අනිවාර්යයෙන් දැන ගත යුතු කෝවිඩ් එන්නත් ගැන ඇත්තම කතාව..

හැම කෝවිඩ් එන්නතකින්ම රෝගය දරුණු වීම වළකිනවා
ජුනි 16, 2021

කිසිදු කෝවිඩ් එන්නතකට බිත්තර හෝ සත්ව නිෂ්පාදන අන්තර්ගත නැත. ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රසෙනිකා එන්නතේ අඩංගු එදිනෙදා අප කෑමට ගන්නා පාන්වලටත් වඩා අඩු මධ්‍යසාර ඉතා සුළු ප්‍රමාණයකි.

 

කෝවිඩ් රෝගියකු සුවවී වෙනත් ආබාධ නැත්නම් සති දෙකකට පසු එන්නත ගත හැකිය.

 

එක් කෝවිඩ් එන්නතක් ගෙන සති 3 - 4ක් ඇතුළත දෙවැනි මාත්‍රාව ගතහොත් නැවත එන්නත ගතයුතු නැත.

ජලය පානය කිරීම කෝවිඩ් 19 වළක්වා ගැනීමේදී මෙන්ම එන්නතින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේදීත් වැදගත්ය. එන්නත ගැනීමට පෙරත් පසුවත් දිනක් දෙකක් මඳ විවේකයකින් සිටින්න.

 

ලොවම ගිලගත් නව කොරෝනා වෛරසය සීග්‍රයෙන් තම මුහුණුවර වෙනස් කරමින් මිනිසාට පහර පිට පහර දෙමින් සිටියි. හොඳම උදාහරණය වී සිටින්නේ අපේ අසල්වැසියා වන ඉන්දියාවයි. එහෙත් ජගත් සෞඛ්‍ය බලධාරීන් පසුබාන්නේ නැත.

වෛරස පරාජය කිරීමට ලො‍ව පුරා සිටින විද්‍යාඥයන් එක්ව කළ සටනේ ප්‍රතිඵල වන එන්නත් මේ වන විට නීරෝගි පුද්ගලයන්ට ජීවිතය ගැන සුබදායක බලාපොරොත්තුවක් එක්කර ඇත. ඇස්ට්‍රසෙනිකා, ෆයිසර්, සිනොෆාම්, ස්පුට්නික් එන්නත් නාමයන් අපේ රටේ ජනතාවට ද ආරක්ෂක පලිහක් බවට පත්ව සිටියි. මේ කවර එන්නත ගත්ත ද කෝවිඩ් - 19 නො වැලඳෙන බවට සහතිකයක් ලබාගත නො හැකි නමුත් රෝගයෙන් සංකූලතා ඇතිවී මිය යාමේ අවදානම අඩු වන බව නො දන්නා කෙනෙක් නැත. ඒ නිසාම බොහෝ දෙනෙක් එන්නත ලබා ගැනීමට ඉතාමත් දැඩි උනන්දුවකින් කටයුතු කළත් තවමත් ඇතැම් අයෙක් එන්නත ලබා ගන්නට නොසිතති. එන්නත ලබා ගත් අයට මෙන්ම එන්නත ලබා ගන්නට මැළිවන අයට එන්නත් ගැන නිවැරැදි තොරතුරු දැනගැනීම එකසේ වැදගත් වේවි.

 

වාහක පාදක එන්නත 

ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රසෙනිකා

ඇස්ට්‍රසෙනිකා මුලින්ම අපේ ජනතාවට කෝවිඩ් පරදන බලාපොරොත්තුව දුන් එන්නතයි. ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂක කණ්ඩායමක් හා ඇස්ට්‍රසෙනිකා සමාගම එක්වී නිර්මාණය කළ ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රසෙනිකා එන්නත වාහක වෛරස - පාදක එන්නතකි. වාහක - පාදක එන්නතකින් කරන්නේ රෝග කාරක වෛරසයට අයත් ප්‍රතිදේහජනක නිපදවීමට අවශ්‍ය කරන ජානමය උපදෙස් ඇතුළත් වන ලෙස හා එන්නත්ලාභියාට හානිකර නො වන ලෙස වෙනස් කරන ලද වෙනත් වෛරසයක් ( වාහකය ) එන්නත්ලාභියාගේ දේහ‍ සෛලවලට හඳුන්වා දීමයි. මේ එන්නතේ වාහකයා ලෙස යොදාගෙන ඇත්තේ චිම්පන්සියාට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව සාදන

ඇඩිනොවෛරසයකි. එන්නතින් නිපදවනු ලබන ප්‍රතිදේහජනකය වන්නේ වෛරසයට අයත් ස්පයික් ප්‍රෝටීනයයි.

ඇස්ට්‍රසෙනිකා එන්නත සාමාන්‍ය ශීතකරණවල ඇති සෙල්සියස් අංශක දෙකත්, අටත් අතර උෂ්ණත්වයේ ගබඩාකර තබා ගැනීමට පුළුවන. ඇස්ට්‍රසෙනිකා එන්නත ආන්දෝලනාත්මක මාතෘකාවක් බවට ද පත්විය. ඒ එන්නත ලබාගත් කිහිප දෙනකු රුධිර කැටි ඇති වී මියයාම නිසයි.

වයස අවුරුදු හතළිස් ගණන්වල පසුවන අය ලක්ෂයක් එන්නත ගත්තොත් එක් අයකුට රුධිර කැටි ඇති වීමේ අවදානමක් පවතින බවත් වයස අවුරුදු තිස් ගණන්වල පසුවන්නන් හැටදහසකින් එක් අයකුට රුධිර කැටි ඇති වීමේ අවදානමක් ඇති බවත් හෙළවී තිබෙයි.

පළමු මාත්‍රාව ගත් පසු රුධිර කැටි ඇතිවූ අයකු ඇස්ට්‍රසෙනිකා දෙවැනි මාත්‍රාව නො ගත යුතුයි. රුධිර කැටි ඇති වීමේ අවදානමක් ඇති රෝග තත්ත්වයන්ගෙන් පීඩා විඳින අයට ද මේ එන්නත නො ගැළපෙයි.

කාට හෝ එන්නත ලබාගත් පසු පහත ලකුණු ඇති වුණොත් වහාම වෛද්‍ය උපදෙස් පැතිය යුතුය.

ඒවා නම්,

දිගින් දිගටම පවතින හෝ තදබල හිසරදයක් ඇති වීම

බොඳවී පෙනීම

පපුවේ වේදනාව

හුස්ම ගැනීමේ අසීරුතාව

දෙපා ඉදිමීම

දිගටම පවතින උදර වේදනාව

සමේ අසාමාන්‍ය තුවාල ගතියක් ඇතිවීම

මේ එන්නතේ සඵලතාව සියයට 67කි. එනම් සිය දෙනකුට එන්නත ලබා දුන්නොත් හැට හත් දෙනකුට සාර්ථකව ප්‍රතිශක්තිය ඇතිවෙයි.

පළමු එන්නත ගෙන මාස තුනක් ඇතුළත දෙවැනි මාත්‍රාව ගත යුතුය. එයින් ප්‍රතිශක්තිය වඩාත් ඉහළ යයි.

කිසිදු කෝවිඩ් එන්නතකට බිත්තර හෝ සත්ව නිෂ්පාදන අන්තර්ගත නැත. ඔක්ස්ෆර්ඩ් / ඇස්ට්‍රසෙනිකා එන්නතේ අඩංගු එදිනෙදා අප කෑමට ගන්නා පාන්වල තිබෙනවාටත් වඩා අඩු මධ්‍යසාර ඉතා සුළු ප්‍රමාණයකි.

 

 

--------------------------

 

අවුරුදු 18 ට වැඩි ඕනෑම කෙනකුට ගත හැකි සයිනොෆාම්

 

වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම කෙනකුට ගත හැකි එන්නතකි. එන්නතේ සඵලතාව 79% කි. මියගිය කොරෝනා වෛරස් කොටස් එන්නතෙහි අඩංගු නිසා එන්නතින් බරපතළ සංකුලතා ද ඇති නො වෙයි. බීජිං නුවර සයිනොවැක් නම් ඖෂධ ශාලාවේ නිෂ්පාදනයක් වන මෙය ජලභීතිකා එන්නත වැනි සාර්ථක සාම්ප්‍රදායික ක්‍රමයට නිපදවූවකි. සයිනොෆාම් එන්නතේ ඇති වාසියක් වන්නේ මෙය ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත මෙන් සෙල්සියස් අංශක 2 - 8 ක උෂ්ණත්වයේ ගබඩාකර තැබිය හැකි වීමයි. මෙය ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවලට ප්‍රයෝජනවත් වෙන්නේ විශාල එන්නත් ප්‍රමාණයක් පහසුවෙන් ගබඩාකර තැබිය හැකි නිසයි.

 

කෝවිඩ් 19 න් අමු සොහොනක් වූ අමෙරිකාවේ එන්නත්කරණයෙන් පසු දෛනිකව වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ ලණන අඩුවී තිබේ. එරට දෛනිකව දළ වශයෙන් ජනගහනයෙන් මිලියනයකට කෝවිඩ් එන්නත් ලබාදෙයි.

ජනගහනයෙන් සියයට හැත්තෑවක්වත් එන්නත් කළ හැකි නම් කෝවිඩ් මාරයා පහසුවෙන් පරාජය කළ හැකිය.

එන්නත ගත්තා කියා කිසිවකු වසර දෙකකින් මිය යන්නේ නැත. එවැනි මිථ්‍යාවන් පතුරුවන්නේ ලොව පුරා විසිරී සිටින එන්නත් විරෝධී පුද්ගලයන්ය.

තමන්ට අසාත්මිකතා ඇත්නම්, වෙනත් රෝගාබාධ ඇත්නම්, ගර්භණී නම් මේ සියල්ල එන්නත ලබා ගැනීමට පෙර පැවසිය යුතුය. කෝවිඩ් ලකුණු ඇත්නම් එන්නත ගැනීමෙන් වළකින්න. වහාම වෛද්‍ය උපදෙස් පතන්න. එන්නත ගත් පසු හුස්ම ගැනීමේ අපහසුතා, පලු මතුවෙයි නම් වෛද්‍ය උපදෙස් පතන්න.

ජලය පානය කිරීම කෝවිඩ් 19 වළක්වා ගැනීමේදී මෙන්ම එන්නතින් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමේදීත් වැදගත්ය. එන්නත ගැනීමට පෙරත් පසුවත් දිනක් දෙකක් මඳ විවේකයකින් සිටින්න. එන්නත ගත්තා කියා මුව සේදීම, දුරස්ථභාවය පවත්වා ගැනීම, සබන් ගා අත් සේදීම වැනි සුව නීති කඩා දමමින් නීති විරෝධී ලෙස හැසිරීමෙන් වළකින්න. එන්නත ලබා ගත්තා කියා රෝගය සෑදීමේ අවදානමෙන් මිදෙන්නේ නැත.

එන්නත් හතකට පමණ මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී ඇත. ෆයිසර් අමෙරිකානු එන්නත, ඇස්ට්‍රසෙනිකා , ජොන්සන් ඇන්ඩ් ජොන්සන් ( එක් මාත්‍රාවක් පමණක් ගත යුතු එන්නතකි ), ස්පුට්නික් , සයිනොෆාම්, මෙඩෝනා ඒ අතර ප්‍රධානයි. තවත් එන්නත් 10 කට වඩා වැඩි ගණනක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසර පතා සිටියි.

පළමු එන්නත් මාත්‍රාවෙන් සියයට පනහක සඵලතාවක් ඇති වෙයි. දෙවැනි මාත්‍රාවෙන් වැඩි ආරක්ෂාවක් ලැබෙයි.

 

රුසියාවේ නිපදවන ස්පුට්නික් එන්නත

 

කෝවිඩ් - 19 ට එරෙහිව නිපදවූ සියලු එන්නත් අතර මුලින්ම සාර්ථක එන්නත ලෙස ලියාපදිංචිවූ එන්නත වන්නේ "ස්පුට්නික් වී" එන්නතයි. රුසියාවේ වසංගත අධ්‍යයන සහ ක්ෂුද්‍ර විද්‍යාව පිළිබඳ ගමේලියා ජාතික මධ්‍යස්ථානය විසින් එන්නත නිපදවා ඇත. මෙය ද ඔක්ස්ෆර්ඩ් මෙන් වාහක වෛරස පාදක කරගත් එන්නතකි. ලොව ඇති සඵලතාව සියයට 90 ට වැඩි එන්නත් තුනෙන් එකක් ලෙස ස්පුට්නික් එන්නත හැඳින්විය හැකිය. මෙහි සඵලතාව සියයට 91.6ක් බව දක්වා තිබෙයි. සාමාන්‍ය ශිතකරණ උෂ්ණත්වයක එනම් සෙල්සියස් අංශක 2 - 8 ක උෂ්ණත්වයක එන්නත්

ගබඩා කළ හැකි වීම වාසියකි.

 

ජාන ඉංජිනේරු තාක්ෂණය යොදා ගෙන නිපදවා ඇති ෆයිසර්

 

අමෙරිකාවේ ෆයිසර් ඖෂධ නිෂ්පාදන සමාගම ජර්මනියේ ජෛවතාක්ෂණ සමාගමක් හා එක්වී නිර්මාණය කළ ෆයිසර් එන්නතේ සඵලතාව සියයට 95කි. එන්නත් නිර්මාණය කිරීමට භාවිත කරන ලද නවතම තාක්ෂණය යොදා ෆයිසර් එන්නත නිෂ්පාදනය කර තිබෙයි. ජාන ඉංජිනේරු තාක්ෂණය යොදා ගෙන වෙනස් කරන ලද ආර්එන්ඒ අණු සිරුරේ සෛලවලට යවන අතර ඒවා නව කොරෝනා වෛරසය අනුකරණය කරමින් ඊට අදාළ ප්‍රෝටීන නිපදවයි. මේ ප්‍රෝටීන භාවිතයෙන් ප්‍රතිශක්ති පද්ධතිය ආරක්ෂක ප්‍රතික්‍රියා දැක්වීමට පෙලඹෙයි.

ෆයිසර් එන්නත ලොව රටවල් ගණනාවක දරුවන්ට හා ගැබිනි මවුවරුන්ට ද ලබා දෙන එන්නතකි. පළමු එන්නත ගෙන සති තුනක් ඇතුළත දෙවැනි මාත්‍රාව ලබා ගැනීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන.

පළමු ෆයිසර් එන්නත ලබා ගෙන දරුණු අසාත්මිකතාවක් ඇතිවූ අය දෙවැනි මාත්‍රාව ලබා නො ගත යුතුයි. සාමාන්‍යයෙන් එන්නත ගෙන දවසක් දෙකක් ඇතුළතදී වෙහෙස, හිසරදය, මාංසපේශි වේදනාව, සීතල, උණ, ඔක්කාරය වැනි ලකුණු ඇති වීමට හැකි නමුත් මේවා දින කිහිපයකින් නැතිවී යයි.

 

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවලිනි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.