවිඩ් - 19 වසංගතයෙන් ආරක්ෂා වීම එහි මූලික අරමුණ වුව ද බොහෝ ස්වසන රෝගවලින් පරිසරයේ විසැති අංශු මඟින් සෑදිය හැකි රෝගවලින් මුහුණු ආවරණයක් පැලඳීමෙන් අපට ආරක්ෂාවක් සැලසෙයි. පසු ගිය කාලයේ ස්වසන රෝගවල අඩුවක් ඇතිවීමට ප්‍රධාන හේතුව මේ යහපත් සුව පුරුද්ද බව අනාවරණය වී තිබේ. එහෙත් මේ යහපත් ප්‍රතිඵල විඳීන්නට නම් අප නිවෙසේ මසා ගන්නා මුහුණු ආවරණ නිසි ලෙස පිරිසුදුකර භාවිත කළ යුතුය.

ශල්‍ය මුව ආවරණ හෝ රෝගවලින් උපරිම ආරක්ෂාවක් සපයන එන් 95 මුව ආවරණ මිලෙන් තරමක් ඉහළ නිසා නිවෙසේ මසා ගත් මුව ආවරණ පැලඳීම අරපිරිමැසුම් දායකය. බ්‍රිතාන්‍යයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන මඟින් නිර්දේශකර තිබෙන්නේ ද නිවෙසේ මැසූ මුව ආවරණ රෝගයෙන් ආරක්ෂා වීමට ප්‍රමාණවත් බවය. එහෙත් ඒ කෙසේ භාවිත කළොත්ද ?

* මැසූ මුව ආවරණයක් කොපමණ වාරයක් පිරිසුදුකර ගත යුතුද?

රෙදිවලින් මසා ගත් මුව ආවරණයක් භාවිත කරන ලද සෑම අවස්ථාවකටම පසු සබන් ගා හොඳීන් සේදිය යුතුය.

*නැවත නැවත පිරිසුදු කරමින් භාවිත කළ හැකි මුව ආවරණයක් සඳහා සුදුසු රෙදි වර්ගය කුමක්ද?

ඉහළ උෂ්ණත්වයක් යටතේ සේදීමට ඔරොත්තු දෙන සුදු හෝ ළා පැහැති රෙදි වර්ගයක් වඩාත් සුදුසුයි. තද පැහැ රෙදි සේදීමේ දී වර්ණය පිලිස්සී යා හැකිය.

*මුව ආවරණය නිසි ලෙස විසබීජහරණය කරන්නේ කෙසේද ?

නියමිත ප්‍රමිතියෙන් යුතු හොඳ රෙදි සේදුම් දියර වර්ගයක් හෝ සබන් කුඩු වර්ගයක් හෝ සබන් වර්ගයක් භාවිතකර උණුසුම් ජලයෙන් සේදීම නව කොරෝනා වෛරසය විනාශ කිරීමට ප්‍රමාණවත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දක්වා තිබේ. මුව ආවරණ විරංජන කුඩුවලින් (බ්ලීචිං පවුඩර්) නොසේදිය යුත්තේ එසේ සේදීමෙන් වහනය විය හැකි ගන්ධය නිසා ඔක්කාරය, හිසරදය වැනි ලකුණු ඇති විය හැකි බැවිනි. සබන් හෝ සේදීමට භාවිත කරන දේ මුව ආවරණයේ සෑම තැනම හොඳීන් ගැල්වීමට වග බලාගත යුතුය. එසේම ඒවා සම්පූර්ණයෙන් ඉවත් වන තුරුම හොඳීන් සෝදා හැරිය යුතුය.

 

2020/07/08 තරුණි පුවත්පත බලන්න.