දරුවන්ගේ ඔමික්‍රොන් සුනාමියක් අතළඟ

පෙබරවාරි 7, 2022

අම්මේ තාත්තේ නියමිත කෝවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දරුවන්ට දෙන්න අමතක කරන්න එපා

ඩෙල්ටා, ඔමික්‍රෝන් සමඟ මිස් - සී  (MIS-C) Multisystem inflammatory syndrome ) අවදානම ඉහළ යයි

අම්මලා තාත්තලාට දුදරුවන් රෝගී වුණාම තමන් ගේ සියලු ලෙඩ දුක් පමණක් නො වෙයි උන් හිටි තැනුත් අමතක වෙනවා. ඒ මාපිය ස්වභාවයයි. ඔවුන් වසංගත සමයේ දරු පැටවුන් නිවෙසට ම කොටුකර ගෙන සිටියේ ලෝකයක් ගිල ගන්නා කෝවිඩ් වසංගතයෙන් ආරක්ෂාකර ගන්නයි. ඒත් යළි පාසල් විවෘත කළාම සියලු සුව නීති පාඩම් පොතේ පාඩමකටත් වඩා කටපාඩම් කරවා දරුවන් පාසල් යවන්න අමතක කළේ නැහැ. අවාසනාවකට අපි අතරම සුව නීති උල්ලංඝනය කරන්නන් සිටින නිසා ඩෙල්ටා ප්‍රභේදය තුරන් වෙන්න කළින් ඔමික්‍රෝන් ප්‍රභේදය හිස ඔසවන්න අරන්. ඒ සමඟම දරුවන් රෝගී වීමේ අවදානමත් ඉහළ ගිහින්.

කෝවිඩ් - 19 වැලඳීමෙන් ඉන් ඇතිවන සංකුලතා ද ඉහළ යනවා. පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇතිවන සංකුලතා වෙනස්. වැඩිහිටියන් ට වගේම මෙය දරුවන්ටත් පොදුයි. දරුවන් අතර සුලබ සංකූලතා රැසක් තිබෙනවා. ඉන් මාරාන්තික සංකූලතාවක් වන්නේ බහු පද්ධති ප්‍රදාහ සින්ඩ්‍රෝමය MIS-C) Multisystem inflammatory syndrome ) යි. දරුවා රෝග ලකුණු පෙන්නුම් කළත් නැතත් මේ ලක්ෂණ ඇති වන්න පුළුවන්. මේ ලෝකයට අලුත් ලෙඩක්. කෝවිඩ් - 19 සමඟ දරුවන් අතර දක්නට ලැබුණු තත්ත්වයක්. බහු පද්ධති සින්ඩ්‍රෝම් තත්ත්වයේදී දරුවන් ගේ සමහර අවයව, පටක තදබල ලෙසින් ප්‍රදාහයට පත්වෙනවා. ඒ අතර හදවත, පෙණහලු, රුධිර නාල, වකුගඩු, ජීර්ණ පද්ධතිය, මොළය, සම හා ඇස් ද තිබෙනවා. ප්‍රදාහයට පත්වී ඇති තැන අනුව රෝග ලකුණූ වෙනස් වෙනවා. වැඩිහිටියන් අතරේ මේ තත්ත්වය දුර්ලබයි.

බොහෝ දරුවන් වෛද්‍ය ප්‍රතිකාර මඟින් සුවපත් වෙනවා. ඒත් සමහර දරුවන් ගේ තත්ත්වය බරපතළ වෙනවා. ජීවිතය අවදානම් වන තරමට රෝගය දරුණු වන අයත් සිටිනවා.

මේ රෝග ලකුණු ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි.

ඒවා නම්,

පැය 24 ක් පුරා ( දවසක් පුරා ) හෝ ඊට වැඩි කාලයක් උණ පැවතීම

වමනය යාම

ඩයරියා

උදර වේදනාව

සමේ පළු හට ගැනීම

අසාමාන්‍ය වෙහෙසක් දැනීම

හදවත ගැහෙන වේගය වැඩිවීම හෝ අඩු වීම

වේගයෙන් හුස්ම ගැනීම

දෙනෙත් රතු වීම / කහ වීම

මුත්‍රා යාම අඩු වීම , මුත්‍රා සමඟ

රුධිරය පිටවීම

තොල් දිව රතුවීම හෝ ඉදිමීම

අත් හෝ පාද රතුවීම හෝ ඉදිමීම

හිසරදය, කරකැවිල්ල, ක්ලාන්ත ගතිය

වසා ගැටිති ඉදිමීම ( බෙල්ල වැනි තැන්වල )

තදබල ලෙසින් උදර වේදනාව ඇතිවන්නේ, හුස්ම ගැනීම අසීරු වන්නේ තොල් හෝ නිය සුදු මැලි හෝ අළු හෝ නිල් පැහැ ගන්නේඅවදි වීමට අසීරු වන්නේ රෝගය ඉතා දරුණු වූ විටයි.

බහු පද්ධති ප්‍රදාහ සින්ඩ්‍රෝමයට හේතුව මොකක්ද ?

තවමත් හරියට ම හේතුව සොයා ගෙන නැහැ. ඒත් අනුමාන කරන හේතු තියෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය කෝවිඩ් - 19 ට එරෙහිව වැඩිපුර ක්‍රියාකිරීම මීට හේතුවක්.  .MIS-C  වැලඳුණු බොහෝ දරුවන් ගේ ප්‍රතිදේහ පරීක්ෂණ පොසිටිව්. ( ධන අගයක් ගන්නවා ) එනම් ඒ දරුවන් මෑතකදී කෝවිඩ් - 19 ට ගොදුරුවී තිබීම හෝ දැනට වෛරසය ආසාදනය වී තිබීම.

වයස අවුරුදු 3 - 15 දක්වා දරුවන් අතර මෙය වඩාත් සුලබයි. ඒත් වයස අවුරුදු 18 නව යොවුන් දරුවන් ද රෝගයට ගොදුරු වන අවස්ථා තිබෙනවා.

 .MIS-C  භයානක ඇයි ?

සමහර දරුවන්ට සංකූලතා ඇති වන තුරුම කෝවිඩ් වැලඳී තිබුණු බව දන්නේ නැහැ.  .MIS-C  නිසා ඉතා වැදගත් අවයව ආශ්‍රිතව බරපතළ ගැටලු ඇතිවන්න පුළුවන්. උදා - හදවත, පෙණහලු, වකුගඩු වැනි. මේ අවයවවලට ස්ථිර හානි වීමට පමණක් නොව දරුවා ගේ ජීවිතයට හානි වීමට ද පුළුවන්.

 .MIS-C වලින් දරුවා බේරා ගන්නේ කොහොමද ?

කෝවිඩ් රෝගයට එරෙහිව ප්‍රතිශක්තිය ලබාදෙන එන්නත් දීම මීට ඇති හොඳම විසඳුමයි. වයස අවුරුදු 12 ට වැඩි දරුවන්ට එක් එන්නත් මාත්‍රාවක් ද වයස අවුරුදු 16 ට වැඩි දරුවන්ට එන්නත් මාත්‍රා දෙකක් ද වයස අවුරුදු 20 ට වැඩි නම් මාත්‍රා තුනක් ද ලබා දිය යුතුයි.

 

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

දීපාල් පෙරේරා