ඔබේ බර බරක් වුණොත් නම් ලෙඩ ගොඩයි

ජනවාරි 3, 2022

 

“බඳින කොට හරිම හීන්දෑරියි. දැන් බලන්නකෝ අලි පැටියෙක් වගෙයි. “ මෙහෙම අහන්න ලැබුණොත් සිතට දැනෙන්නේ දුකක්ද සතුටක්ද ?

අල්මාරියක් වගේ එහෙමත් නැත්නම් අර්තාපල් ගෙඩියක් වගේ මහත් වීම නම් හොඳ දෙයක් නෙවෙයි.

සැමියාගේ ඇස්, වයස විසි ගණන්වල තරුණියන් වෙත ඇදී යාමට එය ම හේතුවක් වෙන්න පුළුවන්. ඒ විතරක්ද වැඩි බරත් සමඟ ඇති වන ස්ථුලතාව නිසා අකලට මිය යාමේ අවදානමටත් මුහුණ පානවා. දියවැඩියාව, ආඝාතය, හෘද රෝග, පිළිකා වැනි බෝ නො වෙන රෝග රැසකට තරබාරුකම හෙවත් ස්ථුල බව හේතු වෙනවා. කෝවිඩ් - 19 න් මිය ගිය වැඩි දෙනෙක් බෝ නො වන රෝගවලින් පීඩා විඳින, ස්ථුල අයයි. ලෝකයේ කාන්තාවන්ගෙන් සියයට හතළිහකුත් පිරිමින්ගෙන් සියයට තිස් නවයකුත් අධික ස්ථුලතාවෙන් පීඩා විඳිනවා. කාන්තාවන් ගේ බර ගැන හිතන්න කාන්තාවන් ගේ නීරෝගිමත් බර වෙනුවෙන් දින දසුනේ දිනයකුත් වෙන්කර තිබෙනවා. ඒ සෑම වසරක ම ජනවාරි 22 වැනි දිනයයි.

බිරියක ට තමන් ගේ මහත ගැන වගේ ම සැමියා ගේත් පවුලේ අයගේත් මහත ගැන හිතන්න කාලය ඇවිත්. ඉදිරියේදී කුමන වසංගත ආවත් ඉක්මනට ම ඊට ගොදුරු වෙන්නේ අධික ස්ථුලතාවෙන් පීඩා විඳින අයයි. ළමා වියේ තරබාරු බව අකාලයේ මියැදීමට හෝ ආබාධිත බවට හේතුවීමේ ඉඩ වැඩි කරනවා. 2020 දී වයස අවුරුදු පහට අඩු දරුවන් මිලියන 39 කට වඩා සිටින බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා. මන්දපෝෂණයට වඩා අධි පෝෂණය, ස්ථුල භාවය ලෝකෙට ම බරක් වෙමිනුයි පවතින්නේ.

කාන්තාවන් තරබාරුව ගැන වැඩිපුර හිතන්න ඕන ඇයි ?

ස්වභාවයෙන් ම පිරිමින්ට වඩා වැඩි මේද ප්‍රමාණයක් ( වැඩි මේද ප්‍රතිශතයක් ) කාන්තාවන් සතුයි. ස්වභාවයෙන් ම පිරිමින් ගේ සිරුරේ මේද සියයට 15 ක් පවතිද්දී කාන්තාවන් ගේ සිරුරේ සියයට 25 ක් මේදය පවතිනවා. කාන්තා හෝර්මෝන ආහාර, මේද බවට පහසුවෙන් ම පත් කරනවා. උපත් පාලන පෙතිවලින් ද සිරුරේ මේදය හා ජල ප්‍රමාණය වැඩි වෙනවා. ඊස්ට්‍රජන් මේදය තැන්පත් කිරීම වැඩි කරනවා. ඒ නිසා උපත් පාලන පෙති ගන්නා අය බර පාලනය කරගන්න නම් ගන්නා කැලරි ප්‍රමාණය පාලනය කළ යුතුයි. මුළුතැන් ගෙයි රැජන වීමත් කාන්තාව ගේ වැඩිබරට හේතුවක්.

වැඩිබර අඩු කර ගැනීමෙන් වසර ගණනාවකින් තරුණ වීමට පුළුවන්. හැට පැන්නත් සෑම කාන්තාවක් ම උත්සාහ ගන්නේ පලා යන තාරුණ්‍යය රැක ගැනීමටයි. වැඩි බර කාන්තාවන්ට ආහාර පාලනයෙන් ( ආහාරවලින් ලැබෙන කැලරි ප්‍රමාණය සීමා කිරීමෙන් ), ව්‍යායාම කිරීමෙන් ලේසියෙන් ම තාරුණ්‍ය රැකගත හැකියි.

වැඩි බර අඩු කර ගැනීමේ සටනේදීත් පිරිමි පක්ෂය ජය ගන්නවා. කාන්තාවන් ට වඩා ඉක්මනින් පිරිමින්ට බර අඩුකර ගන්න පුළුවන්.

ශරීර ස්කන්ධ ධාරිතාව 25 - 29.9 ත් අතර ඇත්නම් කෙනකු තරබාරුයි. ශරීර ස්කන්ධ ධාරිතාව 30 ට වැඩි නම් ස්ථුලතාවෙන් පීඩා විඳිනවා.

 

නෙරා ගිය උදරය රතු එළියක්

 

සිරුරේ විවිධ ස්ථානවල මේදය රැඳෙන අතර වඩාත් ම භයානක උදරයේ මේද තැන්පත් වීමයි. පිරිමින් ගේ නෙරා ගිය උදරය ට “ ඕක බියර් බඩක්නේ “ කියා සැහැල්ලුවෙන් පැවසුවත් උදරයේ මේද රැස්වීම අති භයානකයි. කාන්තාවන් මත් වතුර පානය නම් නරක සෞඛ්‍ය පුරුද්දෙන් ඈත්වී සිටියත් ව්‍යායාම නැති කමින් වැඩිපුර ආහාර ගැනීමෙන් ප්‍රසූතියෙන් පසු ව්‍යායාම නො කිරීමෙන් විශාල උදරයකට හිමිකම් කියන අවස්ථා බොහොමයි.

උදරයේ ගැඹුරට මේද තැන්පත් වන අතර ඒවා හදවත වැනි වැදගත් අවයව වටාද එක්රැස් වෙනවා. අක්මාවෙන් මේදය කොලෙස්ටරෝල් බවට පත් කරන අතර ඒවා නහරවල ද තැන්පත්වී ඝන වී හෘදයාබාධ, ආඝාතය ඇති වන්න පුළුවන්. ගැඹුරට එක් රැස්වන මේද, සිරුරේ ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවක් ද ඇති කරනවා. එහි ප්‍රතිඵලය ඉන්සියුලින් ප්‍රතිරෝධීතාවක් ඇති වීමයි. එපමණක් නොව මේ නිසා සිරුරේ ප්‍රදාහයන් ද ඇති වන නිසා පිළිකා, ඇල්ෂයිමර් වැනි රෝග ඇති වීමේ අවදාන ම ඉහළ නංවනවා. අතිරේකව ඇති උදර මේද ප්‍රමාණය ග්ලූකෝස් මට්ටම වැඩි කර මාංසපේශී ධාරිතාව අඩු කරනවා. හදවතේ සුවය හොඳින් රකින්න නම් හොඳ මාංසපේශි ධාරිතාවක් පවත්වා ගත යුතුයි.

උදරයේ මේද වැඩිදැයි බලා ගන්නේ කෙසේද ?

උකුළේ උස ම තැනින් ඉණේ පටුම තැනින් පෙකණියට මඳක් ඉහළින් ටේප් පටිය තබා මනින්න. උකුළේ පළල ම තැනින් ටේප් පටිය තබා මනින්න. ඉණේ මිම්ම උකුළේ මිම්මෙන් බෙදන්න. එන අගය පිරිමියකු ගේ නම් සෙන්ටිමීටර 102 ත් කාන්තාව ගේ නම් සෙන්ටිමීටර් 88 ත් ඉක්මවීම සුදුසු නැහැ.

උසට සරිලන බරක් පවත්වා ගනිමින් නීරෝගිව ජීවත් වීමට නම් බත් පිඟානේ වැඩි ඉඩක් එළවළු හා පලා වර්ගවලට දෙන්න. දෛනික ආහාර වට්ටෝරුවේ විශේෂ තැනක් පලතුරුවලට දෙන්න. ක්ෂණික ආහාර, කෘත්‍රිම ආහාර කපා හරින්න. හොඳින් ජලය පානය කරන්න.

උසට සරිලන බරක් තිබියදීත් තමන් ගේ සිරුරේ හැඩය අනුන් ගේ සිරුරේ හැඩය සමඟ සංසන්දනය නො කරන්න. සිරුරේ ප්‍රමාණය පරම්පරා ගත උරුමයක් වන අවස්ථා වැඩියි.

උපදෙස් -

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නො වන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ

ශාන්ති ගුණවර්ධන