වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මුඛ පිළිකාවෙන් වැලකෙන්න අද අද ම ස්වයං මුඛ පරීක්ෂාවක යෙදෙන්න
හිස සහ ගෙල නීරෝගිව නොතිබුණොත් එය මුළු සිරුරේම සෞඛ්‍යයට බලපානවා. නමුත් විවිධ රෝගාබාධ හිසත් ගෙලත් රෝගී වීමට බලපානවා. ඒ අතර මුල් තැනක් හිමිවන්නේ පිළිකාවලටයි.
මුඛයේ, ග්‍රසනිකාවේ, ස්වරාලයේ ඇතිවන පිළිකා හිසත් ගෙලත් රෝගී කරන පිළිකා අතර සුලබයි. මුඛයේ, ග්‍රසනිකාවේ, ස්වරාලයේ ඇතිවන සමහර පිළිකාවන්ට හේතූන් තවමත් වෛද්‍ය ක්ෂේත්‍රයට අබිරහසක්. ඒත් අවදානම ඉහළ නංවන විවිධ හේතූන් ගණනාවක්ම සොයා ගෙන තිබෙනවා.
*දුම්කොළ සහ දුම් වැටි, මත් වතුර, දන්ත සෞඛ්‍ය පිරිහීම, මානව පැපිලෝමා වෛරසය ( හියුමන් පැපිලෝමා වෛරස් ) ඒ අතර මුල් තැනක් ගන්නවා. මේවා අතරිනුත් දුම් නැතිනම් දුම්වැටිය ප්‍රධාන පිළිකා මාරයායි. දුම් වැටියේ අඩංගු පිළිකාකාරක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකාවලට මූලික හේතුවක්. අවාසනාවකට දුම් පානය කරන්නා පමණක් නොව දුම් පානය කරන්නා අවට සිටින පුද්ගලයන් ද (අක්‍රීය දුම් පානය කරන්නන් ද ) මේ අවදානමට මුහුණ පා සිටිනවා.
බුලත් විට මුඛයේ පරම සතුරෙක්
කලින් හඳුනාගත හැකි, හඳුනාගෙන පහසුවෙන් සුව කළ හැකි පිළිකා අතර මුඛ පිළිකා ප්‍රධාන තැනක් ගන්නවා. කනගාටුව නම් එසේ හඳුනාගත හැකිව තිබියදීත් අපේ රටේ දවසකට තුන් දෙනෙක් මුඛ පිළිකාවෙන් මියයාමයි. අලුත් රෝගීන් හය දෙනෙක් දවසකට වාර්තාවීම තවත් භයානක ප්‍රවෘත්තියක්. මුඛ පිළිකාවට ගොදුරුවන පුද්ගලයන්ගෙන් සියයට හැත්තෑවක් පැමිණෙන්නේ රෝගය අසාධ්‍ය තත්ත්වයට පත්වුණාට පස්සෙයි. ඒ තත්ත්වයට පත්වුණාට පසුව ප්‍රතිකාර කිරීමට අසීරුයි.
ශ්‍රී ලංකාවේ බහුලවම හමුවන පිළිකා අතර දෙවැනි ස්ථානය ගන්නේ මුඛ පිළිකාවයි. අපේ රටේ පිරිමින් අතර සුලබම පිළිකාව එයයි. කාන්තාවන්ට වැඩිපුර වැලඳෙන පිළිකා දහය අතර මුඛ පිළිකාව ද තිබෙනවා. එයින්ම අප මුඛ පිළිකාව ගැන කෙතරම් අවධානය යොමු කළ යුතුදැයි කියා සිතා ගතහැකියි නේද? පිළිකාව ගැන ඇති මිථ්‍යා මත රෝගය උත්සන්න වීමට බලපා තිබෙනවා. සමහරු සිතන්නේ පිළිකාවක් සෑදීම ලජ්ජාවක්, අවමානයක් කියායි. පිළිකා සුව කළ හැකි රෝගයක් කියා සිතන්නේ ද නැහැ.
මුඛ පිළිකාවට බලපාන ප්‍රධානම හේතු දුම්පානය, මත් වතුර පානය, බුලත් විට හැපීම, දුම් කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන බව දැනගෙනත් වැඩිදෙනෙක් ඒ වැරැදි පුරුදු අත්හරින්නේ නැහැ. වැඩිපුරම මුඛ පිළිකාවට ගොදුරු වන පිරිසක් අපේ රටේ සිටිනවා. ඒ වතු කම්කරුවන්, රියැදුරන්, පතල්කරුවන්, ගොඩනැඟිලි තනන්නන්, පෞද්ගලික ආරක්ෂක සේවයේ නිරතවන්නන් හා මුරකරුවන්. ඉහත සඳහන් කළ ඒ පුරුදුවල යෙදෙන්නන් අඩු වශයෙන් මාසයකට වරක් වත් ස්වයං මුඛ පරීක්ෂාවක් කළ යුතුයි. මාස හයකට වරක්වත් දන්තාරෝග්‍යශාලාවට ගොස් සායනික මුඛ පරීක්ෂාවක් කරගැනීම වැදගත්.
ස්වයං පරීක්ෂණයකින් මුඛ පිළිකාවක් හඳුනා ගන්නේ කොහොමද?
ඇඟිලිවලින් උඩු සහ යට් තොල් පිට පෙරළා ඇතුළත පරීක්ෂාකර බලන්න.
මුව හොඳීන් විවෘතකර වම්පස, දකුණු පස, කම්මුල ඇතුළත, මනාව පරීක්ෂාකර බලන්න.
උඩු තල්ල පරීක්ෂාකර බලන්න.
දිව උඩු අතට හරවා දිව යට සහ මුඛයේ පතුළ පරීක්ෂාකර බලන්න.
දිව පිටතට ඇද දිවේ ඉදිරිපස කෙළවර දක්වා පරීක්ෂාකර බලන්න.
මාසයකට වරක්වත් මෙසේ මුඛය පරීක්ෂාකර බලන්න. වෙනසක් දුටුවොත් වහාම දන්ත සායනයකට යොමුවන්න.
*අනතුරු ඇඟවීම්
මුඛයේ අසාමාන්‍ය වර්ධනයක්, සති දෙකකට වඩා පවතින සුව නොවන තුවාලයක්, සුදු ලප, රතු ලප, සුදු - රතු මිශ්‍ර ලප, සාමාන්‍ය රෝස පැහැය වෙනුවට අසාමාන්‍ය සුදුමැලි ස්වභාවයක් පැවතීම, මුව විවර කිරීමේ අපහසුතාව, දිව සෙලවීමට අසීරුවීම, මිරිස් සහිත ආහාර ගන්නා විට මුඛ යේ ඇති වන අසාමාන්‍ය දැවිල්ල මුඛ පිළිකාවක පෙර නිමිති වෙන්න පුළුවන්.
*ප්‍රතිකාර මධ්‍යස්ථාන
මුඛ පිළිකා කලින් හඳුනා ගැනීමේ ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන රජ යේ රෝහල්වල පිහිටුවා තිබෙනවා. මුඛ හනුක හා වක්ත්‍ර ශල්‍ය ඒකක 33ක් ලංකාව පුරා පවතිනවා. පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථාන 24ක් මඟින් මුඛ පිළිකාවලට ප්‍රතිකාර ලබා දෙනවා.
උපදෙස් - ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය
ජානකී විදානපතිරණ
පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර