ලොව තුන් වැනි මාරයා ගැන සිතන්න කාලය ඇවිත්

ලෝක නිදන්ගත ස්වසන මාර්ග අවහිරතා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ දිනය නොවැම්බර් 17 වැනි දිනට යෙදී තිබිණි.
නොවැම්බර් 29, 2021

 

 

රෝගයෙන් සහනයක් ලබා ගැනීම සඳහා නිතර ව්‍යායාම කිරීම, හුස්ම ගැනීම පහසු කරන භෞත චිකිත්සක ක්‍රම පුරුදු පුහුණු කිරීම, උසට සරිලන බරක් පවත්වා ගැනීම, සමබල ආහාර වේලක් ගැනීම, යහපත් මානසිකත්වයක් පවත්වා ගැනීම වැදගත්ය.

නිදන්ගත ස්වසන මාර්ග අවහිරතා රෝගයෙන් පීඩා විඳින්නන් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට දැඩි සුව රැකවල් යෙදිය යුතුයි. ඊට හේතුව මේ අයට රෝගය වැලඳුණොත් රෝගය උත්සන්න වීමට වැඩි ඉඩක් තිබීමයි. නිදන්ගත ස්වසන මාර්ග අවහිරතා රෝගය ඇති අයකුට කෝවිඩ් වැලඳීම ගහෙන් වැටුණු මිනිසාට ගොනකු ඇනීමක් වාගෙයි. පෙණහලු දුර්වල වී ඇති කෙනකුට නව කොරෝනා වෛරසය සමඟ සටන් කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වෙනවා.

දැනටමත් COPD ඇති කෙනකුට වෙනදා නැති කැස්සක් ඇති වුණොත්, කැස්ස දරුණු වුණොත්, යන සෙම ප්‍රමාණය වැඩිවී සෙමවල පැහැය වෙනස් වුණොත්, වැඩිපුර හතියක් දැනුණොත්, විවේකයෙන් සිටියදීත් ඔක්සිජන් මට්ටම අඩු වුණොත් වහාම වෛද්‍ය උපදෙස් පතන්න.

කෝවිඩ් සහ COPD

නිදන්ගත ස්වසන මාර්ග අවහිරතා රෝගය ( COPD ) ඇති අයට මුහුණු ආවරණ පැලඳීමෙන් කිසිදු හානියක් වන්නේ නැහැ. ඔක්සිජන් සිරුරට අවශ්‍ය තරම් ලැබෙනවා.

මේ අය නියුමෝනියා, ඉන්ෆ්ලුවෙන්සා හා කෝවිඩ්වලට එරෙහි එන්නතක් ලබා ගැනීම‍ ඉතා වැදගත්.

 

සුළු සෙම්ප්‍රතිෂ්‍යාවක් වැලඳුණත් හුස්ම මොනතරම් වටිනව ද කියලා හදවතට ම දැනෙනවා. ඒත් දවසින් දෙකෙන් ඒ බව අමතක වෙනවා. මතක කරන්න බැරි තරමට හුස්මේ වටිනාකම දැනෙන්නට ගත්තේ කෝවිඩ් - 19 වසංගතය සමඟයි.

කෝවිඩ් නැතත් ජීවිතයට ජීවය දෙන හුස්ම අපෙන් ඉක්මනින්ම ගිලිහී යන්නට අරන් බොහෝකල්. අක්‍රීය දුම් පානය, දූවිලි, දුම්, රසායන සියල්ලම මිනිසාගෙන් හුස්ම උදුරා ගන්නවා.

හුස්ම ගැනීම අපහසු කරන රෝග අතරින් නිදන්ගත ස්වසන මාර්ග අවහිරතා රෝගය COPD අමතක කරන්න බැහැ.

ලොව මරණවලට බලපාන තුන්වැනි රෝගය වී තිබෙන්නේ නිදන්ගත ස්වසන මාර්ග අවහිරතා රෝගය යි. ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවන්ට අනුව 2019 වසරේදී මේ රෝගයෙන් මිලියන 3.23 ක් මිය ගොස් තිබෙනවා.

මෙය ලංකාවෙත් ඉතා සුලබ වළක්වා ගත හැකි ප්‍රතිකාර කළ හැකි නිදන්ගත පෙණහලු රෝගයක්. එම්ෆිසීමා, නිදන්ගත බ්‍රොන්කයිටිස් ලෙස ද COPD හඳුන්වනවා. එම්ෆිසීමා කියන්නේ පෙණහලුවල ගර්තවලට හානි වීමෙන් ඇතිවන තත්ත්වයක්. නිදන්ගත බ්‍රොන්කයිටිස් ඇතිවන්නේ ස්වාස නාලවල දිගු කාලීනව ඇතිවන ප්‍රදාහ තත්ත්වයක් නිසයි.

නිදන්ගත ස්වසන මාර්ග අවහිරතා රෝගයෙන් (COPD ) වැඩිපුර පීඩා විඳින්නේ මැදි වයසේ අය හා දුම් පානය කරන වැඩිහිටියන්. ‍මුලින් තමන්ට රෝගයක් ඇති බව රෝගියා දන්නේ නැහැ. කාලයාගේ ඇවෑමෙන් රෝගය දරුණු වෙනවා. හුස්ම ගැනීමේ අපහසුතාව නිසා සුපුරුදු පරිදි දෛනික වැඩ කටයුතු කරගෙන යාමට බැරි වෙනවා.

නිදන්ගත ස්වසන මාර්ග අවහිරතා රෝගයේ ප්‍රධාන රෝග ලකුණු වන්නේ,

යම් වැඩක් කරන විට හුස්ම ගැනීමට අසීරු වීම, දිගටම සෙම සමඟ කැස්සක් පැවතීම ( සමහරු මෙය සිගරට් කැස්ස ලෙස හඳුන්වනවා. ), නිතර සෙම්ප්‍රතිෂ්‍යාව, ෆ්ලූ / ඉන්ෆ්ලුවෙන්සා වැලඳීම, දිගටම හතියක් පැවතීම යි.

ප්‍රතිකාර නො කළොත් තත්ත්වය ක්‍රමයෙන් දරුණූ වෙනවා. රෝග ලකුණු ඇතිවූ සැනින්ම ප්‍රතිකාර කිරීමට පටන් ගැනීමෙන් පෙණහලුවලට වන හානිය අවම කරගැනීමට පුළුවන්.

 

රෝගයට හේතු

ප්‍රධානම හේතුව දුම්පානය හා අක්‍රීය දුම්පානය. රෝගයට ගොදුරුවන දස දෙනකුගෙන් නව දෙනකුම දුම්පානය කරන්නන්.

සැමියා දුම්පානය කරනවා නම් නිවෙසේ සියලුම සාමාජිකයන් දැඩි අවදානමක.

දුම්පානය නො කළත් පරම්පරාවෙන් රෝගය උරුම වන්නන් ද සිටිනවා. හානිකර දුම්වලට, දූවිල්ලට දිගින් දිගටම නිරාවරණය වන්නන් ද මේ තත්ත්වයට ගොදුරු වනවා වැඩියි.

උදා - කැඩ්මියම් වැනි බැර ලෝහ අඩංගු දූවිලි, දුම්, ධාන්‍ය පිටි අංශු, සිලිකා දූවිලි, වෑල්ඩිං දුම, සියුම් අඟුරු සමහරුන්ගේ පෙණහලු උපතින්ම පිහිටා අඟුරු අංශුවලට දිගටම නිරාවරණය වීමෙන් රෝගී වීමේ අවදානම වැඩි වෙනවා. පරිසර දූෂණය හා රෝගය අතර පවතින සබඳතාව ගැන මේ දිනවල පර්යේෂණ සිදුකරමින් පවතිනවා.

ළමා වියේ ඇදුම රෝගයෙන් පීඩා විඳින්නන් වැඩිහිටි වියේදී COPD රෝගීන් වීමට ඉඩ තිබෙනවා.

ගෙදර දොර වායු දූෂණය ද මේ කෙරෙහි බලපානවා. දර ලිප්, ගල් අඟුරු ලිප් භාවිතය, සත්ව මල, බෝගවල ඉතුරු කොටස් නිසා පරිසරයේ ඇති වන අපවිත්‍රතාව ද රෝගය කෙරෙහි බලපානවා.

 

 

උපදෙස් - ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

අමිත ප්‍රනාන්දු