කොරෝනා වෛරසයේ විකෘති ප්‍රභේද මේ තරමට භයානක ඇයි?

මැයි 19, 2021

 

*ඇස්වලට ආසාදනය වූ විට ප්‍රතිකාර කලට වේලාවට නො ලැබුණොත් දෑස් අන්ධ වීමට ඉඩ තිබෙනවා.

 

කෝවිඩ් 19 දිගින් දිගටම පෙනෙන භයානක සිහිනයක් වගෙයි. නින්දට ගියත් අවදියෙන් සිටියත් අපට ඒ භයානක සිහිනය දකින්න සිදුවෙලා. ඒ අපේ රටේ වැඩි නොසැලකිලිමත් හැසිරීම නිසා.

දුම් පානය නිසා අක්‍රීය දුම්පානයට ගොදුරු වීමට සිදුවනවාක් මෙන් ඇතමුන් නිසි පරිදි කෝවිඩ් - 19 ට එරෙහි සෞඛ්‍ය නීති පිළි නො පැලඳීමෙන් සියල්ලන්ටම අවදානමකට ලක් වීමට සිදුවෙලා.

අද අද එයි මරු පින් කර ගන්නේ මෙන් අද අදම අප කෝවිඩ් මාරයාගෙන් බේරෙන්න ගත යුතු සෑම පියවරක්ම ගැනීමට සිදුවෙලා. දිනෙන් දින අලුත් වන නව කොරෝනා වෛරස් ප්‍රභේද ගැන අන් කවරදාටත් වඩා වර්තමානයේදී අසන්න ලැබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය නීලිකා මලවිගේ මහත්මිය පවසන අන්දමට නව වෛරස් ප්‍රභේදයේ බිඳිති පැයක් පැය එකහමාරක් යන තුරුම පරිසරයේ පවතිනවා. ඒවා ආශ්වාස වීමෙන් රෝගය බෝවීමේ අවදානම පවතිනවා. නව ප්‍රභේදය කෙතරම් භයානකදැයි කිවහොත් ඉතා ඉක්මනින්ම රෝගය උත්සන්න වෙයි. එසේ උත්සන්න වු විට රෝගියා දැඩි සත්කාර ඒකකවල තබා ප්‍රතිකාර කිරීමට සිදුවෙනවා. මේ වන විට ලොව පුරා වේගයෙන් පැතිරෙන නව කොරෝනා වෛරස ප්‍රභේද හතරක් පිළිබඳව වාර්තා වනවා. බ්‍රිතාන්‍ය, බ්‍රසීල, දකුණු අප්‍රිකානු සහ ඉන්දියානු ප්‍රභේද ඒ හතරයි. ඉන්දියානු ප්‍රභේදය ද්විත්ව විකෘති ප්‍රභේදයක්. විශ්ව ගම්මානයේ එක් ගම්මානයක් වන ශ්‍රී ලංකාවට නව ප්‍රභේදවලින් ගැලවීමක් නම් නැහැ. දැනටමත් බ්‍රිතාන්‍ය නව ප්‍රභේදය අපේ ජනතාව බිලි ගැනීම අරඹලා.

කොරෝනා වෛරසයේ විකෘති ප්‍රභේද ආසාදනය වීම මේ තරමට භයානක ඇයි?

වෛරස් විකෘති වීම නිසා වෛරස් ප්‍රභේදවලට විවිධ ලක්ෂණ එකතු වෙනවා. එවිට වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීම, රෝගය උත්සන්න වීම හා මරණයට පත් වීම වැඩි වෙනවා. රෝගය වැලඳී සුවවූවන්ගේ ප්‍රතිදේහවලටත් එන්නතින් ඇතිවන ප්‍රතිදේහවලටත් විකෘති ප්‍රභේද සමඟ සටන් කරන්න බැහැ. සාමාන්‍ය පුද්ගලයන් මෙන්ම මේ දෙපිරිසම රෝගී වීමේ අවදානම ඉහළයි.  

නව ප්‍රභේද සමඟ එක්වන විවිධ රෝග ලකුණු ද තිබෙනවා. මියුකොමයිකොසිස් හෙවත් කළු දිලීරය ඉන්දියානු නව ප්‍රභේදය සමඟ මතුවූ එවන් රෝග තත්ත්වයක්. විශේෂයෙන් කෝවිඩ් වැලඳී සිටියදී ඔක්සිජන් ලබා දීමට සිදුවූ රෝගීන් මේ අවදානමට මුහුණපා සිටිනවා.

 

මොකක්ද මේ කළු දිලීරය?

ඉන්දියානු ප්‍රභේදය ආසාදිතවී සුවය ලබමින් සිටින බහුතරයක් දෙනා මියුකොමයිකොසිස් චර්ම රෝගයට ගොදුරුවෙමින් සිටිනවා. ඇස් හෝ කම්මුල් ඉදිමීම, නාසයේ කළු වියළි පොතු දකින්න ලැබීම, නළලේ කුටීර සිරවී වේදනාවක් දැනීම, මුහුණේ වේදනාව, හිසරදය, ඇස් වටා වේදනාව. ඇස් වටා ඉදිමීම වැනි ලකුණු මේ තත්ත්වයේදී හට ගන්නවා. රෝග ලකුණු පෙන්වන , නො පෙන්වන රෝගීන් දෙපිරිසටම මේ රෝගය වැලඳීමට පුළුවන්.

කෝවිඩ් වසංගතයට කලින් මියුකොමයිකොසිස් රෝගය වැඩිපුර දකින්න ලැබුණේ ප්‍රතිශක්තිය දුබල කරන පිළිකා, , ඒඩ්ස්, පාලනය නො කළ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින අය අතරයි. විශේෂයෙන් පාලනය නො කළ දියවැඩියා රෝගීන් අතර මියුකොමයිකොසිස් සුලබයි. ඊට හේතුව රුධිරයේ සීනි මට්ටම වැඩිවූ විට දිලීරය වඩාත් හොඳින් වර්ධනයවීමයි.

කෝවිඩ් නිසා ප්‍රතිශක්තිය දුබල වෙනවා. කෝවිඩ් සඳහා ලබා දෙන කෝටිකොස්ටීරොයිඩ්ස් නිසා රුධිරයේ සීනි මට්ටම වැඩි වෙනවා. මේ දෙකම කළු දිලීරය ආසාදනය වීමට බලපානවා. දියවැඩියා ඇති කෙනකුට කෝවිඩ් වැලඳුනොත් තත්ත්වය මාරාන්තිකයි. ඒ වගේම හදවත් රෝග, වකුගඩු ආබාධ ඇති අයකුට කෝවිඩ් - 19 වැලඳුණොත් කෝවිඩ් සුව වීමෙන් පසු මියුකොමයිකොසිස් වැලඳීමටත් එනිසාම අසාධ්‍ය තත්ත්වයට පත් වීමටත් තියෙන ඉඩ වැඩියි. ඉක්මනින් කළු දිලීරය හඳුනා ගෙන ප්‍රතිකාර කිරීම ඉතා වැදගතේ වන්නේ මේ නිසයි. මියුකොමයිකොසිස් ඇති කරන දිලීරය අප අවට පරිසරයේ තිබෙනවා. ආශ්වාසයෙන්, සමේ තුවාල, සීරීම් මඟින් ඇතුළු විය හැකියි. නිරෝගී ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අය රෝගයට ගොදුරු වන්නේ නැහැ.

මියුකොමයිකොසිස් මාරාන්තික ආසාදනයක්. දිලීරයෙන් රුධිර නාල ආසාදනය වූ විට පටකවලට රුධිරය නො ලැබී යනවා. දිලීරයට ප්‍රතිරෝධී ඔසු ලබා දීමට සැත්කම් කිරීමට සිදුවෙනවා. ඇස්වලට ආසාදනය වුණොත් ප්‍රතිකාර කලට වේලාවට නො ලැබුණොත් දෑස් අන්ධ වීමට ඉඩ තිබෙනවා. මොළය ආසාදනය වීමෙන් වලිප්පුව වැනි තත්ත්වයක් ඇති වන්න පුළුවන්.

නව කොරෝනා වෛරස් ප්‍රභේද මොන තරම් භයානකද? දම් වැලක පුරුක් මෙන් කෝවිඩ්වලින් පසු ඇති වන අතුරු ආබාධ මෙපමණකැයි කීමට බැහැ. නිවෙසින් බැහැරට යාමේදී මුව ආවරණ පැලඳීම, ගෙවත්තේ වැඩ කිරීමේදී අත් ආවරණ පැලඳීම, සබන් ගා දෑත් සේදීම වැදගත් වන්නේ මේ නිසයි.

 

 

චම්පිකා දීපානි රණසිංහ