වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
මාසයකට අඩු දරුවන්ට උණ හැදුණොත් ඇඟ තෙමන්න එපා
වයස් භේදයකින් තොරව ඕනෑම කෙනකුට උපන් මොහොතේ සිට මියෙන තුරාවටම උණ හටගන්නට පුළුවන්. ඉතිං අපි බොහෝ දෙනෙක් දන්නවා ‘උණ’ යනු රෝගයක් නොව රෝග ලක්ෂණයක් බව. කෙනකුට සාමාන්‍ය උණක් මෙන්ම බරපතළ තත්ත්වයේ උණක් වුවත් හට ගන්නට පුළුවන්.
පුංචි දරුවන්ට වැලඳෙන උණ තත්ත්වය කුමක්ද? උණක් හටගත් සැණින් මාපියන් කලබල විය යුතුද? පළමුව නිවෙසේ දී කළ යුතු දෑ මොනවාද? යන්න පිළිබඳ අද දැනුවත් වෙමු. විශේෂයෙන් කුලුඳුලේ පුංචි දරුවන් සිටින මාපියන්ටයි මේ ආමන්ත්‍රණය.
වරින්වර උණ හට ගැනීම
උණ හටගැනීම රෝග රැසකට හේතුවක් විය හැකියි. වරින් වර උණ හට ගැනීම සන්ධි ඉදිමීම් වැනි තත්ත්ව, පිළිකා වැනි තත්ත්ව සඳහා පවා කෙරෙන අනතුරු ඇඟවීමක් වීමට පුළුවන.
දරුවන්ට උණ වැලඳීම
ළදරුවන් ලෙස දැක්වෙන්නේ වයස මාසයක් දක්වා වූ පුංචි කිරිකැටියන්ය. ළදරුවන්ට බොහෝ විට උණ හට ගන්නේ නියමිත පරිදි මව්කිරි නොලැබී යෑම නිසා හටගන්නා විජලන තත්ත්වයන් නිසාය.
විශේෂයෙන් ම කුලුඳුලේ දරුවකු ප්‍රසූත කළ මවට දරුවාට කිරි පෙවීම ආගන්තුක කටයුත්තකි. නවමු අත්දැකීමකි. කිරි පෙවීම සම්බන්ධයෙන් මව උගත යුතු අතර දරුවා ද නියමාකාරයෙන් කිරි බීම කළ යුතුය. සතියක්, දෙකක් පමණ ගතවනතුරු මේ ක්‍රියාවලිය නියමාකාරයෙන් සිදු නොවීමට පුළුවන. අලුත උපන් දරුවාගේ ප්‍රධාන සහ එකම ආහාරය මව් කිරිය. දරුවා වතුර සහ සියලු පෝෂණ කොටස් ලබන්නේ මව් කිරිවලිනි. එසේ නොවුණු විට දී දරුවා විජලනයට පත්වේ. එවිට දරුවාගේ සිරුරේ උෂ්ණත්වය ඉහළ නඟී.
මීට අමතරව සාමාන්‍ය ක්‍රමයට උපත ලබන දරුවකුට උපත් මාර්ගයේ දී විසබීජ ඇතුළු විය හැකියි. එවිට සිරුරේ උෂ්ණත්වය අඩුවීමක් හෝ උෂ්ණත්වය අඩුවීමක් හෙවත් හයිපොතමියා (ඩ්රනධබඩඥපථඪච) වැනි තත්ත්වයක් ඇති විය හැකියි. මෙහිදී දරුවාට උණ හට ගන්නේ සිරුරට විසබිජයක් ඇතුළුවීම නිසයි. මේ නිසා ළදරුවකුට උණක් හටගත් විට පැරසිටමෝල් දීම වෙනුවට රෝහල් ගත කිරීම, වෛද්‍ය උපදෙස් පැතීම අත්‍යවශ්‍ය වේ. පළමු සති දෙක ඇතුළත නම් අනිවාර්යයෙන්ම රෝහල්ගත කරන්නට සිදුවේවි. මන්ද මෙම කෙටි කාලය තුළදී දරුවාට බාහිර පරිසරයෙන් විසබීජයක් ඇතුළුවීමට කාලය නොතිබෙන්නට පුළුවන. එය උපතින්ම ආ ගැටලුවක් දැයි හඳුනාගත යුතුයි.
මාසයක් පමණ ගත වූ පසු බාහිර සමාජයෙන් නොයෙකුත් විසබීජ දරුවාගේ සිරුරට ඇතුළුවීමට පුළුවන. වැඩියෙන්ම දැකගත හැකි වන්නේ වෛරස් ආසාදනයි. වෛරස් ආසාදන බරපතළවන්නේ කලාතුරකිනි. ඉන්ෆ්ලුවන්සා තරමක් බරපතළ වූවකි. යම්කිසි දුරකට ඉන්ෆ්ලුවන්සා නිසා මිය යෑමට පවා පුළුවන. විදෙස් රටවල ශීත කාලගුණයත් සමඟින් ඉන්ෆ්ලුවන්සා නිසා මිය යන ප්‍රමාණය ඉහළයි. කෝවිඩ් 19 පවා බරපතළ වෛරසයකි. සාමාන්‍යයෙන් වෛරස ඉබේම සුව වේ.
සරම්ප, කම්මුල්ගාය, ජැපනීස් එන්සපලයිටීස් වැනි වෛරස් බරපතළ ගණයේ ඒවායි. වාසනාවකට මෙවැනි බරපතළ වෛරස් රෝග කිහිපයක් ම සඳහා වූ එන්නත් ප්‍රතිශක්තිකරණ පද්ධතියට එකතු කර ඇති නිසා ඒ සම්බන්ධයෙන් බියවිය යුතු නැත.
බැක්ටීරියා ආසාදන වෛරස් ආසාදනවලට වඩා බරපතළ වේ.
මේ නිසා ද උණ හට ගනියි. සාමාන්‍ය බැක්ටීරියා ආසාදන ද තිබේ. නිව්මෝනියාව, මොළයේ උණ හෙවත් මෙනින්ජයිටිස් වැනි දේ බැක්ටීරියා ආසාදනයි.
ප්‍රොටසෝවා ආසාදන අපේ රටේ ඇත්තේ මැලේරියාව ලෙසයි. මැලේරියාවත් බොහෝවිට මෙරටින් තුරන් කළ එකකි. ඇමිබා අතීසාරය ද ප්‍රොටසෝවා ගණයට වැටේ. මේ සියල්ල ම උණ හට ගන්නා තත්ත්වයන් ය.
මීට අමතරව ඇත්තේ දිලීර ආසාදනයි. රෝගියාගේ ප්‍රතිශක්තිකරණ මට්ටම පහළ බැස්සවීමට දිලීර ආසාදනවලට පුළුවන. ඩ්ධ්ඍ, පිළිකා තත්ත්වලදී දිලීර ආසාදනවලින් පවා උණ හට ගතහැකියි. සාමාන්‍ය නිරෝගී කෙනකුට දිලීර වලින් බරපතළ දෙයක් කිරීමට නුපුළුවන.
මයික්රෝප්ලාස්මා යන්නත් බැක්ටීරියා කාණ්ඩයට මෙන්ම වෛරස් කාණ්ඩයේ ද අතරමැදි කොටසකි.
ඉහත සඳහන් කළ දෑ සිරුරේ උෂ්ණත්වය ඉහළ නැංවිය හැකි තත්ත්ව කිහිපයකි.
පුංචි දරුවකුට උණක් හැදෙද්දී අම්මලා පුදුමාකාර ලෙස කලබලයට පත් වෙයි. කිසිසේත්ම දරුවාගේ ඇඟට අත තියා උණ බලන්නට නම් සූදානම් වෙන්න එපා. උෂ්ණත්වමානයක් පරිහරණය කිරීම අත්‍යවශ්‍ය යි. ඩිජිටල් උෂ්ණත්වමාන නිසා එය වඩාත් පහසු කරයි. මෙහිදී කිහිල්ල යට උෂ්ණත්වමානය තබයි. සෙල්සියස් අංශක 36.5 සිට 37.5 දක්වා ඇත්තේ සාමාන්‍ය උෂ්ණත්වයකි. 37.5 ට වඩා වැඩි වූ විට උෂ්ණත්වය ඉහළ යෑමකි. ෆැරන්හයිට් අංශක නම් 97.7 සිට 99.5 දක්වා සාමාන්‍ය තත්ත්වයයි. ඊට වැඩි වූ විට ශරීර උෂ්ණත්වය ඉහළ යෑමකි.
සාමාන්‍ය උණක් සහ බරපතළ උණක් වෙන්කර හඳුනාගත හැකි වන්නේ සාමාන්‍ය උණක් පැරසිටමෝල් වලට බැසගියත් බරපතළ උණකදී ෆැරන්හයිට් අංශක 103 ට වඩා වැඩි උණක් දිගින් දිගටම පැවතීමයි. එය පැරසිටමෝල් ගත්තත් එසේම පවතී.
නිවෙසේ දී කළ හැකි දේ
ඇඳ විවේකය - දරුවාට ඇඳ විවේකය අත්‍යවශ්‍ය ම වේ. සෙල්ලම් කිරීමෙන් ඇඟ වෙහෙසෙන නිසා හැකිතරම් එවැනි දේ වළකාලිය යුතුවේ.
දිය වර්ග පානය කෙරෙහි උනන්දු කළ යුතුවේ.
මුත්‍රා පිටවන ප්‍රමාණය, පිටවන මුත්රාවල පැහැය අනුව දියර පානය මනාව සිදුවන්නේ දැයි අදහසක් ගත හැකිවේ.
නියමිත මාත්‍රාව අනුගමනය කරමින් පැරසිටමෝල් ලබා දිය යුතු වේ. උණට අමතරව වෙනත් විශේෂ ලක්ෂණ ඇත්නම් දරුවා අපහසුතාවෙන් සිටියි නම් දිගින් දිගටම පැරසිටමෝල් ලබාදෙමින් නිවෙසේ තබා ගැනීම සුදුසු නැත. පවුලේ වෛද්‍යවරයාට හෝ ළඟම ඇති රෝහලකට යා යුතුවේ.
දිගින් දිගටම ඇඟ තෙමමින් විදුලි පංකා දමා තිබීම වැනි ක්‍රම දැන් භාවිත කරන්නේ නැති තරම් ය. මෙයින් දරුවා අපහසුතාවට පත්වේ. මෙහිදී සිසිල්වන්නේ මතුපිට උෂ්ණත්වය පමණි. අභ්‍යන්තර උෂ්ණත්වයේ අඩුවීමක් සිදු නොවේ.
උණ වලිප්පුව ඇති වේ යැයි බියෙන් මේ දේවල් කළත් මේ වන විට උණ වලිප්පුව පවා ඉහත ක්රමයන් ඔස්සේ වළක්වා ගත නොහැකි බව අලුත් ම සොයා ගැනීමයි. පැරසිටමෝල් නැවත නැවත දීමෙන් උණ වලිප්පුව අඩු නොවේ.
අනවශ්‍ය ලෙස පැරසිටමෝල් දීමෙන් හා සිරුර සිසිල් කරන්නට යෑමෙන් ඇතැම් විට හානියක් වෙන්නටත් පුළුවන. එම ශරීර උෂ්ණත්වය වැඩිවන්නේ සිරුරට පැමිණි විසබීජයට විරුද්ධව සටන් කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය කරන්නට ප්‍රතිශක්තිකරණ පද්ධතිය දරනා වෑයමක් විය හැකියි. ඉහළ උෂ්ණත්වයක දී මෙම වෑයම හොඳින් ම සිදුවේ. ශරීර උෂ්ණත්වය අඩු කිරීමෙන් මෙය හානි දායක විය හැකියි.
උපදෙස්
ළමා රෝග විශේෂඥ වෛද්‍ය
අරුණ පීරිස්