සියලු ම උගුරේ ආසාදන කෝවිඩ්-19 නිසා ඇති වන්නක් නොවේ

කොරෝනා සහ උගුරේ ආසාදනය වෙන්කර හඳුනා ගන්නේ කොහොමද?
ජුනි 9, 2021

 

වෙනදා කිවිසුමක්, උගුරේ වේදනාවක් ගණනකට නො ගත්ත ද දැන් නම් අසල්වැසි ගෙයකින් කිවිසුම් හඬක් ඇසුණ ද වැඩිදෙනකුට දැනෙන්නේ තමන්ට නව කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවකි.

වසංගතයක් පවතින විට එවැනි සැක සංකා පහළ වීම ස්වාභාවිකය. එහෙත් මේ අන් කවර කාලයේදීටත් වඩා නුවණැතිව තම රෝග ලකුණු ගැන විමසිලිමත් විය යුතු කාලයකි. උණ, ඇඟ පත වේදනාව, කැස්ස මෙන්ම උගුරේ ආසාදනය ද නිතර අත්දකින්නකි. උගුරේ ඇතිවන අපහසුතාව, කෝවිඩ් - 19 සමඟ කරළියට පැමිණි රෝග ලකුණකි. යම් ඉදිමීමක් සමඟ ඇතිවන උගුරේ අපහසුතාව ලොව කෝවිඩ් - 19 ආසාදිත පුද්ගලයන්ලෙන් සියයට 52 ක්ම වාර්තා කර තිබේ. එසේ වුවත් සියලුම උගුරේ ආසාදන කෝවිඩ් - 19 නිසා ඇති වන්නක් නො වෙයි.

උගුර තුවාලවී ඇතිවාක් මෙන් දැනීම, සුළු දැවිල්ලක්, කැසිල්ලක් දැනීම, කන බොන විට එම ලක්ෂණ උග්‍ර වීම, කටහඬ වෙනස් වීම උගුර ආසාදනය වන විට ඇති විය හැකියි. කෝවිඩ් නිසා ඇති වන උගුරේ ආසාදනයේදීත් සාමාන්‍ය උගුර ආසාදනයේදීත් වෙනසක් දැකිය නො හැකිය.

දේශගුණ වෙනස ද උගුරේ වේදනාවට බලපායි. පරිසරයේ ඇතිවන උෂ්ණත්වය වෙනස් වීම කුඩා වෛරස් හා බැක්ටීරියාවලට හොඳින් වැඩෙන්නට අපේ සිරුරට ප්‍රහාර එල්ල කිරීමට ලැබෙන කදිම අවස්ථාවකි.

උගුරේ ආසාදනය, නාසයෙන් සොටු දියර ගැලීම හැර වෙනත් අපහසුතාවක් නැත්නම් මීට හේතුව කෝවිඩ් - 19 ට වඩා අසාත්මිකතාවක් වීමට පුළුවන. අසාත්මිකතාව පිළිබඳ ඉතිහාසයක් ඇති අය විශේෂයෙන් මෙය අත්දකියි. නාසය කැසීම ද මේ අය අතර සුලබයි. මෙවැනි ලක්ෂණ සාමාන්‍යයෙන් කෝවිඩ් රෝගීන් අතර සුලබ නැත. එහෙත් ඒ ලකුණු සමඟ උණ ද ඇත්නම් කෝවිඩ් තිබෙනවාදැයි කියා පරීක්ෂා කර ගැනීම වැදගත්ය.

ඉන්ෆ්ලුවෙන්සා කලක සිට පවතින ස්වසන රෝග තත්ත්වයකි. කෝවිඩ් හා සමාන රෝග ලකුණු ඒ රෝගයේදී ද ඇති වෙයි. උණ, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව ඉන්ෆ්ලුවෙන්සා හෙවත් ෆ්ලූ තත්ත්වයේදී ඇති වුණත් කෝවිඩ්වලට වඩා ඉන්ෆ්ලුවෙන්සා පැතිරීම වේගවත්ය. ෆ්ලූවලින් ආරක්ෂාවීමට නම් එන්නත් වාර්ෂිකව ලබා ගත හැකිය. කාට හෝ මාංසපේශී වේදනාව ඇත්නම්, ගඳ - සුවඳ , රස නො දැනෙයි නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

විවිධ වෛරස නිසා උගුරේ ආසාදන ඇති විය හැකි අතර එය බොහෝවිට අහිංසක කරදරයකි. සති දෙකකින් පමණ ඉබේම උගුරේ ආසාදන සුවවෙයි.

උගුරේ ආසාදනවලට හිතුමතේ ප්‍රතිකාර නො ගත යුතුයි. වෛද්‍ය උපදෙස් නැතිව සිරප් වර්ග , ප්‍රතිජීවක ගැනීමෙන් සම්පූර්ණයෙන් වළකින්න. හැකි තරම් ජලය පානය කරන්න.

හර්පීස්, සරම්ප, මොනොනියුක්ලියෝසිස් ( කිසිං ඩිසීස් ) වැනි රෝගවලදීත් උගුරේ ආසාදන ඇති වෙයි.

උගුරේ ආසාදන ඇති කරන්නේ වෛරස පමණක් නො වෙයි. බැක්ටීරියා ද හේතු වෙයි. ස්ට්‍රෙප් ත්‍රෝට් ( සෙම්ගෙඩි ) නමින් හඳුන්වන දරුවන් අතර සුලබ එහෙත් වැඩිහිටියන්ටත් වැලඳිය හැකි තත්ත්වය බැක්ටීරියා ආසාදනයකි. මෙහිදී දැඩි උගුරේ වේදනාවක් ඇති වෙයි. ප්‍රතිකාර නො ලැබුණොත් වකුගඩු ප්‍රදාහයට පත්වීමට, රුමැටික් උණ සෑදීමට ඉඩ තිබෙයි. මේ උගුරේ ආසාදනයට වෛද්‍යවරුන් ප්‍රතිජීවක ඔසු ලබාදී ප්‍රතිකාර කරයි.

සෑම උගුරේ ආසාදනයක්ම කෝවිඩ් නිසා ඇති වන්නක් නො වෙයි. අමෙරිකාවේ රෝග මර්දනය කිරීමේ සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය මුලින් කෝවිඩ් රෝග ලකුණු ලෙස පෙන්වා දී තිබුණේ උණ. කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව පමණයි. පසුව ඊට තවත් ලකුණු එක් විය. වෙව්ලීම, මාංසපේශි වේදනාව, හිසරදය, උගුරේ අපහසුතාව, ගඳ - සුවඳ - රස නො දැනීම අලුතින් එක්වූ ලකුණුය.

ලෝකයේ අලුත්ම දත්තයන්ට අනුව කෝවිඩ් වැලඳුන පුද්ගලයන්ගෙන් 10 - 12 ක් පමණ උගුරේ අපහසුතාව අත්දැක තිබෙයි.

 

උපදෙස්

ප්‍රජා වෛද්‍ය විශේෂඥ

දිමුතු ධර්මවර්ධන