මේ වගේ භයානක අවස්ථාවක අපේ කය හා මනස දෙකම නීරෝගි විය යුතුයි

මැයි 12, 2021

කොරෝනා තුන්වැනි රැල්ල ලොව පුරාත් අපේ රටේත් පැතිරී යාම නිසා අප මුහුණ දී සිටින්නේ ඉතිහාසයේ වඩාත් ඛේදජනක අවස්ථා වටයි. දැන් එය සමස්ත ලෝකයටම ගැටලුවක් බවට පත් වී තිබෙනවා. මෙවැනි අවස්ථාවක දී අප දක්වන ආකල්පය හරිම වැදගත්. පුද්ගලයන් මේ අවස්ථාවේදි දැක්විය හැකි ආකල්ප කිහිපයක් ම තිබෙනවා.

අප බොහොම විමසිලිමත් ව ඉඳිමින් හොඳටම ප්‍රවේසම් වෙලා සුබවාදී ව මෙය විසඳාගන්නට පුළුවන් යැයි සිතමින් කටයුතු කිරීමයි වඩාත්ම වැදගත් වන්නෙ. එම ආකල්පයෙන් අපි හිතුවොත් මේ ප්‍රශ්නය අපට විසඳාගන්න පුළුවන්.

ඕනෑම ප්‍රශ්නයකට උත්තරයක් තිබෙනවා. ඒ වගේම මෙයටත් උත්තරයක් තියෙනවා. අප ඒ සඳහා කැපවී කටයුතු කිරීමයි වැදගත්. මෙයින් අප කෙසේ හෝ බේරෙනවා යන ධනාත්මක සිතුවිල්ලක් ඇතිකරන්න පුළුවන්.

එහි අනිත් පැත්තත් වෙන්න පුළුවනි. මෙය හරි භයානකයි. වෙන්න තියෙන හානිය අපමණයි. මෙයින් අප හැම දෙනාම ලෙඩ වෙන්න පුළුවනි. අපි මැරෙන්න පුළුවනි. අපේ අසල්වාසීන් අපේ රටේ සියලු දෙනා මැරෙන්න පුළුවනි. මෙවැනි සිතුවිලි අපට එන්න පුළුවන්.

අපි මෙයින් වඩාත් වැදගත් වන්නෙ ඉදිරියේදී වෙන දේ ගැන දුක්වෙලා අඬ අඬා හිඳීම නොවෙයි. එහෙම වෙනකොට අපි නොදැනුවත්ව ම මානසික විකෘතියක් ඇති වෙනවා. මානසිකව තිබෙන ලක්ෂණය වන්නෙ අපි හිතුවත් නොහිතුවත් ශරීරයේ තිබෙන හෝමෝනයන් ශ්‍රාවය වීමයි. අපි ඇඹුල් දෙයක් ගැන හිතන විට කටට කෙළ උනනවා වගෙ අපි බිය ජනක දෙයක් ගැන හිතන විටම ඊට අදාල හොමෝනයන් ශරීරය තුළ නිකුත් කරනවා. එය හිතා මතා සිදුවෙන දෙයක් නොවෙයි.

ඒවාගේම සතුටින් සිටින විටදී නිකුත් වන හෝමෝන ටිකකුත් තියෙනවා. ඒවානම් ඩෙපමින් (Depamin) එන්ඩොපින් (endhorpin) සෙරටෙනින් (serotonin) මේවායින් ශරීරයේ බලයක් ඇති වෙනවා. එයින් ස්නායු පද්ධතිය ප්‍රාණවත් වෙනවා. ස්නායු පද්ධතිය ශක්තිමත් වුණාම මිනිසුන් සක්‍රීයයි. ශරීරය ශක්තිමත්. ලෙඩ අඩු වෙනවා. විසබීජ මැරීයනවා. බාහිර උවදුරුවලට ප්‍රතිශක්තිය වැඩි කරනවා. අපගේ ශරීරය තුළ දැවැන්ත ශක්තියක් ඉහත රසායනයන් නිසා ඇතිවෙනවා. ඒ රසායනයන් නිර්මාණය වන්නෙ අප හිතන ආකාරය අනුවයි. මේ සඳහන් කළේ සතුටින් සිටින විටදී නිකුත් කරන රසායනයන්. ඒ රසායනයන් නිසා හොඳට නින්ද යනවා. කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවනි. මානසික තෘප්තියක් ඇති වෙනවා. හොඳින් ආහාර දිරවනවා. වෙනත් කායික, මානසික රෝග ඇතිවෙන්නෙ නෑ. හොඳ ලක්ෂණ බොහෝමයක් ඇති වෙනවා. අප මේ අවස්ථාවේදී ඇති කරගන්න ඕනෑ එවැනි ශක්තියක්. කායික, මානසිකව නීරෝගී කමක්. ඒ මේ වගේ භයානක අවස්ථාවක වුවත් අපේ කය හා මනස දෙකම නීරෝගී විය යුතුයි. මේ දෙකෙහි අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා.

අපි අනිත් පැත්ත බලමු. හැමදාම රූපවාහිනියේ, ගුවන් විදුලියේ ක්‍රිකට් තරගයේ ලකුණු මට්ටම බලනවා වගෙ මැරෙන ගණන එකතු කරනවා. දර සෑයවල් ඇවිලෙන ආකාරය පෙන්වනවා. වළ දමන හැටි පුච්චන හැටි පෙන්වීමෙන් අදහස් වෙන්නේ ඒ නිසා පරිස්සම් වෙලා පැත්තට වෙලා ඉන්න එකයි කියලා හිතුණාට බොහෝවිට සිදුවන්නේ මිනිස්සු බය වීමයි. එසේ බිය වූ විට අමුතුම රසායනිකයන් නිකුත් කරනවා. ඇඩ්‍රිනලීන් (adrenalin) කෝටිසෝල් (cortisol) නමැති රසායනයන්. එවිට සිදුවන්නේ මුලදී භය ඇතිවී සටන් කිරීම යන සිතුවිලි ඇතිවීමයි. නමුත් අපට ගහ ගන්න, සටන් කරන්න කෙනෙක් නෑ. අද මෙපමණ මැරුණා කියමින් පෙන්වද්දී අප නොදැනුවත්ව ම ඉහත දැක්වූ රසායනිකයන් උනනවා. ඒ උනන්නෙ අපට පරිස්සම් වෙන්න ගහගන්න නැතිනම් පැනල යන්නයි. මෙයින් අපගේ ශරීරය තුළ නොයෙක් බලපෑම් ඇතිවෙනවා. නමුත් උදේ හවස හෑමවිටම පෙනෙන විටදී ජාතියක් හැටියට උදාසීන වෙනවා. හානිකර මානසිකත්වයක් ඇතිවෙනවා. නමුත් අවශ්‍ය ප්‍රවෘත්තිය කියල එයට කරන්න ඕන ප්‍රතිකර්ම කිරීමයි. එසේ නැතුව විස්තර ප්‍රකාශකයක් දෙනවා වගෙ මරණ සංඛ්‍යාව කීමේ හානිය අසීමිතයි. මේ මරණ සංඛ්‍යාව දක්වන්නෙ කාලයක සිටයි. පසුගිය දිනවල අමෙරිකාවේ මරණ පෙන්වූවා. කාලයක් බ්‍රසිලය පෙන්වූවා ඒ ගැන බයෙන් හිටියා. නමුත් දැන් ඒ රටවල්වල මරණ අඩුවෙලා කියන දෙය පෙන්වන්නෙ නැහැ.

ඒ විදිහට රටින් රට රටවල් දෙසිය ගණනක් පෙන්වන්න ගියොත් බලන් සිටින අයගේ මානසිකත්වය අසීරු තත්ත්වය කට පත්වෙනවා. මේවා වැඩිපුරම බලන්නෙ ළමයින් සහ කාන්තාවන්. මේ දර්ශන බැලීම වැඩිම මට්ටමක තිබෙනවා. පුංචි ළමයා බයවෙනවා.

මේවා උහුලල උහුලලා අන්තිම ප්‍රථිපලය වන්නෙ ජීව බලය අඩු වීමයි. එය අඩුවීමෙන් ප්‍රතිශක්තිය අඩු වෙනවා. එවිට කායිකව රෝග ඇතිවෙනවා. රෝග ඇති වූ විට ඒවාට ප්‍රතිකාර නැතිව යනවා. ප්‍රතිශක්තිය අඩු ඕනෑම ශරීරයකට ලෙහෙසියෙන් ඕනෑම වෛරසයකට ඇතුළුවෙන්න පුළුවනි. වෛරසයන්ට මිනිසුන්ගේ ශරීර තුළට රිංගා ගැනීමට අවශ්‍ය පරිසරයක් ඇති කිරීමයි. ගුවන්විදුලිය සහ රූපවාහිනිය මේ දිනවල වැඩියෙන් කරගෙන යන්නෙ. මිනිසුන්ට අවශ්‍ය ප්‍රවෘත්ති පිළිපැදිය යුතු උපදෙස් හරිහැටි කියා දි ඉතිරී කාලය තුළ රස වින්දනය මනසට සුවයක් දෙන වැඩසටහන් විකාශනය කිරීමයි. එය මේ කාලයේ හරිම වැදගත්.

ලෙඩුන් රෝගීන් වැඩිකර ජාතියක් මරා දැමීම නොකළ යුතුයි.

අප හැම විටම කළ යුත්තේ අනෙක් පැත්තයි. හරියට යුද්ධයක් වාගෙයි. යුද්ධයක රජ්ජුරුවෝ සහ සේනාවක් සිටිය යුතුයි. සේනාව කොටු පවුරක් හදල එහි ඇතුළේ සිටින්නෙ. සතුරා පිටින් ඇවිත් කොටු පවුරට ඇතුළු වීමට උත්සාහ දරනවා. ඇතුළෙ සේනාව ප්‍රබල නම් පිටින් එන සේනාව මරල දානවා.

ඇතුළේ සිටින අප දුර්වල වුණොත්, ආරක්ෂක පවුර දුර්වල වුණොත් සතුරු හමුදාවට කඩා ගෙන ඇතුළට එන්න පුළුවනි. එවිට අකර්මණ්‍ය වූ සේනාවට කළ හැකි දෙයක් නැති වෙනවා. මේ වාගෙයි ශරීරයේ ප්‍රතිශක්තිය.

අපේ ඇතුළෙ සිටින හමුදාවට සමාන කළ හැකියි ඇඟේ ප්‍රතිශක්තිය.

කාන්තාවන්ට දරුවන්ට විශේෂයෙන් දෙයක් කිව යුතුයි. අපට කරන්න පුළුවන් දේ අප කරන්න ඕනෑ. ජනමාධ්‍ය වළක්වන්න අපට බැරි වෙන්න පුළුවනි. ඒවා ඒ අයගෙ ව්‍යාපාර. කොරෝනා සම්බන්ධව උපදෙස් දැන් ඕනතරම් ලැබී තියෙනවා.

 

දුරස්ථභාවය පවත්වා ගැනීම, මුඛ ආවරණය, කණ්ඩායම් ගත නොවීම වැනි ඕනෑවටත් වැඩිය උපදෙස් තිබෙනවා. අප දැන් කළ යුත්තේ ඒවා පිළිපැදීමයි. එය අනිවාර්යයෙන් ම සිදුවිය යුතුයි. නමුත් ඒවාට බය වූවා කියා කිසිම ප්‍රතිඵලයක් නෑ. අප කළ යුත්තේ ශක්තිමත්ව අපගේ කායික මානසික වර්ධනය කරගන්නට පියවර ගැනීමයි.

ඒ සඳහා ගත යුතු පියවරවල් කිහිපයක් ම තිබෙනවා. හැකිතරම් ව්‍යායාම කිරීම එක් ක්‍රමයක්. කායිකව මානසිකව විනාඩි 30-40 වත් අනිවාර්යයෙන් ම කළ යුතුයි. පැළයක් සිටුවීම, මල් සිටුවීම සහ ඒවාට වතුර පොහොර යොදමින් සාත්තු කිරීම කළ හැකි තවත් දෙයක්.

ඩහදිය දමන වැඩක යෙදෙනවා නම් එය ප්‍රතිශක්තියට උදව් වෙනවා. එවැනි වැඩක යෙදෙන විටදී ඍණාත්මක මානසිකත්වය එනවා අඩුයි. අනේ අපොයි කියමින් කනගාටුවෙන් සිටින වෙලාව අඩුවෙනවා. හිතේ උත්සාහයක් ඇතිවෙනවා. එවිට බාහිර ව එන බලවේග‍ වෛරස් වැනි දේ සමඟ සටන් කර පරාජය කරන්න පුළුවනි.

ඒ සඳහා මුහුණ දෙන්නෙ කොහොමද?

මේ පිළිබඳව යෝජනා කිහිපයක් කරන්න පුළුවනි.

අපි මේ පිළිබඳව නිවැරැදිම තොරතුරු දැනගත යුතුයි. රජයෙන් සෞඛ්‍ය අංශ වලින් වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හැකි තරම් නිවැරැදි තොරතුරු ලැබෙනවා. ඒවා අනුව කටයුතු කිරීම හොඳටෝම ප්‍රමාණවත්. විවිධ ප්‍රවෘත්ති ඒජන්සි මගින් වගේම විවිධ සමාජ මාධ්‍ය ජාලා හරහා කිසිම වගකීමක් නැති ප්‍රවෘත්ති බැලීම නොකළ යුතුය. ඒවා බැලුවත් තහවුරු නොවූ තොරතුරු නිසා අනවශ්‍ය බියක් ඇති කරගැනීමෙන් වැඩක් නෑ. බිය වීමෙන් ලෙඩේ වැඩි වෙනවා. ඒ නිසා එයට මුහුණ දෙන ආකාරයයි කළ යුතු වන්නේ. ඇතුළතින් කායිකව මානසිකව ශක්තිමත් විය යුතුයි. මානසිකව ශක්තිමත් වීමට නම් සතුටින් සිටිය යුතුයි. ඇවිදින්න, හොඳ චිත්‍රපට බලන්න, හොඳ නවකතාවක් කියවන්න. ළමයින්ටත් පුරුදු කළ යුත්තේ එයයි. රූපවාහිනී බල බල මැරෙන ගාන ගණන් කරන එක නොවෙයි.

කායික ව ශක්තිමත් වෙන්න කොත්තමල්ලි ඉඟුරු දමා බොන්න. ඖෂධීය කොළකැඳ බොන්න. ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම මේ දවස්වල හරිම වැදගත්. ශරීරයේ ප්‍රතිශක්තිය හොඳට තිබෙනවා නම් මොන තරම් දරුණු වෛරසයක් ඇතුළට ආවත් ගහල පන්නනවා.

ආධ්‍යාත්මික ශක්තියට අනුගතව තුන් සූත්‍රය කීම හෝ තුන් සූත්‍රය ශ්‍රවණය කිරීම ඉතාමත් හොඳයි. ඒ වගේම තමන් අදහන ආගමේ ආගමික වතාවත් කරනවානම් හොඳයි. මානසික ඒකාග්‍රතාව වැඩි දියුණු කර ගන්න භාවනාවක් කරන්න. මනස ඉහිල් වීමේ අභ්‍යාස අප කරන විටදී මොළයේ හානිකර තත්ත්වයන් නැතිවෙනවා. මානසිකව ඇතිවෙන බිය කාංසාව විශාද තත්ත්වය ට වැටක් බැඳෙනවා.

මේ වගේ අවස්ථාවක අපේ ශරීරයට අහිතකර බලපෑම් ඇතිකරන රසායනයන් අඩු කරන ක්‍රියාදාම තමයි ඉහත ඔබට ඉදිරිපත් කළේ. ඒ අනුව කටයුතු කරන්න. මේ අභියෝගයට මුහුණ දෙන්න හැම දෙනාටම ශක්තිය ලැබෙනවා.

 

 

 

 

කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය

දයාරෝහණ අතුකෝරාල