වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අම්මටයි, තාත්තටයි බබාගේ හෘද ස්පන්දනය අසන්නට සැලැස්වීම අපූරු අත්දැකීමක්
යුක්තාණුවක් කලලයක් බවට පත් වෙමින් ඒ කලලය සතියෙන් සතිය විකසනයවන අයුරු හරිම අපූරුයි.
හිරණ්‍යායි, සේමිතයි තම කැදැල්ලට එකතුවන පුංචි පැංචියා ගැන හිතමින් ගත කරන හැම හෝරාවක් ම හරිම සොඳුරුයි.
තාමත් පුංචිම පුංචි පැටියෙක් වුණත් හිරණ්‍යගේ කුසට අත තියාගෙන කතා කරන්න, හෙමිහිට හාදුවක් එහෙම දෙන්න සේමිත අමතක කරන්නෙ නැහැ.
"ඔයා දැන් ටිකක් මහත් වෙලා. වෙනස් වෙලා. බර එහෙම ටිකක් වැඩිවෙලා ඇති."
"ඇත්තද, එදා ඩොක්ටර් බලද්දි මගේ බර කිලෝ 55 ක් තිබුණේ. දැන් ටිකක් වැඩිවෙලා ඇති. ඉතිං සේමිත මං ආසයි අපේ බබා හම්බ වුණාම ඔයාගේ අම්මයි, අපේ අම්මයි දෙන්නම මෙහෙ අපිත් එක්ක ඉන්නවා නම්. අපි දැන්මම ඒ අයට කියලා තියමු.
" හිරණ්‍යා එහෙම කිව්වේ සේමිතගේ තුරුලේ ඉන්න ගමන්ම යි.
ඔය අතරතුරේ හිරණ්‍යා ස්මාර්ට් ජංගම දුරකතනයෙන් ගැබිනි මවකගේ කලලය සතියෙන් සතිය විකසනය වන අන්දම පිළිබඳ තොරතුරු කියෙව්වේ නොතිත් ආසාවකින්. එහෙම කියවද්දී ඇයට තමන්ගේ කුසේ ඉන්න පුංචි පැටියාගේ රූප එකින් එක මැවිලා පෙනෙන්න පටන් ගත්තා.මේ ගතවෙන්නේ හිරණයාගේ 12 වැනි සතිය.
සාමාන්‍යයෙන් ගැබිනි සමය මුල් මාස 3, ඊළඟ මාස 3 සහ අවසන් මාස 3 වශයෙන් කොටස් තුනකට බෙදෙද්දී මුල් මාස තුන අවසන් වන්නේ 12 වැනි සතියෙන්. මේ වෙද්දි දැනෙන නොදැනෙන තරමට හිරණ්‍යාගේ කුසත් ඉදිරියට නෙරලා.
12වැනි සතිය වෙද්දී කලලයේ ලිංගික ප්‍රදේශයත් වැඩිලා. කලලයේ බර ග්‍රෑම් 45 ක් විතර.
දිග එහෙමත් නැත්නම් හිසේ සිට තට්ටම දක්වා වූ ප්‍රමාණය මිලි මීටර් 80 ක් ( අඟල් 3 1/2 ක්) මොළය එහෙම පිටින්ම වගේ වර්ධනය වෙලා. මෙය කලලයේ එක්තරා ලෙසක හැරවුම් ලක්ෂ්‍යයක්. අවයව බොහොමයක් වර්ධනය වන්නට පටන් අරන්.
මේ වෙද්දි කලලය බොහෝදුරට ගබ්සාවීම්වලට ලක් නොවී තිබෙන්න පුළුවන්. ගබ්සා විය හැකි කාලසීමාවන් ඔබ්බට ආවා කිව්වොත් වඩාත් නිවැරැදියි.
කලලයට සති 12 ක් පමණ වූ වීඩියෝවක් නැරැඹුවොත් ඔබට දකින්න ලැබේවි ඇස් සහ කන් වර්ධනය වී ඇති බව. අත් පා එහෙමත් වැඩිලා.
අත පය දිග හරින්න හකුළුවන්නත් දැන් බබාට පුළුවන්. ඇඟිලි දහය හොඳින් බෙදී වෙන්වෙලා තියෙන්නේ. තයිරොයිඩ් ග්‍රන්ථිය හැදිලා. අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් නිපදවන්නත් පටන් අරන්. ඇට මිදුළුවල සුදු රුධිරාණු සෑදීම වෙනවා. විවිධ හෝර්මෝන නිපදවීම අරඹන අතරට පිටියුටරි හෝර්මෝනයත් නිපදවන්න පටන් අරන්.
මසකට වරක් සිදු කරන නාරි හා ප්‍රසව විශේෂඥ හමුවේ දී අම්මටයි, තාත්තටයි දෙන්නට ම බබාගේ හෘද ස්පන්දනය අසන්නට සැලැස්වීම හරිම අපූරු අත්දැකීමක්.
ගර්භණී සමයේදී මව සහ පියා අහන්නට වඩාත් ම කැමැති ශබ්දය මෙය කිව්වොත් එය අතිශෝක්තියෙන් තොර කාරණයක්.
මේ වෙද්දි කලලයේ හෘද ස්පන්දන වේගය විනාඩියට 160 වාරයක් පමණ වෙනවා. වකුගඩු මඟින් මුත්‍රා පෙරීම, ස්නායු සෛල බෙදීම ආදියත් සිදුවන්නේ සති 12 දි.
මේ වෙද්දිත් බබා අත පය දිග හරිමින් හකුළමින් දඟලනවා. අම්මා කුසට අත තිබ්බොත් වැඩි වැඩියෙන් ඒ දේ කරනවා. හැබැයි අම්මට ඒ තරම්ම දැනෙන්නේ නැහැ. නමුත් පුංචි දිය බුබුළක්, වායු බුබුළක් එහෙ මෙහෙ යනව වගේ නැත්නම් සමනලයෙක් සිනිඳුවට අත්තටු ගහනවා වගේ වෙනදා නොදැනුණු ආගන්තුක හැඟීමක් දැනෙන්න පුළුවන්. කුලුඳුලේ ගැබිනියක වූ ආදරණීය මවකට මෙවැනි
ආගන්තුක හැඟීමක් ඇතිවෙද්දී, දෙවැනි තුන්වැනි හෝ ඉන් එහාට සිදුවන ගර්භණීභාවයක දී අම්මට පුංචි බබාගේ දැඟලීම කලින් ම දැනෙන්න පටන් ගන්නවා.
ඒ ඇයට එම අත්දැකීම ආගන්තුක නොවන්නක් නිසා.
මුල් මාස තුනේ අන්තිම සතිය වෙද්දී උදෑසනට සිදුවන කායික අපහසුතා යම් තරමකට මඟ හැරිලා අම්මාට තරමක් පිරුණු ගතියක් ඇවිදිල්ලා.
මේ වෙද්දි කුස තරමක විශාල වීමට පටන් අරන්. ඒ නිසා වන අපහසුතාවන්ගෙන් නම් දරු ප්‍රසූතිය දක්වා මිදෙන්නට බැහැ.
ගර්භාෂය ටිකෙන් ටික ලොකු වෙද්දි මුත්‍රාශය යම් තරමක තෙරපීමකට ලක්වන නිසා අම්මට මුත්‍රා පිට කිරීම නිතර නිතර සිදු කරන්න වෙනවා. හෝර්මෝනවල සිදුවන වෙනස්වීමත් මේ සඳහා බලපානවා.
මොනම හේතුවක් නිසාවත් ෆෝලික් ඇසිඩ්, කැල්සියම් සහ යකඩ පෙති ගැනීම එක දිනක්වත් මඟහැර ඉන්න එපා.
පුංචි බබාගේ වර්ධනයට මේ දේවල් අවශ්‍යම යි.
පළමු සති 12 දි ගර්භණී අම්මා කෙනකුට සුළු රුධිර වහනයක් ඇති වුණොත් කලබලයට පත්වන්න එපා. මානසිකව ඇද වැටීම වෙනුවට ශක්තිමත් වන්න. එහෙත් වැඩිපුර රුධිර වහනයක් නම් එය ගබ්සාවක පෙර ලකුණක් විය හැකියි.
මේ වෙද්දි අම්මගේ පියුයරුවලත් යම් වෙනසක් ඇති වෙන්න පටන් ගන්නවා. සමහර අවස්ථාවලදී ඇල්ලූවිට වේදනාවක් ගෙන දේවි.
පියයුරුවල පිරුණු ස්වභාවක් ඇතිවීම මෙතැන් පටන් ඇරැඹෙනවා. මේ සියල්ල සිදුවන්නේ හෝර්මෝන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙසට.පුංචි දෙයක් කළත් වෙනදාට වඩා අම්මට වෙහෙස ගතිය වැඩියි. එහෙම වෙන්නෙත් හෝර්මෝන ක්‍රියාකාරීත්වය නිසා.
උපදෙස්
ද සොයිසා කාන්තා රෝහලේ
නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය රුවන් පතිරගේ