ඔමික්‍රෝන්වලින් පෙණහලුවලට බලපෑම අඩුයි

ජනවාරි 10, 2022

 

කෝවිඩ් - 19 වසංගතය ගැන සුබ ආරංචි ලැබෙන්නේ අඩුවෙන්. ඔමික්‍රෝන් වඩාත් ම විකෘති නව කොරෝනා වෛරසය වුණත් වෛරසය ආසාදිත වී මියයන ගණන අඩු වෙලා.

ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ මෙසේ වීමේ රහස ඩෙල්ටාවලට වඩා දස වාරයක් සෙමින් පෙණහලුවලට හානිකර බලපෑම් ඇති වීමයි. පෙණහලුවල ඉහළ කොටසට වැඩි බලපෑමක් ඇති වුණත් පෙණහලුවල ගැඹුරු පටකවලට මින් ඇතිවන බලපෑම අඩුයි. ඒ නිසා නියුමෝනියා තත්ත්වයට පත්වීම හා වෙන්ටිලේටර් පහසුකම් ලබා දීම අඩු වෙලා. එහෙත් ඔමික්‍රෝන් ගැන සැහැල්ලුවෙන් සිතන්න නම් එපා. ඩෙල්ටාවලටත් වඩා හැත්තෑවාරයක් වේගයෙන් ස්වාසනාලවල මෙය දෙගුණ තෙගුණ වෙනවා. වර්ධනය වෙනවා. උගුර ආසන්නව වෛරස පිරී යන නිසා හුස්ම ගැනීමේදී පැතිරීම වේගවත් වෙනවා. බ්‍රිතාන්‍ය කෝවිඩ් දරුණු ලෙස පැතිරුණු රාජ්‍යයක්. එහෙත් කෝවිඩ් ආසාදිතයන් දිනකට ලක්ෂයකට වඩා වාර්තා වී තිබෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීමත් සමඟයි.

කෝවිඩ් දරුණු වුණාම නියුමෝනියාව වැලඳෙනවා. පෙණහලු පටක ඉදිමෙනවා. හුස්ම ගැනීම අසීරුවී කැස්ස වැනි ගැටලු රැසක් ඇති වෙනවා. මෙවිට වෛද්‍ය කාර්ය මණ්ඩලයට රෝගියාව වෙන්ටිලේටරයකට සම්බන්ධ කිරීමට සිදු වෙනවා. ජනගහනයෙන් වැඩි පිරිසක් එන්නත ලබා ගෙන නැති විට ඔමික්‍රෝන් ප්‍රභේදය දරුණු ලෙසින් බලපෑමට පුළුවන්.

සමහර විද්වතුන් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් වසංගතය අවසන් කිරීම ට පැමිණි ස්වාභාවික ප්‍රතිශක්තිය බවයි.

******************************

උපතින් ම වාසනාවන්තයෝ

කෙතරම් කෝවිඩ් ආසාදිතයන් අතර සිටියත් සමහරුන් ට රෝගය වැලඳෙන්නේ නැහැ. එක් එන්නතක් වත් නිපදවී නැති කාලයේ පවා මෙවැන්නන් අපට හමුවී තිබෙනවා. ඒ ඔවුන් උපතින් ම වෛරස් ප්‍රතිරෝධී අය නිසයි. එහෙත් ඒ වාසනාව නැති අය ට එන්නත් පිහිට තිබෙනවා.

ඇස්ට්‍රෙසනිකා මාත්‍රා දෙක ලබා ගෙන බූස්ටර් මාත්‍රාව වශයෙන් ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාගත් අයට ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් සති 2 - 4 ක් යන තුරු සියයට 60 - 94 ක ආරක්ෂාවක් ලැබෙනවා. සති දහයකට පසු ෆයිසර් මාත්‍රාව සියයට තිස් පහක බලපැමක් ඇති කරනවා. මොඩර්නා බූස්ටර් එන්නතින් සියයට 45 ක බලපෑමක් ඇති වෙනවා. ලබා ගත් එන්නත් තුන ම ෆයිසර් නම් සතියකට පසු වෛරසයෙන් සියයට 70 ක රැකවරණයක් ලැබෙනවා. එහෙත් සති දහයක ට පසු එහි බලය සියයට 45 දක්වා බිඳ වැටෙනවා. ෆයිසර් එන්නත් දෙකක් ලබාගෙන ඊළඟ ට බූස්ටර් එන්නත විදියට මොඩර්නා ගත් අයට සති නවයක් යන තුරු සියයට හැත්තෑපහක රැකවරණයක් ඔමික්‍රෝන්වලින් ලබා ගන්න පුළුවන්.

කුමන ප්‍රභේදය පැමිණියත් අද දක්වා ම එන්නත් දෙක හා බූස්ටර් මාත්‍රාව ලබාගත් අය රෝහල්ගතවීම, රෝගය දරුණු වීම, මිය යාම අඩුවී තිබෙනවා.