එන්න‍ෙත් බලය බිඳින අලුත් ම කෝවිඩ් මාරයා A.30 අවදානම අතළඟ

නොවැම්බර් 15, 2021

 

නව කොරෝනා වෛරසය කොහොල්ලෑ ගුලියක් වගෙයි. මිනිසාට ඉන් කිසි දිනක ගැලවීමක් නම් නො ලැබෙන පාටයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ලබන වසරේ පෙබරවාරි වන විට යුරෝපයේ තවත් ලක්ෂ පහක් කෝවිඩ් - 19 වසංගතයට ගොදුරු වී මරු දකින බව ට අනතුරු අඟවා තිබෙනවා. එය පුදුමයක් නො වන්නේ නව කොරෝනා වෛරස්වලින් අඩුවක් නැති නිසයි. නවතම කෝවිඩ් මාරයා A.30 ප්‍රභේදය ලෙසින් හැඳින්වූවත් මෙය පැරැණිම කොරෝනා වෛරස් ප්‍රභේදයක්. මුලින්ම ටැන්සානියාවෙන් වාර්තාවුණු නව ප්‍රභේදය මේ වන විට ඇන්ගෝලා, ස්වීඩනය, එක්සත් රාජධානිය යන රටවල්වලින් වාර්තාවී තිබෙනවා. ජර්මානු විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් පෙන්වා දෙන්නේ මෙය ෆයිසර්, ඇස්ට්‍රසෙනිකා යන ප්‍රබල එන්නත්වලින් ලබා දෙන ප්‍රතිදේහ පවා පරාජය කරන්න හැකියාවක් ඇති ප්‍රභේදයක්. එපමණක් නොව මෙය මිනිස් සිරුරේ වකුගඩු, අක්මාව, හා පෙණහලු සෛල ආක්‍රමණය කරමින් වර්ධනය වෙනවා. A.30 වැලඳුණු විට කෝවිඩ් - 19 සඳහා ගනු ලබන ඇතැම් ඔසුවලින් ප්‍රතිඵලයක් ලැබෙන්නේත් නැහැ.

 

එන්නත් කළ අයගෙනුත් නිවෙසේදී රෝගය බෝ වෙනවා

කෝවිඩ් - 19 වැළැක්වීමට එන්නත් මාත්‍රා ගත් පමණින් සියල්ල අවසන් කියා සිතන්නන් තවමත් අප අතර නො සිටිනවා නො වෙයි. එන්නත් ගත්තත් රෝගය බෝ නො වනවා කියා සිතුවොත් වැරැදි බව සෞඛ්‍ය බලධාරීන් නිරන්තරයෙන් ම පෙන්වා දෙන්නේ මේ නිසයි. ලන්ඩනයේ ඉම්පීරියල් කොලීජියේ පර්යේෂකයන් පවසන අන්දමට එන්නත් මාත්‍රා ලබා ගත් කෝවිඩ් ආසාදිත නිවැසියන්ගෙන් නීරෝගි පුද්ගලයන්ට රෝගය පැතිර යා හැකියි. එහෙත් එන්නත් නො කළ පුද්ගලයන්ගෙන් රෝගය අනෙක් අයට පැතිරීමට ඊට වැඩි ඉඩක් පවතිනවා. එන්නත් කළ අයගෙන් ඉක්මනින් ආසාදනය දුරු වී ගියත් එන්නත් නො කළ අය ගේ මෙන් ම කොරෝනා වෛරස් විශාල ප්‍රමාණයක් සිරුරේ තිබෙනවා. එනිසා නිවෙසේ එන්නත් නො කළ අයට රෝගය බෝවීමට තිබෙන ඉඩ වැඩියි.

දැන් දැන් යුරෝපයේ නිවැසියන් අතර රෝගය බෝ වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා.

පර්යේෂණය සිදුකළ කණ්ඩායමේ ප්‍රධානියා පවසන්නේ වසංගතය මැඬලීමට සියලු දෙනාම එන්නත් මාත්‍රා ලබා ගැනීම වැදගත් බවයි. සීත කාලයේ රෝගය පැතිරීමේ වැඩි ඉඩක් පවතිනවා.

දෙවැනි එන්නත් මාත්‍රා ගෙන මාස තුනකට පසුව ප්‍රතිශක්තිය අඩු වන නිසා බූස්ටර් එන්නතක් ලබා ගැනීම ඉතා වැදගත්. ඒ වාගේම සුව පුරුදු දිගින් දිගට ම නිසි අයුරින් පිළි නො පැද්දොත් කෝවිඩ්වලින් ගැලවීමක් නම් නැහැ.

 

 

කෝවිඩ් පෙත්ත මරණ සියයට අනූවකින් වළක්වනවා

 

ෆයිසර් එන්නත් නිෂ්පාදකයන් හඳුන්වා දුන් පෙත්ත දැන් කලඑළියට ඇවිත්. පෙත්තේ නම පැක්ස්ලොවිඩ්. බ්‍රිතාන්‍යය මඟින් මේ වන විට ඖෂධ මාත්‍රා දෙලක්ෂ පනස් දහසක් මිලදී ගෙන තිබෙනවා. මරණයට පත්වීමේ පමණක් නොව රෝහල්ගත වීමේ අවදානම ද අඩු කරන නිසා මෙය කෝවිඩ් - 19 ප්‍රතිකාර අතර හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස ෆයිසර් නිෂ්පාදකයන් හඳුන්වනවා. පැක්ස්ලොවිඩ් පෙත්ත ක්‍රියාකරන්නේ එන්නත ක්‍රියා කරනවාට වඩා වෙනස් ආකාරයකටයි. නව කොරෝනා ප්‍රභේද සමඟ සටන් කිරීමේ වැඩි හැකියාවක් පෙත්තට තිබෙනවා.

පෙත්ත නිර්මාණය කර තිබෙන්නේ කොරෝනා වෛරසයට ගුණනය වීමට අවශ්‍ය ප්‍රෝටීනය අවහිර කළ හැකි ආකාරයටයි. එච්අයිවී ඇතුළු වෛරස් ආසාදන ගණනාවකටම මේ ක්‍රමය යොදා ගන්නවා. කෝවිඩ් වැලඳී දින 3 - 5ක් ඇතුළත පෙති ගත යුතුයි.

 

කෝවිඩ් දිගු කාලීන ආබාධ - ආර්තවහරණය දෙකම පැටලිලා.

 

දිගුකාලීන කෝවිඩ් ලකුණුවලින් පීඩා විඳින බව පවසන කාන්තාවන් බොහොමයක් වයස අවුරුදු 50 - 69 ත් අතර පසුවන්නියන්. ඔවුන් අධික වෙහෙසක් දැනෙන බව, නිදා ගැනීමේ ගැටලු ඇති බව, මානසික ව්‍යාකූලතාවක් ඇතුළු ලකුණු ගණනාවක් තිබෙන වග පවසනවා. කාන්තාවක ආර්තවහරණයට ලක් වන්නේත් වයස අවුරුදු 45 - 55 අතරදීයි. මේ නිසා ආර්තවහරණ ලකුණු හා දිගු කාලීන කෝවිඩ් ලකුණු වරදවා පටලවා ගන්නා අවස්ථාවක් උදාවෙලා. මේ පැටලීම නිරාකරණය කර ගැනීම ප්‍රතිකාර කිරීමේදී ඉතා වැදගත් වෙනවා. ආර්තවහරණයට හා කෝවිඩ් දිගු කාලීන ආබාධවලට අවශ්‍ය වෙනස්ම ප්‍රත ිකාර දෙකක් නිසා වෙන්කර හඳුනා ගැනීම වැදගත්.

 

 

 

අන්තර්ජාලයෙනි

 

 

සුරතලුන් රෝගී වුණොත් හදවත ලෙඩ වෙනවා

හාම්පුතා ගේ රෝග සුනඛ හා බළල් සුරතලුන්ට වැලඳුණු බවට කතාවක් මෙතෙක් අසන්නට ලැබී නැහැ. එහෙත් කෝවිඩ් - 19 වසංගතය වෙනස්ම කතා එකතුවක්. මිනිසා ගෙන් රෝගය වැලඳුණු සතුන් ගැන අපට වරින් වර අසන්නට ලැබෙනවා. සුරතලුන්ට ආදරය කරන හාම්පුතකු මින් ඉදිරියට උන් ඉදිරියේදී දුරස්ථභාවය පවත්වා ගැනීම වැදගත්. ඒ උන්ට කෝවිඩ් වැලඳුණොත් හදවතේ ගැටලු ඇතිවීමට ඉඩ ඇති බැවින්. ඇල්ෆා ප්‍රභේදය ආසාදනය වූ සතුන් මේ තත්ත්වයට ගොදුරු වී තිබෙනවා. රෝගීවූ සතුන් ඉන්ෆ්ලුවෙන්සා ලකුණු පෙන්වලා. සතුන්ට ද කරන්නේ පීසීආර් පරීක්ෂණයයි.