අලුත් ම කෝවිඩ් -19 එන්නත වැල්නෙවා

නොවැම්බර් 29, 2021

 

ඇස්ට්‍රසෙනිකා එන්නත පරයන තරමට සාර්ථක ප්‍රතිඵල පෙන්වලා

ඉදිරියේදී ඇති වන ප්‍රභේද මැඬලීමට සමත් වන බවට දැඩි විශ්වාසයක්

ගැබිනි මව්වරුන්ට එන්නත් නැතිවම බැහැ

කෝවිඩ් සමඟ ෆ්ලූ වැලඳුණොත් මිය යාමේ අවදානම වැඩි වෙනවාද ?
 

ගැබිනි විය එක් අයකු ගැන නොව දෙදෙනකු ගැන සිතන කාලයකි. ගැබිනි වියේදී කෝවිඩ් එන්නත ලබා ගැනීමේදී මවක වඩාත් සිතන්නේ තමන්ට වඩා කුසෙහි වැඩෙන දරුවා ගැනය.

ලොව සුව වාර්තාවන්ට අනුව ගැබිනි මව්වරුන් එන්නත් ලබා ගැනීම අත්‍යාවශ්‍යය. විශේෂයෙන්ම ෆයිසර් සහ මොඩර්නා එන්නත් ලබා ගැනීම ගැබිනි මවුවරුන්ට රෝගයෙන් බේරීමට උපකාරී වන බව තහවුරු වී ඇතත් අනෙක් කෝවිඩ් එන්නත් මඟින් ද ආරක්ෂාවක් සැලසෙයි. අපේ රටේ මෙන්ම බ්‍රිතාන්‍ය වැනි දියුණු රටවලත් ප්‍රීඑක්ලැම්සියා තත්ත්වයට වැඩි වශයෙන්ම ගොදුරු වී සිටින්නේ එන්නත් ලබා නො ගත් මවුවරුන්ය. ප්‍රීඑක්ලැම්සියා ගැබිනි වියේ ඇති වන දරුණු සංකුලතාවකි. කෝවිඩ් වැලඳුණේ නැති මවුවරුන්ට වඩා කෝවිඩ් වැලඳුණු මවුවරුන් මියයාමේ ඉඩ විසි දෙවාරයකින් වැඩි බව සොයා ගෙන තිබෙයි.

 

 

 

' සයිනොෆාම් ගුණතිලක ස්පුට්නික් ප්‍රනාන්දු වැක්සින් ද මෙල්'

ප්‍රජාව එන්නත්වලට මෙවැනි ප්‍රහසනාත්මක නම් දැමීමට තරම් කෝවිඩ් එන්නත් වැසි වසා ඇත. එලෙසම එන්නත් ගැන විවිධ මත ද පැතිරෙයි. කෙසේ වුවත් මතු අනාගතයේ එන්නත් මාත්‍රා ලබා නො ගත්තොත් පාසල් යා නො හැකි තරමට එය අත්‍යාවශ්‍ය එන්නතක් බවට පත්වී තිබෙයි. එනිසාම එන්නත් නිෂ්පාදන තරගය නතරවී නැත. කතා බහට ලක්වී ඇති අලුත්ම එන්නත 'වැල්නෙවා' ය. මෙය ඇස්ට්‍රසෙනිකා එන්නත පරයන තරමට සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති නිසා බවට පත්වී ඇත.

වැල්නෙවා එන්නතේ ඇත්තේ සම්පූර්ණයෙන් ම අක්‍රීය කරන ලද නව කොරෝනා වෛරසයකි. එන්නත ලබා ගැනීම නිසා කිසිවකු රෝගී වන්නේ නැත. ෆ්ලූ, පෝලියෝ, ජලභීතිකා, හෙපටයිටිස් වැනි එන්නත් නිපදවා ඇත්තේ මේ ක්‍රමයට ය. වයස අවුරුදු 18 ත් 55 ත් අතර පුද්ගලයන්ට ලබා දීම සඳහා අනුමැතිය ලබා දී තිබෙයි.

ඩෙල්ටා ප්‍රභේදය පැතිරෙන කාලයක වුවත් වැල්නෙවා එන්නත ලබා ගත් අයට රෝගය දරුණු ලෙසින් බලපා නැත. නව කොරෝනා ප්‍රභේද මැඬලීමේ හැකියාවක් නව එන්නතට තිබෙයි. එන්නතින් නිපදවෙන ප්‍රතිශක්තිය ඉදිරියේදී ඇති වන ප්‍රභේදයන් මැඬලීමට සමත් වන බවට දැඩි විශ්වාසයක් නිෂ්පාදකයන් ට පවතියි. ඩෙල්ටා ප්‍රභේදය, නව කොරෝනා වෛරසය අවතක්සේරු කළ නො හැකි බව ලොවට පෙන්වා දුනි. ඉදිරියේදීත් වෛරසයේ විකෘති ප්‍රභේදයන්ට මුහුණ දීමට ලෝකවාසීන්ට සිදුවනු ඇත. ප්‍රංශ ජීව තාක්ෂණ සමාගම මඟින් එන්නත නිෂ්පාදනය අරඹා ඇති අතර දැන් ස්කොට්ලන්තය මහා පරිමාණයෙන් එන්නත් නිෂ්පාදනයට මුල පුරා තිබෙයි. එන්නත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රෙසනිකා මෙන් වැල්නෙවා 2C සහ 8Cක උෂ්ණත්වයක තැන්පත් කර තැබිය හැකිය. එනිසා දියුණුවෙමින් පවතින රටවලට වඩාත් පහසුවෙන් භාවිත කළහැකි එන්නතකි. අභියෝගාත්මක කාලයක ලොවට දායාද වූ නවතම එන්නත් ආශීර්වාදය කි.

***************************

වර්ෂාව, සීතල සමඟ කෝවිඩ් වගේම ෆ්ලූ, සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීමේ අවදානමත් වැඩිය.

කාලීන ඉන්ෆ්ලුවෙන්සා තත්ත්වයෙන් ලොව වාර්ෂිකව සාමාන්‍යෙයන් හත් ලක්ෂයකට ආසන්න ගණනක් මියයන අතර පසුගිය වසරේ මිය ගිය ප්‍රතිශතය අඩුවී තිබෙයි. ඊට හේතුව කෝවිඩ් - 19 සමඟ මුහුණු ආවරණ පැලඳීම, දුරස්ථභාවය වැනි යහපත් හුරුපුරුදු ඇති වීමයි. කෝවිඩ් සමඟ ෆ්ලූ වැලඳේවි යන බිය නිසා ෆ්ලූ එන්නත ලබා ගත් පිරිස කලින් වසරවලදීට වඩා වැඩිවීම තවත් හේතුවකි. ෆ්ලූ ( ඉන්ෆ්ලුවෙන්සා ) මෙන්ම කෝවිඩ් ද දරුණු රෝග දෙකකි. රෝග දෙකම මාරාන්තික විය හැකිය. එනිසා කෝවිඩ් වසංගතයට එරෙහිව මෙන්ම ෆ්ලූ සඳහා ද එන්නත් ලබා ගැනීමට දියුණු රටවල් ජනතාව උනන්දුකර තිබෙයි.

කෝවිඩ් වසංගතය පවතිද්දී ෆ්ලූ වැලඳීමටත් ෆ්ලූ තිබියදී කෝවිඩ් වැලඳීමටත් ඇති ඉඩකඩ වැඩිය. ෆ්ලූ පෙණහලුවලට බලපායි. නියුමෝනියාව, හෘද රෝග, සෙප්සිස් වැනි මාරාන්තික තත්ත්ව ඇති වෙයි. ෆ්ලූ ආසාදනය වූ පසු පුද්ගලයකු ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුබල වෙන අතර කෝවිඩ් - 19 වැලඳීමට ඇති ඉඩ වැඩි වෙයි. ෆ්ලූ පවතිද්දී කෝවිඩ් වැලඳුණු විට එය ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇනීමක් වැනිය. එවිට අවයවවලට දිගු කාලීනව හානි සිදු විය හැකි අතර මිය යාමේ අවදානම ද ඉහළ යයි.

ෆ්ලූ එන්නත ගත් විට ෆ්ලූ වැලඳීමේ අවදානම සියයට 40 - 60 කින් අඩු වෙයි. ෆ්ලූ එන්නත ගත් පසු රෝගය වැලඳෙන්නේ නැත. එන්නත් කළ අතේ වේදනාව, හිසරදය වැනි සුළු තත්ත්වයන් සමහරුන්ට ඇති වෙයි. සාමාන්‍යයෙන් එක් එන්නතක් ගෙන සතියක්දෙකක් සිටිය යුතු බවට නිර්දේශ කර තිබුණ ද සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එකම වේලාවට ෆ්ලූ හා කෝවිඩ් එන්නත් ගැනීමේ වරදක් නැති බවය. දරුවන්ට විවිධ එන්නත් මාත්‍රා එකවර ලබා දුන්නත් ගැටලුවක් ඇතිවී නැති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙයි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.