අලුත උපන් දරුවන් නිතර අඬන්නේ කිරි මඳි නිසා ද?

ඔක්තෝබර් 13, 2021

 

දියණියක් හදාවඩා ගැනීම හරිම සැලකිල්ලෙන්, පරෙස්සමට කළ යුතු දෙයක්. ඇය අනාගතයේ බිරියක්, මවක් බවට පත්වෙමින් නිරෝගී දරුවකුට උපත දෙන්න සූදානම් වන්නියක් බව අමතක කරන්න බැහැ. හිරණ්‍යා ඒ බව හොඳින්ම හිතර අරන් ඉන්නේ. දූ සිඟිත්තව තුරුළු කරන් ඇය හැමවිටම හිතුවේ නිදුක් නිරෝගී දරුවකු ලෙස පුංචි දෝණිව උස්මහත් කරන්නට.

අලුත උපන් දරුවා කිලෝග්‍රෑම් 2.5ට වඩා වැඩිනම් හොඳ බරක් ඇති දරුවෙක්. එහෙත් දරුවන් අඩු බරක් ඇතිව ඉපදුණු විටදී මව්පියන් බිය විය යුතු නැහැ. මෙවැනි දරුවන් නියමිත බරට ගෙන එන්න නම් උත්සහවන්තව කිරි දීමයි කළ යුතු එකම දේ. අඩු බර දරුවන් අනාගතයේ වෛද්‍යවරු, ඉංජිනේරුවන්, ආචාර්ය, මහාචාර්ය වීමට කිසිදු බලපෑමක් නොවේවි. මේ නිසා දරුවන්ගේ අනාගතය පිළිබඳ බිය විය යුතු නැහැ.

 

බර අඩුවේ නම් කළ යුත්තේ කුමක් ද?

බිලිඳාගේ බර එන්න එන්නම අඩු වේ නම් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවන්නට වේවි. මෙහිදී බොහෝවිට සිදුවන්නේ බිලිඳාගේ මුත්‍රා පරීක්ෂාවක් සිදු කිරීම. බොහෝ විට සිදුවන්නේ සම්පූර්ණ මුත්‍රා පරීක්ෂාවක් (UFR - Urine Full Report) එහි PUS Cells 4 - 50 වඩා වැඩි නම් Culture පරීක්ෂාවක් කරන්නට වේවි.

දියණියකගේ මුත්‍රා ගැනීම තරමක් අසීරු කාරණයක්. මේ පිළිබඳ අම්මා දැනුවත් විය යුතුයි. පළමුව දියණියගේ ලිංගික අවයවය හොඳින් සෝදන්න. යෝනි තොල් ඉතා හොඳින් සේදිය යුතුයි.

ඔබගේ අවශ්‍යතාව පවසා රසායනාගාරයකින් ඒ සඳහා වන කුඩා කුපිප්යක් ගෙනැවිත් හොඳින් කිරි දී යෝනි තොල් පළල් කර බලා සිටින්න. මේ සඳහා සහයට හිතවතියක් සිටීමත් වැදගත්. දරුවා මුත්‍රා දමනවිටම එහි මූඩිය හැර මව අතට ලබා දිය යුතුයි. රසායනාගාරයෙන් ගෙනෙන කුප්පිය විවර නොකරන්න. කිසිවිටෙක සෝදන්නට යන්න එපා. හේතුව ඒවා විසබීජහරණය (Sterillize) කර ඇති නිසාය.

දරුවා මුත්‍රා කිරීමට ප්‍රමාද නම් ළඟම ඇති වතුර කරාමය ඇර භාජනයකට වතුර වැටෙන ශබ්දය කුඩා බිලිඳියට ඇසෙන්නට සලස්වන්න. එවිට ඇය ඉබේටම මුත්‍රා කරයි. පුතකුගේ ද මේ ක්‍රමයට ම මුත්‍රා සාම්පල ලබාගත හැකියි.

 

මවට කිරි අඩු නම් දරුවා නිතරම හඬනවා

මවට කිරි අඩුයි නම් පළමුව එය දරුවා තේරුම් ගනියි. දරුවා නිතරම හඬයි. එක දිගට නිදා ගන්නේ නැත. මුත්‍රා කරන ප්‍රමාණය ද අඩුයි. මෙවැනි මවකට ගැට පොළොස්, කරවිල, කිරි අගුණ කොළ යනාදිය නිතර නිතර ආහාරවේල් සඳහා එකතු කර ලබාදීමට පවුලේ අය උනන්දු විය යුතුයි.

පළමුව ඔබේ පියුයරු ළා රස්නය ඇති වතුරින් තවන්න. දිනකට දෙවරක් හොඳින් සම්බාහනය කරන්න. මේ අතරේ පියයුරු ගල් වී ඇත්දැයි කල්පනාකාරී වන්න. පුරාණයේ නම් පියුයරු මතින් බුලත් කොළ දෙකක් තබා තණපටය අඳියි. මෙය වර්තමානයේදීත් කළ හැකියි. බ්‍රා කප් එකට යටින් බුලත් කොළ තබා බ්‍රා එක අඳින්න.

 

සිසේරියන් සැත්කමකින් බිලිඳා බිහිවූයේ නම්..

සිසේරියන් සැත්කමකින් බිලිඳා බිහිවූයේ නම් කැපුම් තුවාලය ගැන සැලකිලිමත් වන්න. තුවාලය පැසවා හෝ ඉන් දියරයක් මතු වේ නම් ඔබේ නාරිවේද වෛද්‍යවරයා හමුවන්න. වෛද්‍යවරයා Antibiotic (ප්‍රතිජීවකයක්) එකක් ලබාදේවි. ඒ පිළිබඳ කලබල වන්න එපා.

සාමාන්‍ය දරු ප්‍රසූතියක් නම් සිදුවූයේ දිනක දී පැය හතරකට වරක්වත් සනීපාරක්ෂක තුවා මාරු කරන්න. ඇල්දියෙන් සෝදන්න. සෞම්‍ය සබන් වර්ගයක් පාවිච්චි කර සෝදා සනීපාරක්ෂක තුවායක් පලඳින්න. සතියක් හමාරක් පමණ ඇතැම් මව්වරුන්ට ඊට වඩා කාලයක් සුළු වශයෙන් රුධිරය වහනය වේවි.

 

ඉපදී සති කිහිපයකින් ලබා දිය යුතු රත කල්කය

දියණියට මාසයක් පමණ ගතවූ පසු විශ්වසනීය දේශීය වෛද්‍යවරයකුගෙන් හෝ බෙහෙත් වෙළෙඳසලකින් ග්‍රෑම් 5ක් (කලං 1ක්) ප්‍රමාණයෙන් රත කල්කය ගෙන සතියයට 3 - 4 වතාවක් ගම්මිරිස් ඇටයක ප්‍රමාණයක් මව්කිරෙන් දියකර ලබාදෙන්න. මෙය සෑම දරුවකුම ඉපදී සති කිහිපයකින් ලැබිය යුතුම මහාර්ඝ ඖෂධයකි. මින් දරුවාගේ ප්‍රතිශක්තිය ඉතා හොඳින් වැඩිවේ. දහඩිය බිබිලි, රත බිබිලි ඇත්නම් සුව වේ. සෙම ගතිය අඩුවේ. මලපහ කිරීම පහසු වේ.

 

අලුත උපන් බිලිඳා සඳහා වෛද්‍යවරයෙක්

කුඩා බිලිඳෙක් උපන්දා පටන් දරුවා පෙන්වීමට ළමා රෝග විශේෂඥයකුගේ සහය ලබා ගත යුතුම වේ.

* උගත් පලපුරුදු වෛද්‍යවරයෙක්

* හොඳින් ඇහුම්කන් දෙන මවට කාලය ගෙන කතා කළ හැකි වෛද්‍යවරයෙක් වීම

* රෝගයට අනුරූපය ඖෂධ ලබාදෙන්නෙක් වීම වැදගත් වේ. (සමාජයේ ප්‍රචලිත one shot වෛද්‍යවරයකු නොවිය යුතුය.) මන්ද රෝගයක් හට ගත් සැණින් Antibiotic දෙන වෛද්‍යවරුන් පිළිබඳ සලකා බලන්න. ඖෂධවලින් රෝගය සුව වුවත් අතුරු උපද්‍රව (side effect) නොමැති විය යුතුයි.

මාස හයක් යනතුරු නොකඩවා දරුවාට මව්කිරි ම ලබාදෙන්න. වතුර කිසිසේත් ම අවශ්‍ය නොවේ. මව්කිරිවල සියයට 95ක්ම ඇත්තේ වතුර යි. පිටිකිරි දෙන මව අවශ්‍යම වුවහොත් හොඳින් නටවා නිවාගත් වතුර තේ හැඳි 1 - 2ක් දුන්නාට කම් නැත.(මුත්‍රා කරන වාර ගණන අඩුනම් පමණි.)

දරුවා නැළවීමට සිහින් සංගීත රාව, සෞම්‍ය ගීත ඇසන්නට සලස්වන්න. දරුවාගේ මනස කුඩා කල සිට සංවර්ධනය කරන්නට අවැසි අත්වැල සපයා දෙන්න.

 

 

උපදෙස් -

ආයුර්වේද විශාරද පණ්ඩිත විශේෂඥ වෛද්‍ය

මානව උපදේශක වෛද්‍ය

සුදත් ගුණතිලක