දරුවන්ට කෝවිඩ් වැලඳෙන්නේ මාපියන්ගේ නොසැලකිල්ලෙන්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය
මැයි 31, 2021

 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සායන සඳහා සහභාගිවීමට  1390 අමතන්න

 

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග සායන සඳහා සහභාගිවන දරුවන්ට කෝවිඩ් වසංගතයත් සමඟින් ඒ පිළිබද ගැටලුවක් මතුව ඇති. මේ සඳහා 1390 අංකය අමතා ළමා රෝග වෛද්‍ය සායනය වෙත යොමු වී ඔබ සායන සදහා දිගින් දිගටම සහභාගි විය යුතුද? එසේ නම් ඒ සඳහා දිනයක් වේලාවක් වෙන්කර ගැනීම කළ හැකියි. මෙහිදී ඇතැම් වෛද්‍ය උපදෙස් දුරකතනය මඟින් ම ලබාගත හැකිවේ.

 

 

ළමා ළපටීන්ට ඔවුන්ගේ අතිශය සුන්දර ළමා ලෝකය කෝවිඩ් මාරයා උදුරාගෙන ඇත්තේ හිත් පිත් නැති අන්දමිනි. පළමු සහ දෙවැනි රැල්ල මෙන් නොව තුන්වැනි රැල්ල දරුවන්ට ද යම් ලෙසකින් බලපෑම් එල්ල කර තිබේ.

 

වැඩිහිටියන්ට සාපේක්ෂව කෝවිඩ් වැලඳීමේ හැකියාව දරුවන්ට තරමක් අඩුවුවත් සංකූලතා පෙන්වමින් මරු වැලඳගත් දරුවන් ද නැතුවා නොවේ.

දරුවන් කෝවිඩ් නිසා වැඩිම සංකූලතාවක් පෙන්වන්නේ සංජානනීය ආබාධ ඇති දරුවන් ය. මේ අතරින් හදවත් රෝග නිසා පීඩා විඳින දරුවන් පෙරමුණේ ම සිටියි. කෝවිඩ් වඩාත් බලපෑම් එල්ල කරනුයේ ස්වසන පද්ධතියට යි. මේ නිසා ඇදුම රෝගයෙන්, පෙනහලු රෝග, හදවත් රෝගවලින් පීඩා විඳින දරුවන් කෙරෙහි එල්ලවන අවධානම ද වැඩිය. මීට අමතරව දියවැඩියා, වකුගඩු රෝග, අක්මා රෝග, පිළිකා සහ තවත් නොයෙකුත් නිදන්ගත රෝගවලින් පෙළෙන දරුවන් ද අවධානම් කාණ්ඩයේ සිටියි.

නිතර නිතර උණ, හෙම්බිරිස්සාව, කැස්ස, සෙම්ගෙඩි හටගන්නා දරුවන් වඩාත් ප්‍රවේශම් කරගත යුතුය.

 

දරුවන් ආරක්ෂාකර ගැනීමේ වගකීම මාපියන්ට

දරුවන් කෝව්ඩිවලින් ආරක්ෂා කරගැනීමේ වගකීම එහෙම පිටින්ම ඇත්තේ මාපියන්ට යි. දරුවන්ට කෝවිඩ් වැලඳෙන්නේ මාපියන්ගේ නොසැලකිලිමත්කම නිසායි. දරුවන් තනිවම සමාජයට ගොස් සාදා නොගනී. මාපියන් නිවැරැදි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම නිසා දරුවන් එහි ගොදුරක් බවට පත්ව තිබේ.

බාහිර පරිසරයට මුසුවී පැමිණෙන ඔබ හොඳින් පිරිසුදු වී දරුවන් අසලට යෑම අනුගමනය කළ යුතුම ක්‍රියාමාර්ගයයි.

 

කෝවිඩ්වලින් දරුවන් රැක ගැනීමට

* දරුවන් නිවෙසින් පිටතට අනවශ්‍ය ලෙස ගෙන යෑම නොකළ යුතුය. අනවශ්‍ය ගමන් බිමන් සඳහා දරුවන් එක්කර නොගන්න. දරුවන්ගේ දෑත් සබන් හෝ විසබීජ නාශක දියරවලින් සෝදවන්න. නිවෙසේ දී වුව දරුවන් නිතරම අල්ලන තැන් විසබීජ නාශක දියර යොදා පිරිසුදු කරන්න.

 

* කැස්ස, කිවිසුම් යෑම ආදියේදී ටිෂු එකක්, ලේන්සුවක් භාවිතයට උපදෙස් දෙන්න.

* පුංචිම දරුවන් පිටස්තර පුද්ගලයන්ගෙන් හැකිතරම් ඈත්කරන්න. දරුවන්ව වැලඳ ගැනීමට ඉඩ නොදෙන්න.

* අවුරුදු දෙකට වැඩි දරුවන් මුඛ ආවරණයක් දැමීමට හුරු කරවන්න.

* කුඩා දරුවන් සිටින නිවෙස්වලට යෑමෙන් හැකිතාක් වළකින්න.

* දරුවන් නිවෙසට ම වී සිටින නිසා ඔවුන්ට ඇතිවිය හැකි මානසික ආතතිවලින් මුදවාලීමට කටයුතු කරන්න.

ඔවුන් ගෘහස්ත ක්‍රීඩා, මනස වැයකරන ක්‍රීඩා සඳහා යොමු කරන්න.

 

--------------------------------

 

දිනකට කෝවිඩ් දරුවන් 5 - 6 ක්

 

තෙවැනි කොරෝනා රැල්ලේ දරුවන්ගේ වාර්තාවීම ද වැඩි වී තිබේ. රිජ්වේ ආර්යා ළමා රෝහල වෙතින් දිනකට කෝවිඩ් වැලඳුණ දරුවන් පස් හයදෙනෙකු වාර්තා වේ.

කෝවිඩ් වැලඳුණු වැඩිහිටියන්ගේ වාර්තාවීම වැඩිවීමත් සමඟම දරුවන්ගේ කෝවිඩ් වාර්තාවීම ද ඉහළ යමින් තිබේ.

මේ දක්වා රිජ්වේ ආර්යා ළමා රෝහලේ කෝවිඩ් වැලඳුණු දරුවන් සිව්දෙනකු පමණ මියගොස් තිබේ. ඔවුන් සියලුම දෙනා උපතින්ම යම් යම් සංජානනීය ආබාධ තිබූ අයයි.

රෝගී වූ දරුවන් වෙනුවෙන් වඩාත් විශ්වාසනීය අන්දමින් කටයුතු කරන රිජ්වේ ආර්යා ළමා රෝහල කෝවිඩ් සම්බන්ධයෙන් ද එලෙස ම කටයුතු කරයි.

කෝවිඩ් වැලඳුණු දරුවන් රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත භාර නොගන්නා අතර මුල්ලේරියාව රෝහල, නෙවිල් ප්‍රනාන්දු රෝහල, හෝමාගම රෝහල සෘජුවම ඒ සම්බන්ධව කටයුතු කරයි. එහිදී මුලින්ම කළයුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙහෙයුම් කාර්යාලය වෙත කතා කිරීමයි. පසුව ඔවුන් අදාළ රෝහල් වෙත දරුවා යොමු කරයි.

එහෙත් රිජ්වේ ආර්යා ළමා රෝහලට රෝගී වූ දරුවකු පැමිණි පසු එම දරුවා කෝවිඩ් රෝගයට ගොදුරු වූයේ නම් අනෙකුත් දරුවන්ගෙන් වෙන්කොට වෙනමම වාට්ටුවක තබා ප්‍රතිකාර කරයි.

මෙහිදී දරුවා සමඟ මවගේ ද පී. සී. ආර්. පරීක්ෂණයක් සිදු කරයි. යම් හෙයකින් මව ද පොසිටිව් වුවහොත් දරුවාගෙන් මව වෙන්නොකොට දෙදෙනාම එකතැන රඳවයි. දරුවාට පමණක් කොවිඩ් වැලඳී ඇත්නම් මවට දරුවා සමඟ සිටීමට පුළුවන. දරුවාට නොව මවට පමණක් කෝවිඩ් පොසිටිව් වුවහොත් දරුවාගේ ආරක්ෂාවට වෙනත් කෙනකු යොදවා මව ගේ තත්ත්වය අනුව අදාළ ඉදිරි පියවර ක්‍රියාත්මක කරයි.