දුඹුරු සීනි ආවට ගියාට මිල දී ගන්න එපා

ජූලි 14, 2021

 

මුළු තැන් ගෙයි රාක්කයේ සුදු සීනි බෝතලේට තිබුණු තැන දැන් අයත්කර ගෙන ඉන්නේ දුඹුරු සීනි බෝතලයයි. "දුඹුරු සීනි අගුණ නැහැල්ලු.

සුදු පාට කරන්න රසායන දාන්නෙත් නැහැනෙ." දැන් ඉතින් සියලු රෝගවලින් නිදහස් වුණා වගේ සිතට සැහැල්ලුවක්, සහනයක් දැනුණා. දුඹුරු සීනි හැන්දක්....කනට සනීපයකි දැනුණ ද ඇත්තටම එය සියයට සියයක්ම දුඹුරු සීනිද? මෙපමණ කලක් ඔබට කිසිදු සැකයක් දැනිලා නැතිව ඇති. සැකයක් නැති නිසාම දුඹුරු සීනි බෝතලය දෙස දෙවරක් නො බලන්නට ඇති. එහෙත් ඔබට අන්වික්ෂයක් රැගෙන දුඹුරු සීනි ඇට දෙස බලන්නට කාලය ඇවිදින්.

සීනි නිෂ්පාදන ක්‍රියාවලියේදී මුලින්ම සෑදෙන්නේ දුඹුරු සීනියි. එලෙස සෑදෙන සුදු සීනිවලට ගෙන්දගම් සහ තවත් විරංජක රසායනික ද්‍රව්‍ය එක්කර සුදු සීනි බවට පත් කරයි. මේ නිසා දුඹුරු සීනිවලට වඩා සුදු සීනි පිළිකා කාරකයි. ඒ පුවත දැනගත් බොහෝ දෙනා කලක සිට සුදු සීනි බෝතලයට යන්න කියලා දුඹුරු සීනි බෝතලයට ඒ තැන ලබා දුන්නා.

ඒත් මේ ශ්‍රී ලංකාව. බටහිර ආදිපත්‍යයෙන් පසු බිහිවුණු ශ්‍රී ලංකාව චිකාගෝවේ චෞර විශේෂඥයන්ටත් සොරකම උගන්වන්නට තරම් සපන්කම් පානවා. දුඹුරු සීනිවලට ඇති ඉල්ලම දුටු සුදු සීනි ලබා ගන්නා කර්මාන්තකරුවන් ඒවාට ඩයි දමා දුඹුරු සීනි බවට පත් කරනවා. මේවා සුදු සීනිවලටත් වඩා පිළිකා කාරකයි.

කොහොමද ඇත්ත දුඹුරු සීනියි ව්‍යාජ දුඹුරු සීනියි වෙන්කර හඳුනා ගන්නේ? වාසනාවකට එය එතරම් අපහසු නැහැ. දූඹුරු සීනි වැඩි කලක් තබා ගැනීම අසීරුයි. කලක් ගත වෙන විට තෙතගතියක් ඇති වෙයි. පැසීම නිසා මධ්‍යසාර ගන්දයක් හමයි. ඩයි කළ සුදු සීනිවල තෙත ගතියක් නැහැ. ඒකාකාරීව දුඹුරු පාට නැත්නම් එයත් සැකකළ හැකි කාරණයක්. එනම් සමහර ඇට තද දුඹුරු පැහැ වෙද්දී තවත් ඇට ළා දුඹුරු පැහැතියි.

දුඹුරු සීනි පැකැට්ටුවක් ගනිද්දී හොඳින් බැලුවේ නැත්නම් සුවය රකිනවා කියා මිලදී ගන්නේ නැති ලෙඩ ඇති කරන ඩයි කළ සුදු සීනි පැකැට්ටුවක් වෙන්න පුළුවන්.

දුඹුරු සීනි සහ සුදු සීනිවල වෙනස මොකක්ද?

සුදු සීනිවලට වඩා දුඹුරු සීනිවල කාබෝහටිඩ්‍රේට් සහ කැලරි තරමක් අඩුයි. දුඹුරු සීනි හැන්දකින් කැලරි 15 ක් සිරුරට ලැබෙන අතර සුදු සීනි හැන්දකින් කැලරි 16 ක් ලැබෙනවා. දුඹුරු සීනි හැන්දක කැල්සියම්, යකඩ, පොටෑසියම්, මැග්නීසියම් වැනි ඛනිජ ලවණ සුදු සීනිවලට වඩා ස්වල්ප ප්‍රමාණවලින් වැඩියි.

කුමන සීනි වර්ගය පමණ ඉක්මවා ගත්ත ද හදවත් රෝග, දියවැඩියාව, අක්මාවේ මේද සෑදීමේ, අවදානම ඉහළ යනවා. දුඹුරු සීනි බර අඩු කර ගැනීමට උත්සාහ ගන්නන්ට විකල්පයක් ලෙසින් යොදා ගන්නත් බැහැ.

සුදු සීනිවල ග්ලූකෝස් සියයට පනහක් ද ෆෟක්ටෝස් සියයට පනහක් ද අඩංගු අතර උක්වලින් හෝ බීට්වලින් ලබා ගන්නා සාරයෙන් නිෂ්පාදනය කරයි. දුඹුරු සීනිවල සියයට අනූ පහක් ග්ලූකෝස් හා ෆෘක්ටෝස් අඩංගු අතර සියයට පහක් උක් පැණි අඩංගුයි. සුදු සීනි තරම් රසායනික ක්‍රියාවලියකට බඳුන් වන්නේ නැහැ. උක්වලින් සීනි නිෂ්පාදනය කිරීමේදී අතුරු ඵලයක් ලෙස නිපදවෙන උක් පැණි සුදු සීනි සහ දුඹුරු සීනිවලට වඩා ගුණදායකයි. මී පැණි සීනි වර්ගයක් නො වුණත් සීනි වෙනුවට විකල්පයක් ලෙසින් වගේම ඔසුවක් ලෙසින් ද කලක සිට යොදා ගන්නවා. මී පැණිවල ෆෘක්ටෝස් ඇත්තේ අඩුවෙන්. එය අපේ සුවය රකින මධුර ආහාරයක්. විටමින්, ඛනිජ ලවණ, පිළිකා වළක්වන ප්‍රතිඔක්සිකාරක රැසක් මෙහි අඩංගු වුවත් කැලරි අධික නිසා පමණ දැන ගත යුතුයි. හකුරු ද සීනිවලට ඇති තවත් විතල්පයක්. මෙය ද පමණ දැන ගත යුතුයි. සීනිවලට වඩා වෙනස් ක්‍රියාවලියතින් හකුරු නිෂ්පාදනය වෙනවා. බී විටමින් වැනි අත්‍යාවශ්‍ය පෝෂකත් ඛනිජ ලවණත් මෙහි අඩංගුයි.

 

උපදෙස් - පෝෂණවේදිනී නිස්තා සක්සේනා, වෛද්‍ය

බිමල් චැජර්